නිර්මාණකරණය ජීවිතය කරගත් පියසීලි කරුණානායක

මැයි 5, 2021

 

නැවුගල, දංඕවිට පදිංචි ලතා පියසීලි කරුණානායක, වයස අවුරුදු 70 ක් වූ ජීවිතයේ පරිණත අවධියේ ජීවත්වන නිර්මාණශීලී දෑතක් හිමි කාන්තාවකි.

කුඩා අවධියේ පටන්ම මැහුමට ගෙතුමට ඇලුම් කළ ඇයට ඒ පිළිබඳ ඉගැන්වීමට කිසිවකුත් සිටියේ නැත. නමුත් ඇය අත්කම් නිර්මාණයක් දුටුවිට ඒ දෙස හරිම ආසාවකින් බලාගෙන හිටියාය.

ඒ විතරක් නොවෙයි කෙදිනක හෝ මෙවැනි නිර්මාණයක් තමා විසින්ම නිර්මාණය කරනවා යන අදිටනත් හිතේ තියාගත්තාය. ඒ සඳහා ඇයට තරුණී පුවත්පත විශාල රුකුලක් වුණා. ඒ මීට දශක 3 - 4 කට පෙරදියි. මේ ඇගේ අදහසයි.

"ඒ කාලෙ මම රැකියාවක් කළා. රැකියාවට යන අතරතුර තරුණී පුවත්පත ගන්න පුරුදුවෙලා හිටියා. ඒ අත්කම් නිර්මාණ නිසයි. පත්තරේ කියලා දෙන විදිහට මම පුංචි පුංචි නිර්මාණ මහන්න ඉගෙන ගත්තා. ගොඩක්ම ප්‍රිය කළේ කතිර නිර්මාණ මහන්නයි.

ඒ විදිහට මම මහන නිර්මාණ දැකලා ඒවා මිතුරියන් මිලදී ගත්තා. ඒ මුදල්වලින් මම මහන්න ඕනෙ බඩු ගත්තා. මහන්න ආසාව තිබුණට මම මහන්න ඉගෙන ගත්තේ තරුණී නිසයි. ඒ ගැන මට හරිම සතුටුයි. මේ නිර්මාණ තරුණී කර්තෘ මණ්ඩලටය පෙන්වන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ නිසා මම මේවත් අරගෙන කොළඹ ආවා. අද මට ගොඩක් සතුටුයි.

තරුණී පුවත්පතේ පළවූ කතිර නිර්මාණ කීපයක් රැගෙන ඇය පසුගිය දිනක තරුණී කාර්යාලයට ගොඩ වුණා. අවුරදු 70 ක් තරම් ජීවිතයේ සැඳෑ සමයේ ජීවත්වන ඇය වැනි නිර්මාණශීලීී දෑතක් හිමි දහසකුත් අපේ පාඨකයන්ට උපහාරයක් පිණිස අප මේ ලිපිය පළ කරන්නෙමු.