රෝස මලින් හැඩ වූ අපූරු නිමැවුමක්

මැහුම් රටා
මැයි 31, 2021

 

 

 

රෝස වර්ණ රිබන් යොදා ගනිමින් ගෙත්තම් කර ඇති බිත්ති සැරසිල්ලක සුන්දරත්වයයි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ලිනන් රෙදි

නොම්බර 20 / 21 ටැපැස්ට්‍රි

ඉඳිකටු

ළා රෝස පාට අඟල හා

අඟල් 1/2 රිබන්

සුදු පාට බේබි රිබන්

රෝස පාට නූල්

ඔලිව් කොළ පැහැති අඟල් 1/2

සහ මිලිමීටර් 2 පළල රිබන්

ඔලිව් කොළ පැහැති සැටින්

රෙදි කොටසක්

දුඹුරු පාට කැරැලි නූල්

එම්බ්‍රොයිඩරි රාමුවක්

ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක්

 

නිර්මාණය කිරීම

පළමුව ඡායාරූපයේ දළ සටහනක් රෙද්ද මත පිටපත් කරගන්න.

ඒ සඳහා ඩ්‍රෙස් මේකිං කාබන් කොළය භාවිත කරන්න. දැන් අපි නිර්මාණය මැසීම අරඹමු. එහිදී මුලින්ම ලොකු රෝස මල් තුන මසා ගත යුතුයි.

ඒ සඳහා ළා රෝස පාට අඟල පළල රිබන් භාවිතකර ෆෝල්ඩඩ් රෝස මලක් සාදාගන්නා ආකාරය ඡායාරූපය දෙස බැලීමෙන් ඔබට පැහැදිලි වේවි.

එසේ සාදාගත් රෝස මලක් ගෙන දළ සටහනේ මල් මසාගත යුතු ස්ථානය මත තබා මසාගන්න.

මල රෙද්දට සම්බන්ධ කිරීම සඳහා රෝස පාට නූල් පට දෙකක් ඉඳිකටුවට දමා නූල උඩට නොපෙනෙන පරිදි මසා ගන්න.

ඉන්පසු එම මල වටේට රෝස පාට අඟල පළල රිබන් භාවිතකර ලූප් මැහුම් කීපයක් මසා ගන්න.

මේ ආකාරයට පෙති වට 3 - 4 ක් ප්‍රමාණයක් මසා ගත යුතුය. මෙලෙසින් අනෙක් මල් ද මසා ගත යුතු අතර දකුණු පසට හැරී ඇති මල මැසීමේ දී අවසන් පෙති රිබන් මැස්ම යොදා ගනිමින් මසා ගත යුතුයි.

 

රෝස පොහොට්ටු මැසීම

ඒ සඳහා අඟල පළල ළා රෝස පාට රිබන් භාවිතකර රිබන් මැස්මෙන් මසා ගන්න.

කුඩා පොහොට්ටු මැසීම සඳහා අඟල් 1/2 රිබන් භාවිත කරන්න. මනි පත්‍ර මැසීම සඳහා ඔලිව් කොළ පැහැති බේබි රිබන් භාවිත කරමින් රිබන් මැස්මෙන් මසා ගන්න.

පොහොට්ටුවෙහි යටින් ඇති කොටස සඳහා ප්‍රංශ ගැටයක් මසා ගන්න.

 

සුදු පැහැති මල්

 

ඒ සඳහා සුදු පාට බේබි රිබන් භාවිතකර රිබන් මැස්මෙන් මසා ගන්න.

මෙහිදී රිබන් කොටස මඳක් උස්වන ලෙස ලූස් රිබන් මැස්මක් මසා යටට පුළුන් බෝලයක් තබා මලට ත්‍රිමාණ ස්වරූපයක් ලබා දෙන්න.

නැතිනම් කුඩා පබළු ගෙන අවශ්‍ය තැන්වලට මසා ඊට උඩින් පබළුව වැසෙන පරිදි රිබන් මැස්මෙන් මසා ගන්න. මල් පොහොට්ටු ප්‍රංශ ගැට ක්‍රමයට මසා ගන්න. නැටි මැසීම සඳහා මිලිමීටර් දෙක පළල කොළ පැහැති රිබන්වලින් නැටි මැස්මෙන් මසා ගන්න.

එම මල් ඉත්ත අසළ ඇති කොළ ඉත්ත මැසීම සඳහා කොළ පැහැති මිලිමීටර් දෙක රිබන් භාවිතකර කෙළින් මැස්මෙන් මහන්න.

එහි නටු මැසීම සඳහා දුඹුරු පාට කැරැලි නූල් පොට 4 ක් භාවිතකර කෙළින් මැහුම් කීපයක් මහන්න.

මෙහි ඇති අනෙක් කොළ මැසීම සඳහා ඔලිව් කොළ පැහැති බේබි රිබන් භාවිතකර රිබන් මැස්මෙන් මසා ගන්න. එහි නැටි, නැටි මැස්මෙන් මසාගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ශිරන්ති පෙරේරා