ඇප්ලික් රටා ගෙනෙන අලංකරණය

ජුනි 9, 2025

අත්කම් නිර්මාණකරණයට ළබැඳි ඔබට ඇප්ලික් රටා නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. මේ අලංකාර කුෂන් කවර නිර්මාණ පෙළ ඇප්ලික් ක්‍රමයට හැඩ ගැන්වූ ඒවායි.

 

ඔබේ නිවෙස කලඑළි කරන්න කදිම නිර්මාණ පෙළක් නේදැයි දුටු විටම ඔබට සිතෙන්නට ඇති. සැබවින්ම මෙයින් ඔබේ ආලින්දයට අපූරු කලඑළියක් ගෙන දේවී. අපි මෙහි එක් නිර්මාණයක් කරන අයුරු පැහැදිලි කරනු ලැබේ. එයින් ඔබට අනෙක් නිර්මාණ පෙළ සිදු කළ හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

(යුනිකෝන් සිටින කුෂන් කවරය සාදා ගන්නා අන්දම බලමු.)

මේ සඳහා අවශ්‍ය වන්නේ කපු රෙදියි.

තද රෝස, කහ, කළු, සුදු, රතු පාටවලින් රෙදි

කපු කැරැලි නූල්

කොළ, තද නිල්, ටර්කොයිස් කොළ (Turquise Green)

 

නිර්මාණය කිරීම:-

 

තද රෝස පාට කපු රෙද්දෙන් කුෂන් කවරයේ ප්‍රමාණයට රෙද්ද කපා ගන්න. එසේ නොමැති නම් ඔබට කැමැති පැහැයකින් රෙද්දක් තෝරා ගත හැකියි. පළමුව මෝස්තරේ රෙද්දට පිටපත් කරගන්න. රන්වන් කහ පැහැති රෙද්දෙන් කපාගන්න. ඔබට අවශ්‍ය පරිසරයේ ඇති ඕනෑම රූපයක් මෙහිදී කපා ගත හැකියි.

 

ඇප්ලික් කරන රූප වටේ ලස්සන කිරීමට රවුම තද රෝස වර්ණයෙන් කොටස් කපා ගන්න. පළමුව තද රෝස වර්ණ කොටසෙන්ම වර්ණ නූල් භාවිත කර ඇප්ලික් කර එය මත මෝස්තරය ඇප්ලික් කරගන්න. ඇප්ලික් කිරීමේදී රෙද්දේ වර්ණයම භාවිත කළ යුතුයි. එසේම මැහුම් ඉතා සියුම් සහ කුඩා මැහුම් විය යුතුයි. ඉන්පසු අශ්වයාගේ වල්ගය ඡායාරූපයේ ආකාරයට අදාල වර්ණය හෝ කහ, කොළ, රතු, තද නිල්, ටර්කොයිස් කොළ වර්ණ භාවිත කර කොටස් එකිනෙක ඇප්ලික් කරගන්න. සුදු පැහැති රෙද්දෙන් යුනිකෝන්ගේ ඇඟ කොටස ඇප්ලික් කර ගන්න. කළු පැහැති කපු කැරලි නූල් භාවිත කර සැටින් මැස්මෙන් ඇස කොටස් එකිනෙක ඇප්ලික් කර මසා ගන්න. නාසයද එම වර්ණයෙන්ම සැටින් මැස්මෙන් මසා ගන්න. කළු පැහැති රෙදිවලින් ඇප්ලික් කරගන්න. යුනිකෝන්ගේ හිස උඩ කොටස සඳහා එහි ඇති වර්ණ සියල්ලම භාවිත කර ඇප්ලික් කරගන්න. හංස කුෂන් එකේ පහතින් අැති තණකොළ පඳුරු සඳහා කොළ, කළු සහ ටර්කොයිස් වර්ණ භාවිත කර ඇප්ලික් කර ගන්න. ඉන්පසු කුෂන් කවර මසා කුෂන් දමා අලංකාර කරගන්න.

 

මේ අාකාරයටම සමනලුන්, කුරුල්ලන් වැනි සතුන් ද කුෂන් කවර මතට ඇප්ලික් කර ගත හැකියි.