නෙත්මානේ හරහා

ඔබේ දෙසවන් පිනවන සයුමි සසංගා
ඔක්තෝබර් 23, 2019

 

නෙත්මානේ දැවටෙන්නයි

අත් අල්ලන් ඇවිදින්නයි

ආදරයෙන් කොඳුරන්නයි

හිත මාගේ මත් වෙන්නයි....

යොවුන් හදවත් සොරාගත් මේ ගීතය යූ ටියුබ් ඔස්සේ ඔබ බොහෝ සෙයින් රසවිඳ ඇති. ආදරණීය සිත් අමන්දානන්දයට පත්කරන මේ ගීතය ගායනා කරන්නේ තවමත් හිරිමල් යෞවනයේ පසුවන සයුමි සසංගා පල්ලියමුල්ලයි. ඇය ගැයූ මේ ගීතයට ලැබුණු ප්‍රතිචාර පිළිබඳ ඇය අප හා අදහස් දැක්වූයේ මෙලෙසයි.

මම මේ ගීතය ගායන කරලා අවුරුද්දක් ගතවුණත් තාමත් එදා වගේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම තරුණ අය අතර මේ ගීතය ගොඩක් ජනපි‍්‍රයයි. ඕනෑම කෙනකුට අදටත් මේ ගීතය යූ ටියුබ් ඔස්සේ රසවිඳින්න පුළුවන්.

ඔබට මේ හැකියාව ලැබුණේ පුංචි කාලෙ ඉඳල ද?

ඔව්. මට මේ හැකියාව ලැබුණේ උපතින්ම කිව්වොත් හරි. ඒ කියන්නේ අවුරුදු 4 විතර ඉඳලා මම ගීත ගායනා කළා. නමුත් ඒ කාලෙදි මේ ගායන හැකියාව වැඩිදුර ප්‍රගුණ කරන්න ඕනේ කියන උනන්දුව තිබුණේ නැහැ. මගෙ තාත්තටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් ඒ කාලේ ඉඳලම ඉඩ ලැබෙන හැම වෙලාවකම තාත්තත් එක්ක ගීත පුහුණුවීම් කළා. මම සිංදු කියනවා අහන්න එයා හරිම ආසයි.

පසුව ඔබ මේ ක්ෂේත්‍රයට යොමුවෙනවා. ඒ ගැන සඳහන් කළොත්...

මම තරුණ වියට එළැඹෙනකොට ගායන ක්ෂේත්‍රය පිළිබඳ වැඩිදුර දැනුම හා පුහුණුව ලබාදෙන්න මගේ තාත්තාට අවශ්‍ය වුණා. ඒ අනුව මම උමාරා සිංහවංශ මහත්මිය යටතේ සංගීතය පුහුණු වුණා. හඬ පුහුණුව සඳහා අදටත් මම ඇය ළඟට යනවා.

 2019/10/23 තරුණි බලන්න..............