රුවෙන් ලොව දිනූ අමෙරිකානු හදවත්වල රැජන ප්‍රියංකා චොප්රා..

ඔක්තෝබර් 17, 2022

 

විවාහයෙන් පසුව අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි වී සිටින ප්‍රියංකා චොප්රාට 2022 වසරේ අ‍ෙමරිකාවේ කාන්තා නායකත්ව සංසද සමුළුවට සහභාගී වීමට ද අවස්ථාව හිමි විය. එය පැවැතියේ වොෂිංටනයේ පිහිටි ධවල මන්දිරයේ දී ය.

 රුව ඇති දියණිය පවුලකට වටිනාකමක් එක් කරන බව අතීතයේ සිට පැවතෙන කියමනකි. කාන්තාවකට රුව වඩා වැදගත් වන බව සත්‍යයකි. නමුත් රුව පමණක්ම ඇති දියණියක් පවුලකට වාසනාව කැඳවනවාට වඩා කැඳවන්නේ අවාසනාවයි. එමනිසා රුව මෙන්ම නැණ, ගුණ ද දියණියකට තිබිය යුතුමය.

 

එවන් රුවින් මෙන්ම ගුණයෙන්, නැණවත් බවින් යුතු භාරතීය දියණියක් වන්නේ ඔබ අප කවුරුත් නමින් දන්නා ප්‍රියංකා චොප්රා ය. ඇය 2000 වසරේ දී ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජන තරගයට සහභාගී වී ලෝක රූ රැජන ලෙසින් කිරුළු පැලැඳියා ය.

ඉන්දියාවේ අනෙකුත් රූ රැජිනන් මෙන්ම ප්‍රියංකා ද බොලිවුඩයට අවතීර්ණ වූයේ නිළියක ලෙසිනි. ඈ සතු අනන්‍ය වූ පෙනුම මෙන්ම හඬ ද බොලිවුඩයට නැවුම් අත්දැකීමක් වූ අතර ක්‍රම ක්‍රමයෙන් ඇය තම රුවින් මෙන්ම රංගන, නර්ථන හැකියාවෙන් බොලිවුඩයේ දිදුළන තාරකාවක් විය.

බර්ෆි, සෙවන් කූන් මාෆ්, බිල්ලු බාබර්, හෙරොයින්, භාරත්, තූෆාන්, ඩොන්, දෝස්තානා, බජිරාඕ මස්තානී වැනි චිත්‍රපට තුළින් ඇය තම රංගන හැකියාව මනාව පෙන්නුම් කළාය. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට ප්‍රියංකාගේ හොඳම චිත්‍රපට ලෙස මාරි කොම්, ෆැෂන්, අග්නිපත්, දිල් ධඩ්කනේ දෝ, ඩොන්, ඩොන් 2, බජිරාඕ මස්තානී, කාමිනී, ද ස්කයි ඉස් පින්ක්, බර්ෆි නම්කර ඇත.

මේ වන විට ප්‍රියංකා නිළියක්, නිෂ්පාදිකාවක්, නිරූපිකාවක් හා ගායිකාවක ලෙස කටයුතු කරන්නීය. දැනට 40 වැනි වියේ සිටින ප්‍රියංකා චොප්රාගේ මවුපියන් වන්නේ මධූ චොප්රා හා අශෝක් චොප්රා ය. ඇගේ උස අඩි 5යි අඟල් 61/2 කි. අ‍ෙමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය ගායකයකු හා නළුවකු වන නික් ජොනාස් සමඟින් විවාහ වී සිටින ප්‍රියංකා මේ වන විට කුඩා දියණියකගේ මවකි.

ගායනය, කවි ලිවීම, පොත් පත් කියවීම හා ඡායාරූපකරණය තම විනෝදාංශ කරගත් ඇය ඒ මඟින් තම දක්ෂතා ඔප් නංවා ගැනීමට ද උත්සුක වී ඇති බව පැහැදිලි ය.

ඉන්දියානුවකු පිදුම් ලබන උසස්ම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රියංකා ෆිල්ම් ෆෙයා හොඳම නිළිය ලෙස ද ජාතික සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසින් ද කිහිප වතාවක් ම ඇගයුමට ලක්වූ දක්ෂ නිළියකි. මෙයට අමතරව තවත් බොහෝ සම්මාන ඇගේ වෘත්තීය දිවියේ සාර්ථකත්වයට ලබා දුන් ඇගයීම් විය.

2006 වසරේ සිට ම ප්‍රියංකා යුනිසෙෆ් සංවිධානය හා එක්ව ළමා අයිතීන් හා ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කළාය. එමෙන්ම දිගින් දිගටම ඇය යුනිසෙෆ් ආයතනය හා සම්බන්ධව ළමා අයිතීන් වෙනුවෙන් කටයුතු කළේ ඇය විසින් සිදු කරන අනෙකුත් සමාජසේවා කටයුතු ද සමඟිනි.

එමෙන්ම ප්‍රියංකා ජෝර්දානය, ඉතියෝපියාව, බංග්ලාදේශය ඇතුළු රටවල සංචාරය කරන අතරතුර හමුවූ සරණාගත දරුවන් වෙනුවෙන් ද කටයුතු කළාය. 'දරුවන්ට විරුද්ධ ප්‍රචණ්ඩත්වය නවතමු' ලෙසින් හඬ නඟන ඇය මෙයින් දරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක වන මානසික, කායික හිංසාවන් මෙන්ම ලිංගික අපචාර, ළමා විවාහය නැවැත්වීමට ද කටයුතු කිරීමට ද ලොව පුරා තම හැකියාවන් මඟින් ක්‍රියත්මක වන්නීය.

විවාහයෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි වී සිටින ප්‍රියංකා චොප්රාට 2022 වසරේ ඇෙමරිකාවේ කාන්තා නායකත්ව සංසද සමුළුවට සහභාගී වීමට ද අවස්ථාව හිමි විය. එය පැවැතියේ වොෂිංටනයේ පිහිටි ධවල මන්දිරයේ දී ය. මෙහිදී ඇමෙරිකානු උප ජනාධිපතිනී කමලා හැරිස් සමඟින් දිගු සාකච්ඡාවක නියැළීමට ද ප්‍රියංකාට හැකි විය.

'මගේ මවු රට වන ඉන්දියාවේ තේරී පත් වූ ඉහළම තනතුරු දරන්නේ කාන්තාවන්. ඒ 1966 දී අපේ පළමු අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි දෙවරක් ම එම තනතුර දැරීමට සමත් වෙනවා. එදා සිට වත්මන් ජනාධිපතිනී දෞපදී මුර්මු දක්වා එම අවස්ථා විහිද පවතිනවා... නමුත් මට ඇති ගැටලුව වන්නේ මෙතරම් අවස්ථාවන් ඇති , මෙතරම් විප්ලවයක් ඇති මහා රටේ (අමෙරිකා එක්සත් ජනපදයේ) එම වීදුරු බාධකය තවමත් අවසන් වශයෙන් කැඩී ගොස් නැති බව දකින්නට ලැබීමයි.'

කමලා හැරිස් යනු ඉන්දියානු සම්භවයක් ඇති අ‍ෙමරිකාවේ පළමු වැනි කාන්තා උප ජනාධිපතිවරිය ලෙස එරට ජනතාවගේ ඉහළම ඡන්දයෙන් තේරී පත් වූ ලොව බලවත් ම කාන්තාවක් වේ. එමෙන්ම ප්‍රියංකා ඉන්දියානු සිනමාව අතික්‍රමණය කරමින් නිළියක යන පටු රාමුව බිඳ දමා ලෝකය විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ජයගත් කාන්තාවකි. ඇය අමෙරිකාවේ ජනප්‍රියම නිළිය ලෙස දෙවතාවක් ම අමෙරිකානුවන් අතින්ම අභිශේක ලද පළමු ඉන්දියානු තාරකාව ද වේ. එපමණක්ම නොවේ, 2021 වසරේ සිට ලොව බලවත් ම කාන්තා පෞරුෂයන් දස දෙනා අතර සිටින එකම ඉන්දියානු කාන්තාව ඇයයි.

ඇත්තෙන්ම මේ සියල්ල ඇය ලබාගෙන ඇත්තේ රූපය පමණක් නොව, තම දක්ෂතා හා ගුණයහපත්කම් ද දියුණු කරගැනීමෙනි. ඇය තම උපන් රටට පමණක් නොව, දකුණු ආසියානු කාන්තා අප හැමටම ආඩම්බරයකි.

 

මූලාශ්‍ර අන්තර්ජාලයෙනි