‘හරිම දවස ආවම ඒ හීනෙත් සැබෑවෙයි’

රයිගම් ටෙලීස් ජනප්‍රියම හා දක්ෂතම නිළිය
සැප්තැම්බර් 30, 2020

ශලනි තාරකා

එකම සම්මාන උළෙලක දී දක්ෂතම සහ ජනප්‍රියම යන සම්මාන දිවිත්වයටම හිමිකම් කියන්නට ලැබෙන්නේ නම් එය වාසනාවකි. 16 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ඒ සම්මාන ද්විත්වයම දිනාගැනීමට එක් රංගන ශිල්පිනියකට හැකි විණි.

ඇය ශලනි තාරකා. ගැමි චරිතයක් වේවා නාගරික චරිතයක් වේවා එකලෙස සැබෑ දක්ෂතාවෙන් රඟපාන්නට හැකියාව ඇති අපේ ටෙලි අඹරේ අතළොස්සක් වූ නිළියන් අතරින් කෙනෙකි ඇය.

ඇගේ මේ හැකියාව මේ සම්මාන ද්විත්වයම ඇයට හිමිකර දෙන්නට මං සලසන්නට ඇත.

වසර 24 කට පසු සම්මාන උළෙලකදී දක්ෂතම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ඇය විසින් දිනා ගැනීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමකි.

ඒ නිසාම අප ඇය හා මෙලෙස කතිකාවකට මුල පිරුවෙමු.

ජනප්‍රියම නිළියත්, දක්ෂතම නිළියත් යන සම්මාන ද්විත්වයම ලබා ගැනීම පහසු දෙයක් නොවෙයි. මෙවර රයිගම් ටෙලි සම්මාන උළලේදී ඒ වාසනාව ඔබට ලැබෙනවා. මොකද ඒ ගැන හිතෙන්නේ....

කියාගන්න බැරි තරම් සතුටුයි. අවුරුදු 24 ක වාර්තාවක් නැවත අලුත් කරන්නට මට හැකියාව ලැබුණා. ඒක ලේසි පහසු දෙයක් නොවෙයි.

මේක හීනයක් කලින් නොදැකපු. හොඳම වෙලාවට හරිම දේ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ජීවත් වුණු මට හිතුවටත් වඩා හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න හැකිවුණා.

ඔබව විශිෂ්ටතම නිළිය කළ ‘අඩෝ’ ගැනත් මතක් කරමු...

‘අඩෝ’ ටෙලි නාට්‍යයේ කමනිගේ චරිතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.

කමනි කියන්නේ විවාහ වෙච්ච, මුඩුක්කු පරිසරයක ජීවත් වෙන, දරුවෝ තිදෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. සැමියාගේ වියෝවත් සමග දරුවෝ තිදෙනාවත් බලාගෙන ජීවිතය ගෙන යන ඇයට සිදුවන තාඩන පීඩන, දුක් කම්කටොළු තමයි නාට්‍ය පුරාම ගලාගෙන යන්නේ.

මාව විශ්වාස කරලා ඒ චරිතය මට ලබා දුන්නට සුපුන් රත්නායක සහෝදරයාට මා ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිනවල විකාශය වන ගිරිදේවි ටෙලියේ ආශාගේ චරිතයටත් මෙවැනිම සම්මානයක් දිනා ගැනීමට හැකි වෙයිද?

‘අඩෝ’ ටෙලි නාට්‍යයේ කමනිගේ චරිතයට පසුව බොහෝ දෙනා මං ගැන කතා බහ කළේ ‘ගිරිදේවි’ ටෙලියේ ආශාගේ චරිතය හරහායි. එය ඉන්දික ධර්මතිලකයන්ගේ අධ්‍යක්ෂණයක්. කාලයකට පසුව ලැබුණු වෙනස්ම විදිහේ චරිතයක් තමයි ආශා.

ආශා කියන්නේ බොහොම දඩබ්බර කෙනෙක්. ඒ වගේම මුරණ්ඩුයි. හැබැයි ඇය හිත හයිය යකඩ ගැහැනියක්.

අම්මා, තාත්තා නැති අධ්‍යාපනයක් නැති කෙනෙහිලිකම්වලට නිතර මුහුණ පාන ආශා ඇත්තෙන්ම අවාසනාවන්තියක්. ගිරිදේවි කියන්නේ යක්ෂණියක වූ ගැහැනියකගේ කතාවයි. හැම ගැහැනියක් තුළම ආශා කෙනෙක් ජීවත් වෙනවා. ඒ නිසයි ආශාගේ චරිතයට මෙතරම් අය ආදරය කරන්නේ.

ඔබ සැබෑ ජීවිතය තුළත් නින්දා, අපහාස, අවමාන විඳදරා ගනිමින් සාර්ථක ගමනක් ආ කෙනෙක්...

මගේ මේ ගමන පටන් ගත්තේ සිරස කුමරිය ලෙස කිරුළු පැලඳී දිනයි. මම මගෙ ගමන පටන් ගත්තෙත් ඔටුන්නක් දාගෙනමයි. එදා සිට එක එක කාලවලදී මට විවිධ අපවාදයන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ අපවාද අවලාද චෝදනාවලට සැළුණා නම් මම මිය ගිය තැන්වල ගසුත් පැළවෙලා ඉවරයි.

මට මඩ ගැහුවා කියලා මම එක තැන නතර වුණේ නැහැ. මම නිහඬව තව තවත් ඉහළට ආවා.

නින්දා, අපහාස, අනේක ගැරහුම් බාධා මැද ආපු මේ ගමනෙන් එකතු කරගත් ගල්මුල්වලින් තැනූ මාලිගාවේ පළමු මහලේ වැඩ දැන් අවසන්. ඊළඟ මහල තනන්නට ඉදිරියටත් මගේ ප්‍රේක්ෂකයන්ගේ ඇගයීම වගේම ගැරහුමත් මට වටිනවා.

මා පන්නරය ලැබුවේ ඒ දේවල්වලින්. මා ගනුදෙනු කරන්නේ මගේ හෘද ශාක්ෂියත් එක්කයි.

“ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි.” සම්මාන දෙක ලැබුණු වෙලාවේ මං ගුරුගීතයේ හද හොරාගත් ඒ වැකිය ෆේස්බුක් ගිණුමට එක්කළේ මගේ ජීවිතය දිහා බලලයි.

දැන් ඔබ ක්ෂේත්‍රය තුළ ලැබිය යුතු ඉහළම සම්මානය, ජනප්‍රියත්වය, පිළිගැනීම ලබා ගෙන තිබෙනවා. ඊළඟ හීනය විවාහයද?

කල වයස ආවම විවාහ වෙන්න ඕනේ කියන දේ මිනිස්සු හදාගත්ත දෙයක්. අපිට ගැළපෙන කෙනා ලැබෙන දවස තමයි හොඳම දවස වෙන්නේ. මට හිතෙන්නේ මට ඒ දවස බොහොම දුරයි.

ඒත් මට කවදත් ඕනෙ වුණෙත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න.

අවුරුදු 15 - 16 ඉඳලම මම ඒකට හීන දැක්කා.

මං මැරීගෙන ආදරය කරපු කෙනෙක්. ඒ වගේම මැරීගෙන ආදරය කරන්න පුළුවන් කෙනෙක්. හරිම දවස ආවම ඒ හීනයත් සැබෑ වෙයි.