ලෝකයට පෙනෙනවාට වඩා තාත්තා ගොඩක් වෙනස්

අසංක ප්‍රියමන්ත පීරිස්ගේ දියණිය අංජලී ශ්‍රීමල්කා
මැයි 6, 2024

තාත්තා පිය සෙනෙහසක මතක අරුමැසිය

මිනිස් ජීවිතයේ යථාර්ථවාදී අත්දැකීම් පදවැල් අතරට එක්වීම තුළ හරි අපූරු නිර්මාණ බිහිවෙයි. එම පදවැල්වල අරුතට ගැළපෙන හඬකින් ඒ ගී සංගීතවත් වෙන විට ඉතා සංවේදී සුන්දර ගීත ලෙසින් එම නිර්මාණ අප හදවතේ නොමැකී රැඳෙන්නේ අපටත් නොදැනීමයි. මෙවැනි හදවතේ රැඳි ගී තනු අතර වඩාත්ම සංවේදී ගීතයක් බවට පත්වෙන්නේ අසංක ප්‍රියමන්ත පීරිස් නම් ජනප්‍රිය ගායකයාගේ ගැඹුරු හඬින් ඇසෙන “මගේ දරු පැටවු අහසට“ ගීතයයි. මේ ගීතයේ පදවැල් නිර්මාණය කළේ ශාන්ත ජයලත් විසිනි. සරල වූ ගී පදවැල් තුළින් නිර්මාණය වූ මේ ගීතය දශක ගණනාවක් පුරා අපගේ හදවතේ රැඳෙන්නේ එම ගීතය ගායනා කරන ගායකයාගේ රූපයත් සමඟයි.පොකුටු කොණ්ඩය හා හීන් උස සිරුරකින් යුත් ඔහුගේ හඬ වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත්වන්නේ ඔහුගේ ගීත තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියත්වයට පත්වෙමිනි.

 

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගේ කවි තාලෙ නෑ කියයි
මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
හඬන සිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි

 

එදා මේ ගීතයේ අර්ථයට වගේම හඬටත් පෙම් බැන්ද සිය දහස් සංඛ්‍යාත රසික පිරිසක් ඔහුව ආදරයෙන් ඇමතුවේ අසංක ප්‍රියමන්ත පීරිස් ලෙසිනි. එදා මෙදා ගායන ලෝකයට ගීත 250කට වැඩි ප්‍රමාණයක් තිළිණ කරමින් ගීත ඇල්බම් 10කට වඩා වැඩි සංඛ්‍යාවක් ගීත ලෝකයට තිළිණ කළ අසංක, හෙළ ගී අඹරේ ජනප්‍රිය ගායකයකු ලෙසින් අදත් වේදිකාවට නැතුවම බැරිය.

 

ගායන ලෝකයේ තමුන්ටම අනන්‍ය වූ හඬක් උරුම කර ගත් අසංක ප්‍රියමන්තගේ හඬ හා ගීතවලට රසික රසිකාවියන් බොහෝ සෙයින් පෙම් බැන්දත් ඔහුගේ පෞද්ගලික ජීවන තොරතුරු ගැන මාධ්‍යයේ අසන්නට දකින්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි.

ඉතාම නිහතමානී, සැහැල්ලු ජීවිතයක් ගත කරන ඔහුගේ සෙනෙහසින් බැඳි කැදැල්ල හරිම සුන්දරයි. මේ සොඳුරු වූ සෙනෙහස පිරි කැදැල්ල වඩා අර්ථවත් වී ඇත්තේ දරුවන් තිදෙනකුගේ පියකු ලෙසින් ඔහු ලැබූ පීතෘත්වයයි.

පියකු ලෙස වඩාත් සතුටුවන ඔහුගේ ලෙයින් උපන් දරුවන් ඔහු සමඟ ගී ගයන විට ඇතිවන ආඩම්බරය අපරිමිතය. මේ ආඩම්බර තාත්තාගේ ලෝකයේ හැඩකාර දියණිය ද ඔහුගේ ගායන ලෝකයට ප්‍රවිෂ්ට වෙන්නේ “සෙනෙහසකට අරුතක්“ නම් ගී මියැසිය සමඟය. මේ ගී මියැසියේ අසංක ප්‍රියමන්ත පීරිස් සමඟ ආදරණීය වැඩිමහල් දියණිය අංජලී ශ්‍රීමල්කා පීරිස් හා බාල පුතණුවන් දෙදෙනාවන අසන්ත ශ්‍රීමාල් සහ අසෙන්ත ශ්‍රීමාල් පීරිස් ද එකම වේදිකාවකදී තම ආදරණීය පියා සමඟ ගී ගයනු ඇත. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මෙලෙසින් ගීතවත් වන මේ ගී සැදෑවේ විශේෂත්වය ආදරණීය තාත්තාගේ සෙනෙහස ගැන මුලින්ම කියන්න අප සමඟ එක්වූයේ අසංක ප්‍රියමන්තගේ ආදරණීය වැඩිමල් දියණිය අංජලී ශ්‍රීමල්කා පීරිස්ය. ඇය තම ආදරණීය තාත්තා වෙනුවෙන් පුදන උපහාරය හා තාත්තාගේ ගුණ සුවඳ ගැන මතකාවර්ජනා කරන්නට අප සමඟ සුහද පිළිසඳරකට එක්වුණේ මහත් සතුටිනි.

 

“අපේ තාත්තා හරිම සරල චරිතයක්. ඒ වගේම තමයි ඔහු පුංචි කාලේ පටන්ම අපිත් එක්ක හිටියේ යාළුවෝ වගේ. ඇත්තටම ඒ කුඩා කාලයේ තිබුණු මිත්‍රකම හා සමීප බව අදටත් තියෙනවා. ඒත් මමත් දරු දෙදෙනෙකුගේ මවක්. නමුත් අපේ තාත්තාගේ එදා තිබුණු ආදරේ අඩුවක් නැහැ. අද එදා වගේ අපිත් එක්ක සෙල්ලම් කරන්න ආෙව් නැති වුණාට අපි ගෙදරට ආපු දවසට තාත්තා හරිම සතුටු වෙනවා. මගේ දරුවෝ දෙන්න එක්ක සෙල්ලම් කරනවා.

ඇත්තටම අපට තාත්තා එක්ක කුඩා කාලයේ ගත කරන්න ලැබුණේ බොහොම අඩුවෙන්. ඔහු ඒ කාලේ හරිම ජනප්‍රියයි. ඒ ජනප්‍රිය දශක දෙක තුනේදී තමයි තාත්තා “සඳ නාවත් කමක් නැතේ“ ගීතයයි, “හිරු විකසිත වී“ කියන ගීතයයි ගායනා කළේ. ඒ කාලේ සමහර වෙලාවට මාස ගණනකින් අපිට තාත්තාව දකින්න ලැබෙන්නේ නැහැ. විදේශ රටවල සංගීත ප්‍රසංගවලට යනවා. තාත්තා ගෙදර ඉන්න දවල් කාලයේදී විතරයි ඔහු සමඟ ගත කරන්න අපට ලැබුණේ. නමුත් අම්මා අපේ සියලු වැඩ ගැන සොයා බැලුවා. අපේ අම්මාගේ නම ශ්‍රියා ඡන්දනායක. අම්මා, තාත්තා නැති වුණාට අපට ඒ අඩුව දැනෙන්න දුන්නේ නැහැ. අම්මයි තාත්තයි අපේ ගෙදර වැඩ කළේ හොඳ අවබෝධයකින්. එදා තිබුණු ඒ බැඳීම කිසිම දවසක අඩු වුණේ නැහැ. අපේ ලොකු මල්ලි දැන් ඔහුගේ උපාධිය අවසන් කරලා සංගීත කටයුතු හා අධ්‍යාපනය හදාරනවා. ඔහු ඔස්ට්‍රේලියා යන්න අපේක්ෂාවෙන් ඉන්නේ. පොඩි මල්ලි ශ්‍රීමාල් උසස් පෙළ හදාරනවා. මම විවාහ වෙලා ඉන්නේ කලණ දම්පල සමඟ. අපි ලැබුණු වෙලාවට අපේ මහ ගෙදරට එනවා. ඇවිත් අම්මයි තාත්තයි සමඟ කාලය ගත කරනවා.

 

අපේ තාත්තා ලෝකයට පෙනෙන්න කැපී පෙනෙන්න දැඟලුවේ නැති වුණාට අපි වෙනුවෙන් විශාල කැපවීමක් කළ චරිතයක්. ඇත්තටම සමාජයේ අපි ඉහළ මට්ටමක ඉන්නවා නම් ඒ අපේ තාත්තගෙයි අම්මගෙයි ශක්තිය හා කැපවීම නිසයි. අපේ අම්මා රැකියාවක් නොකළත් මුළු කාලයම අපි වෙනුවෙන් කැප කළා. තාත්තා අපට විය යුතු, ලැබිය යුතු හැම දෙයක්ම දෙන්න විශාල මහන්සියක් ගත්තා.

 

මට පුංචි කාලෙ මතකයි තාත්තා අපිත් එක්ක වැස්ස වෙලාවට වැහිපීල්ලෙන් නානවා. සමහර දවස්වලට අපිට සෙල්ලම් බඩු ගොඩක් ගෙනත් දෙනවා. අපි පොත්පත් ඉල්ලුවහම කබඩ් එකක් පිරෙන්න පොත් ගෙනත් දුන්නා. ඒ වගේ අපට කිසිම දවසක කිසිම දෙයකින් අඩුවක් කළේ නැහැ. තාත්තා අපට දුන්න පිය සෙනෙහස වචනයෙන් අර්ථ දක්වන්න බැහැ.

ඒ කරපු කැපවීමට හා ආදරයට අපි වටිනාකමක් දෙන්න ඕනේ කියලා අපට කාලයක පටන්ම අදහසක් තිබුණා. ඒකට තාත්තාගේ උපන්දිනයට පාටියක් දාලා වැඩක් නැහැ කියලා අපට හිතුණා. මේ අවුරුද්දේ තාත්තාගේ කලා ජීවිතයට අවුරුදු තිහක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අපි තාත්තා සමඟ එකතු වෙලා පවුලේ හැම දෙනාම ගී ගයන ප්‍රසංගයක් පවත්වන්න තීරණය කළා.

 

මේ ප්‍රසංගය පවත්වන්නේ මැයි මාසයේ 11 වැනිදා. “සෙනෙහසකට අරුතක්“ ලෙසයි ප්‍රසංගය නම් කරලා තියෙන්නේ. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පවත්වන ගී ප්‍රසංගය සවස 7.00ට ගීතවත් වෙනවා. ‘නාද‘ සංගීත කණ්ඩායම සංගීතවත් කරන ගී ප්‍රසංගයේදී ගී ගායනය කරන්නේ මමයි, මල්ලිල දෙන්නයි, තාත්තයි. ඒ කියන්නේ අපේ පවුලේ අය තමයි ගී ගායනා කරන්නේ. ආරාධිත ගායිකාවක් ලෙස නිරෝෂා විරාජිනී අක්කා එකතු වෙනවා. මම හිතන්නේ දරුවන් ලෙස මේ තමයි අපෙන් අපේ තාත්තාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග කියලා.

 

තාත්තා රෑ නිදිමරාගෙන ගීත කියලා අපව ලොකුමහත් කරන්න ගත්තු මහන්සියට උපහාර පුදන්න මේ ප්‍රසංගය ප්‍රමාණවත් මදි. නමුත් එදාට මම මුල්ම වරට වේදිකාවකදී ගී ගායනා කරනවා. තාත්තාට දකිනකොට ලොකු සතුටක් දැනේවි. ඒ සතුට තමයි කලාකරුවෙක් ලබන ලොකුම සතුට. අපේ තාත්තා ගායකයෙක් වුණේ එක රැයකින් එක ගීතයක් ගායනා කරලා නෙවෙයි. ඔහු ගුවන් විදුලියේ සරල ගී ගායනා කරලා, සංගීතය හැදෑරීමක් කරලා තමයි මේ තත්ත්වයට ආවේ. තාත්තා තරුණ කාලයේ ලී කැටයම් වැඩ තමයි කරලා තියෙන්නේ. අපේ සීයාගේ වඩුමඩුවේ වැඩ කරලා තැනකට ආපු තාත්තා අද ජීවිතයේ සාර්ථක ගමනක් ඉතා හෙමින් ඇවිත් තියෙනවා. ඒ ආදර්ශය වර්තමාන පරපුරටත් හොඳ ආදර්ශයක්.

 

 

 

තාත්තා පිය සෙනෙහසක මතක අරුමැසිය