වර්ෂ 2024 ක්වූ October 28 වැනිදා Monday
ලැබෙන හැමදේම ගැන මට සතුටුයි
"සිරි පැරකුම්" සිනමා නිර්මාණය හරහා කලා ක්ෂේත්‍රයට අඩිය තියලා "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍ය හරහා අතිශය ජනාදරයට පත්වුණු රංගන ශිල්පිනියක් ගැනයි අද අපි කතා කරන්නේ. නාඩගම්කාරයෝ ටෙලියේ සුදු චූටි කිව්ව ගමන් මතක් වෙන්නේ ඒ අහිංසක යුවතියව. ඔව් මේ ඈ තමයි.. සෙනාලි ෆොන්සේකා. පසුගිය කාලයේදී ඇයට බොහෝ සංවේදී සිදුවීම් කීපයකටත් මුහුණ දෙන්න වුණා. ඒ නිසාදෝ මෑත කාලයේදී කිසිම නිර්මාණයකින් සෙනාලිව අපිට දකින්න ලැබුණේ නෑ. ඒ හැමදේම ගැන තොරතුරු කතාබහ කරන්න ඇය තරුණී සමඟින් මෙසේ එකතු වුණා.
ඉතින් සෙනාලි ලංකාවට ආවේ කවදද?
දැන් දවස් දෙක තුනක් වෙනවා මෙහෙට ඇවිත්. මම රංගනයට ආපු මුල් කාලේ ඉඳලම එංගලන්තයටත් මෙහෙටත් කාලෙන් කාලෙට යනවා එනවා. ඉතින් ඒක ඉස්සරහටත් එහෙම සිදු වෙයි. හොඳ ආරාධනයක් ලැබුණොත් මෙහෙ ඉඳලා ඒකට මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. මගේ ගෙදර එංගලන්තයේ වුණාට මම කවදත් ආස ලංකාවට. ඉතින් මට ලංකාව දාලා යන්න බැහැ.
මේ දවස්වල ඔබේ රංගන වැඩකටයුතු කොහොමද?
මම මේ දවස්වල ටිකක් නිදහසේ ඉන්නවා. පසුගිය කාලේදී මගේ ජීවිතයේ වෙනස් වෙනස් දේවල්වලට මුහුණ දෙන්න වුණු නිසා මම නැවත සාමාන්‍ය ජීවිතයට හුරුවෙන ගමන් ඉන්නෙ කිව්වොත් හරි. ඒ වෙනසත් එක්ක මම දැන් මගේ දේවල් තනියම කරගන්න පුරුදු වෙන ගමන් ඉන්නේ.
එතකොට මේ දවස්වල කලා නිර්මාණවල දකින්න ලැබෙන්නේ නැත්තෙත් ඒ හේතු නිසා ද?
අම්මා නිසා මම අවුරුදු 2ක් විතර වැඩ භාර ගත්තේ නැහැ. අම්මා බලාගන්න කාරණාවත් එක්ක මම වැඩවලින් පොඩ්ඩක් ඈත් වුණා. හැබැයි ඉතින් ඒ කාලෙට කලින් කරපු නිර්මාණ කිහිපයක් තියෙනවා ප්‍රේක්ෂකයන් අතරට එන්න. කාලෙකට පස්සෙ දැන් තමයි මම කලා නිර්මාණවලට ආරාධනා භාර ගන්නේ.
සෙනාලි ගොඩාක් වෙලාවට අහිංසක චරිතවලට කොටුවෙලා කියලා හිතෙන්නෙ නැද්ද?
මගේ පෙනුම එක්ක ගොඩාක් වෙලාවට මට ලැබෙන්නේ අහිංසක චරිත. ඒ වුණාට මමත් ආසයි ඒකෙන් මිදිලා මං එච්චර අහිංසක නෑ කියලා ප්‍රේක්ෂකයට ටිකක් පෙන්නන්න. මං හිතනවා ඉදිරියේදී මට එකිනෙකට වෙනස් චරිත ලැබෙයි කියලා.
මෙවර සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය සම්මානයට ඔබේ නමත් නිර්දේශ වෙලා තියෙනවා. මොකද ඒ ගැන හිතෙන්නේ?
විජයබා කොල්ලය වෙනුවෙන් තමයි ඒ සම්මානය නිර්දේශ වෙලා තියෙන්නේ. ඒක සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක්. මා කළ නීලමනිගේ චරිතය හැමෝම ආදරයෙන් වැලඳ ගත්තා. ඒ සිනමාපටය මගේ ජීවිතයට ගොඩක්ම වැදගත් වෙන්නේ මගේ අම්මත් එක්ක රූගත කිරීම්වලට සම්බන්ධ වුණු අවසන් නිර්මාණය එය. සරසවිය සම්මාන උලෙළක් වෙනුවෙන් මගෙ නම නිර්දේශ වුණු පළමු අවස්ථාව මෙය. ජනප්‍රිය නිළියන් පස් දෙනා අතර ඉන්න ලැබීම ලොකු භාග්‍යක්. මාව මේ තැන තියපු මගේ ප්‍රේක්ෂයන්ට මම හැමදාමත් ආදරෙයි.
මෙතෙක් ආපු ගමනේදී ජීවිතයට ලැබුණු දේ ගැන මොකද හිතෙන්නේ..
මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10යි. ඒක හරිම පොඩි කාලයක්. ඒ පොඩි කාලෙට මගේ ජීවිතයේදී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සිරිපැරකුම් චිත්‍රපටය තමයි මගේ ජීවිතයේ පාසල වුණේ. මොකද එතැන ඉඳන් තමයි මම විවිධාකාර මිනිස්සුත් එක්ක ගනු දෙනු කරන්න පටන් ගත්තේ. එදා ඉඳන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට කලින් මම අම්මයි තාත්තයි එක්ක ගෙදර ඉඳන් හුරතලයට එංගලන්තයේ හැදුණු පුංචි ගැහැනු ළමයෙක්. ඊට පස්සේ සිරි පැරකුම් චිත්‍රපටය හරහා තමයි ලෝකයට විවෘත වෙන්නේ. සෙනාලි කියන පුද්ගලයාව ශක්තිමත් කරන්න මේ ක්ෂේත්‍රයත් පෞද්ගලික ජීවිතයේදී මුහුණ දෙන්න වූ දේවලුත් හේතුවක් වුණා. නාඩගම්කාරයෝ එකේ සුදු චූටි කියන චරිතයත් මගේ ජීවිතයේ එක කොටසක් වුණා වගේ. ඒ ටෙලිය ඉවර වෙලා දැන් සෑහෙන කාලයක් වුණාට අදටත් ඒ චරිතයට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මට ලැබෙන හැමදේම ගැන මට සතුටුයි. මම කවදාවත් පසුතැවෙන කෙනෙක් නෙවෙයි.
ගෙවුණු අවුරුදු කිහිපයේ ඔබට ජීවිතේ ගොඩාක් දේවල් නැතිවුණා?
මගේ ජීවිතේ තිබුණු වටිනාම දේ මට නැතිවුණා. ඒ අම්මයි තාත්තයි. ඒ එක්ක මං මානසික අතින් බිංදුවටම වැටුණා. හැබැයි මගේ පවුලේ අය, මගේ යාළුවෝ සහ මගේ රසික රසිකාවියෝ දීපු ශක්තියෙන් මං අමාරුවෙන් ආයෙත් නැඟිට්ටා.
සෙනාලිට අම්මා තාත්තා නැති අඩුව දැනෙන්නේ කොහොමද?
මම පුංචි කාලේ ඉඳන්ම අම්මයි තාත්තයි නැති වෙන එකට තමයි ගොඩක්ම බයෙන් හිටියේ. මම පුංචි කාලේ හිතුවේ අම්මා තාත්තා නැති වෙන්න එපා කියලා පුංචි ළමයි ප්‍රාර්ථනා කළාම ඒක වෙන්නේ නැහැ කියලා. ඉතින් මම හැමදාමත් ඒ ප්‍රාර්ථනාව කළා. හැබැයි එයාලගේ වියෝවත් එක්ක මම යථාර්ථය අවබෝධකර ගත්තා. මේ හැමදේම නැතිවෙන සුළුයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ මැද මාවතේ තමයි අපි ජීවිතය ගෙනි යන්න ඕනේ. පවුලේ එකම ළමයා විදිහට ඒ තනිවීම දරාගන්නම වෙනවා. දැන් මට තියෙන්නේ එකම ඉලක්කයයි. ඒ අම්මා තාත්තා දෙන්නා ඒ අයගේ හීනත් කැප කරලා දවසක මාව ගෙනියන්න හදපු තැනට කොහොම හරි මං යන එක. එයාලට ඕනෙ වුණා මං ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම නිළියක් වෙනවා දකින්න. ඒ කියන්නේ මගේ නැන්දා මාලිනී ෆොන්සේකා මහත්මිය වගේ. දැන් මටත් ඕනේ ඒ තැනට යන්න.
මේ දේවල් එක්ක සෙනාලිට ආදරයක් ගැන හිතන්න කාලේ හරි කියලා හිතිලා නැද්ද?
හැමදේම ලස්සනට තියෙන කොට ඒ ආදරය ලැබිලා තියෙනවා. ඒ ආදරයෙන් දුක් විඳලා තියෙනවා. ඒ ආදරය එපා වෙච්ච අවස්ථා, රැවටිච්ච අවස්ථා වගේ ආදරය ගැන විවිධ විවිධ අත්දැකීම්වලට මුහුණපාලා තියෙනවා. අපිට කිසිදෙයක් බලෙන් ලබා ගන්නත් බැහැ. බලෙන් තියාගන්නත් බැහැ. මගේ ළඟ ඉන්න හොඳම මිතුරියක් දවසක් මට කිව්වා සෙනාලි ඔයා ආදරය නිසා කවදාවත් කොල්ලෙක් පස්සෙන් යන්න එපා කියලා. මොකද අපි එතකොට හදිසි වෙලා වැරැදි තීරණ ගන්න පුළුවන්. නමුත් සෙනාලි කියන පුද්ගලයාව ගොඩනඟාගෙන ජීවත් වෙනකොට, හරි ආදරය අපිව සොයාගෙන එයි. අපිව සොයාගෙන එන ආදරය රැකබලා ගන්න එක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. එවැනි ආදරයක් ලැබුණු දවසට මම තරුණී පත්තරේට ඒක අනිවාර්යෙන්ම කියන්න අමතක කරන්නේ නැහැ.
ඡායාරූපය - ප්‍රමුදිත දිසානායක