වර්ණවත් ඩැෆඩිල් මලක හැඩ

පෙබරවාරි 24, 2021

සොබාදහමේ අපූරු වර්ණ සංකලනයකින් හැඩවූ ඩැෆඩිල් මලක චමත්කාරයයි මේ.

ස්වාභාවික පරිසරයේදී පඳුරු වශයෙන් නිර්මාණය වී පරිසරයම වර්ණවත් කරන ඩැෆඩිල් මල අයිසිං කලාවෙන් හැඩවන අන්දම මෙවර ඔබට ඉදිරිපත් කරන්නෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ටූල්

ගේජ් 20 කම්බි

ඩස්ටිං පවුඩර්

වේනර් එකක්

නිර්මාණය කිරීම

මෙම මල නිර්මාණය කිරීමේදී පළමුව හත්වැනි අයිසිං පාඩම්මාලාවෙන් ඔබට හඳුන්වාදුන් පෙටුනියා මල සාදාගත් ආකාරයට මල් කීපයක් සාදාගත යුතුය. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් කුඩා අයිසිං බෝලයක් ගෙන එය පොහොට්ටුවක් ආකාරයට සාදා එහි එක් පැත්තක් ඇඟිලි තුඩු මඟින් තදකරන්න. පසුව මල් පෙත්ත යට අතට හරවා බෝල ටූලය මඟින් පෙත්ත රැලිවන ආකාරයට ටූල්කරන්න. දැන් මල් පෙත්තෙහි මැද ඇතුළට යන පරිදි ටූල් එකෙන් තදකරන්න. ඉන්පසු ගේජ් 20 කම්බිය ගෙන අඟල් තුනක් පමණ දිග කම්බි කොටස් හයක් කපාගන්න. දැන් එම කොටස් හය එකට බැඳ ඒ මත ජෙලටින් ස්වල්පයක් තවරා එයට උඩින් රුලං ස්වල්පයක් දමන්න. දැන් ඒ මත තැඹිලි ඩස්ටිං පවුඩර් ස්වල්පයක් දමා වේළෙන්නට තබන්න. එය වේළුණු පසු ඉහතින් සාදාගත් මලට සම්බන්ධ කරන්න. මෙම මල සාදාගන්නා ආකාරය පළමුවැනි ඡායාරූපයෙන් දැක්වේ.

දැන් තවත් අයිසිං කොටසක් ගෙන තුනීකර මල්පෙති හයක් කපාගන්න. ඒ සඳහා කටර් භාවිත කිරීම අවශ්‍ය නොවන අතර ඔබ කැමැතිනම් මල් පෙති කටරය තබා කපා ගන්න. ඉන්පසු එම පෙති හයට කම්බි කොටස් හයක් සම්බන්ධ කරන්න. දැන් මල් පෙත්ත හොඳපිට හරවා වේනර්කර ඩස්ටිං පවුඩර් තවරන්න. ඉන්පසු නැවතත් මල්පෙත්තේ කණපිට ස්පොන්ජ් කොටසක් මත තබා පෙත්ත බොකුටු වෙනසේ ටූල්කර වේළෙන්නට තබන්න. දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ සාදාගත් මල් පෙති හයයි. දැන් එම මල් පෙති හයෙන් තුනක් ගෙන තෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කලින් සාදාගත් පෙටුනියා මලේ යටින් තබා බැඳගන්න. පසුව එම පෙති අතරට අනෙක් මල් පෙති තුන තබා බඳින්න. එහි යටට කුඩාවට සාදාගත් අයිසිං බෝලයක් තබා කෙමිය ආකාරයට සකස්කර ගන්න. එසේ සාදාගත් මල සිව්වැනි ඡායාරූපයෙන් දැක්වේ.මෙලෙසින් ඔබට අවශ්‍ය පරිදි මල් සාදා කේක් එකක් හැඩකරගැනීමට පුළුවනි.

 

 

දෙස් -

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය