කලාකරුවන්ටත් සොබා දහම හා මුසුවන්නට ලැබුණු සැබෑ නිදහස

අප්‍රේල් 22, 2020

බලාපොරොත්තු නොවූ කාලයක බලාපොරොත්තු නොවූ අයුරින් දීර්ඝ නිවාඩුවක් ලැබිලා. කොරෝනා වසංගත රෝගය පැතිරයාමේ අවදානම නිසා මේ වනවිට සියලු දෙනාටම තමන්ගේ නිවෙස්වලටම වී කාලය ගත කරන්න සිදුවෙලා.

ඉතිං ඔබ නිවෙසේ ගත කරන කාලය නීරස කරගත යුතු නැත. නිවෙසේ සිටින ඔබට පොත් කියවීම, චිත්‍රපටි බැලීම ආදී තමන් කැමැති විනෝදාංශ වල නිරත වීමට පුළුවන් සේම මේ කියන්න යන්නේ එලෙස කළ හැකි තවත් විනෝදාංශයකට යොමු වූ කලාකරුවන් පිරිසක් ගැනයි.

කලාකරුවන් බොහෝ දෙනෙක් සැමටම ආදර්ශයක් වෙමින් මේ දිනවල ගෙවතු වගාවට යොමු වෙලා. සමාජ මාධ්‍ය ජාලා තුළ සැරිසරන ඔවුන්ගේ වගා කටයුතු පිළිබඳ ඡායාරූප ඔබත් දකින්නට ඇති. තරුණී අප සමගත් ඔවුන්ගේ මේ ගෙවතු වගාවන් පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.

 

වගාවට යොමුවීමෙන් පවුලේ එකමුතුකමත් වැඩි වෙනවා

ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු

නිවෙසට වී සිටින මේ කාලය ඔබ ගත කරන්නේ කොහොම ද?

නිකන්ම ඉන්න වෙලාවේ මොනවහරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න හිතුවා. අපේ ගෙදර හැමෝම එකතු වෙලා එළවළු වගාවක් පටන් ගත්තා.

මේ සිදුවෙලා තියෙන ව්‍යසනයත් එක්ක ඉස්සරහට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේක තව සති දෙකකින් ඉවර වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මාස ගණනක් යන්නත් පුළුවන්. ඉතිං කෝකටත් සූදානම් වෙලා ඉන්න එක හොදයිනේ. අපි වගා කරන දේවල් වලින් පොඩි හරි දෙයක් අපේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්නම් ඒක ලොකු සතුටක්.

එළවළු වගාවක් කරන්න අදහස ආවේ කොහොම ද?

පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍ය ආයතන තුළින් මේ ගැන දැනුවත් කලා. මං හිතන්නේ වැඩි දෙනෙක් ගෙවතු වගාවට යොමු වුණේ ඒ හරහා.

ගෙවතු වගාවකට යොමු වෙද්දී ඉඩකඩ ප්‍රශ්නය තමයි ගොඩක් අයට තියෙන්නේ. මගේ ගෙවත්තේ ලොකු ඉඩක් නැහැ. මං එළවළු වගා කරලා තියෙන්නෙ පෝච්චිවල, ප්ලාස්ටික් බඳුන්වල. මට තියෙන්නෙ කුඩා ඉඩක්. මං ඒ කොටසේ පුළුවන් විදිහට වගා කරනවා. දැනට කරපිංචා, මිරිස්, රම්පෙ, තක්කාලි, වම්බටු, දඹල සහ මෑ කරල් වැනි එළවළු වර්ගත් නිවිති, ගොටුකොළ වැනි පලා වර්ගත් වගා කරලා තියෙනවා.

ගෙදර හැමෝම එක්ක මේ වගේ දෙයකට යොමු වීම ඔබට දැනෙන්නේ කොහොමද?

මම වෙනදාටනම් ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඉතිං හරි සතුටුයි මගේ බිරිය සහ දරුවන් එක්ක එකමුතු වෙලා එකම වැඩක නිරත වෙන එක. ඒකෙන් දැනෙන්නේ නැහැ අපි මේ ගෙදරට කොටු වෙලා ඉන්නෙ කියලා. පවුලේ එකමුතුකමත් වැඩි වෙනවා.

ඉතිං නිවෙසේ ගත කරන මේ කාලයේ දී අනිත් හැමෝමත් එළවළු පැළ කිහිපයක් වගා කරනවානම් අනාගතයටත් ඵල ප්‍රයෝජනවත් වේවී.

*************************************

දුවවත් එකතු කරගෙන ගෙවතේ වැඩ ටිකක් පටන් ගත්තා

 

- හිමාලි සයුරංගි

 

මේ දවස්වල දුවත් එක්ක කාලය ගත කරන්න කාලය ගත කරන්නෙ කොහොමද?

ඇත්තටම කාලයකට පස්සේ අපි හැමෝටම ලොකු විවේකයක් ලැබිලා තියෙනවා. කාලයක පස්සෙ මෙහෙම දුවත් එක්ක නිදහසේ ඉන්න ලැබුණේ.

දුවත් එක්ක ගෙවන කාලය මට ඇත්තටම වටිනවා.

දරුවන්ට පොඩි කාලෙ ඉඳන්නම හොඳ දේවල් පුරුදු කරන්න ඕනේ. ඉතිං දුවවත් එකතු කරගෙන ගෙවතේ වැඩ ටිකක් පටන් ගත්තා. අපිට ඉඩ ලැබෙන සැම විටම සොබා දහමත් එක්ක එකතු වෙලා දෙයක් කළොත් එකෙන් ලොකු තෘප්තියක් ලබන්න පුළුවන්.

අපේ මිහි මවට අපි සලකන්න ඕනේ. අපේ වටපිටාව ප්‍රයෝජනවත් විදියට හැඩ කරන්න ඕනේ.

කොහොමද ගෙවත්ත ඒ විදියට හැඩ කළේ?

මට අමුතුවෙන් ගෙවත්ත වෙනස් කරන්න ඕනේ වුණේ නෑ.. මොකද මට තිබුණේ පවත්වාගෙන ආ ගෙවත්ත නඩත්තු කරගෙන යාම පමණයි.

මං මතක ඇති කාලෙක කඩෙන් පැපොල් අරන් නෑ. මොකද අපේ ගෙවත්තෙ තියනවා.

මාලු මිරිස්, වම්බටු, තිබ්බොටු, තක්කාලි, නිවිති, දෙහි වගේම කරපිංචා පැලයක් රම්පෙ ගසක් මේ ගෙවත්තෙ තියෙනවා. මේ දේවල් තමයි මං උයන පිහන දේවල් වලට පාවිච්චි කරන්නෙ.

මං හිතනවා මේක හැමෝටම ලැබුණූ අවස්ථාවක් කියලා. ඉතිං අපි හැමෝම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජවත් දෙයක් කරන්න ඕනේ.