පින්බර වෙසක් සැමරුමකට සුබපැතුම් පත්

මැයි 16, 2022

 

පින්බර වෙසක් සැමරුමක් වෙනුවෙන් වෙසක් සුබපැතුමක් යවන්නට හිතන ඔබ වෙනුවෙන් අගනා කාඩ් පත් දෙකකි මේ. පේපර් කුවිලිං ක්‍රමයට ඔබටත් මේවා පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

 

ධර්ම චක්‍රය සහිත කාඩ් පත

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ළා නිල් වර්ණ ඒ4 බෝඩ් එකක්

කහ සහ දුඹුරු වර්ණ ඒ4 කොළ

රතු සහ සුදු ෆෝම් ෂීට් (Form Sheets)

සුදු හා රෝස භාග පබළු

ගම්, කතුරක්

 

නිර්මාණය කිරීම

පළමුව කහ වර්ණ ඒ4 කොළයකින් ධර්ම චක්‍රයක් ඇඳ කපා ගන්න. පහනක හැඩය හා එහි පහන් දැල්ල පෙන්වීම සඳහා කහ හා දුඹුරු වර්ණවලින් පින්තූරයේ පෙනෙන පරිදි කපා ගන්න. ‍'වෙසක් ආසිරි' වෙනම සුදු බෝඩ් කොටසක ස්ටෑම් කලාව උපයෝගී කරගෙන ප්‍රින්ට් කරගන්න. නැතහොත් ජෙල් පැනක් උපයෝගි කරගෙන ලියා ගැනීමට ද හැකියි.

පසුව ෆෝම් ෂීට්වලින් දී ඇති පතරොම උපයෝගී කරගෙන ලොකු මල් සඳහා ලොකු පෙති එක බැගින් ද පොඩි මල් සඳහා පොඩි පෙති එක බැගින් අවශ්‍ය මල් ගණනට අවශ්‍ය පෙති කපා ගන්න. මෙම මල් පෙති සියල්ල විදුලි ඉස්ත්‍රික්කයක් මඟින් රත්කර අතින් හැඩකර ටූල් කරගන්න. මල් සාදා ගැනීමේ දී අලවා ගැනීම සඳහා ග්ලූ ගන් එක භාවිත කරන්න. මල්වල මැදට භාග පබළුව බැගින් අලවා ගන්න. නිල් වර්ණ ඒ4 බෝඩ් එක දෙකට නමා ගන්න. පසුව පින්තූරයේ පෙන්වා ඇති පරිදි ධර්ම චක්‍රය පහන සහ මල් ටික අලවා අවසන් කරගන්න. කොළ ද අලවාගන්න. කාඩ් එකේ උඩින් කලින් ප්‍රින්ට් කරගත් හෝ ලියාගත් 'වෙසක් ආසිරි ' යන්න ඩබල් සයිඩ් ගම් ටේප්වලින් අලවා ගන්න‍.

 

වෙසක් කූඩුව සහිත කාඩ් පත

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

සුදු ඒ4 බෝඩ් එකක්

නිල්, කහ, රතු, කොළ, දුඹුරු සහ

කළු ඒ4 කොළ

ගම්, කතුරක්

පේපර් ෂෙඩර් මැෂින් එක, කුවිලින්

ටූල් එක

 

නිර්මාණය කිරීම

පළමුව නිල් හා කහ වර්ණ කොළ ගෙන ෂේඩරය ආධාරයෙන් අඟලෙන් 1/8ක් පළල පටි කපා ගන්න. පසුව කුවිලින් ටූල් එක ආධාරයෙන් ලූස් රෝල් සාදාගන්න. වෙනම කොළයක වෙසක් කුඩුවක හැඩය ඇඳ ගන්න. එහි වටේට කළු 1/8 පටි උඩ අතට සිටිනසේ අලවා ගන්න. පසුව එහි කොටස් හතර වෙන්කර වර්ණ දෙකෙන් ලූස් රෝල් අලවා ගන්න. එය වෙනම කපා ඉවත් කර ගන්න. සුදු ඒ4 බෝඩ් එක දෙකට නමා පින්තූරයේ පෙනෙන ආකාරයට මැදින් එම කුඩුව අලවා ගන්න. පසුව ගහක අත්තක් පෙන්වන ආකාරයට අත්තක් කපා අලවා එයට කොළ ටිකක් ද කපා අලවා ගන්න. පොඩි මල් දෙකක් ද කපා අලවා එහි මැදට භාග පබළුවක් අලවා ගන්න. පසුව පින්තූරයේ පෙනෙන පරිදි හඳක හැඩය හා කූඩුවේ රැලි පෙන්වීමට රැලි කපා පෙනෙන පරිදි අලවා ගන්න. එහිද පෙර පරිදිම ‘වෙසක් ආසිරි' යන්න අලවා ගන්න

 

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් ශිල්පිනී

චූලනී ජයසිංහ