වස විසෙන් තොර ව කහ කුඩු සකසා ගනිමු

ජනවාරි 27, 2021

අපේ ගැමි ලිය සිය දරු පවුලට ආහාර පිසුවේ හරි අපුරු පිළිවෙළකටය. අද මෙන් වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති විවිධ රසකාරක ඇය ආහාර සඳහා එක් නොකළාය. නමුත් ආහාරයෙහි රසය, ගුණය, පෙනුම වැඩි කරනා විවිධ වූ දේශීය රසකාරක බොහොමයක් තම ගෙවත්තෙන්ම සපයා ගත්තීය.

මෙම දේශීය රසකාරක අතර කහ සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණේ එය කුළුබඩුවක් සේම ඖෂධයක්, විසබීජ නාශකයක් ලෙස ද භාවිත වූ බැවිනි. විවිධ මිල ගණන් යටතේ මිලදී ගත් කහ කුඩු ආහාරයට එක් කරනු වෙනුවට ඇය ගෙදරදීම තම්බා වියළාගත් කහ කැබැල්ලක් පදමට ගලේ අඹරා ගත්තාය. වියළි මිරිස් කරල්, තුනපහ ද මෙලෙස ගලේ අඹරා ගත් අතර පොල් කටුවක තැබූ ගුලියක් ලෙසින් එය භාවිතා කළාය.

කාලය ගතවෙත්ම ගෘහණිය ද කාර්යබහුල තැනැත්තියක් බවට පත් වූ නිසා මුළුතැන්ගෙයි රසකාරක බොහොමයක් කුඩු වශයෙන් වෙළෙඳපොළට එකතු විය. නමුත් පහසුව සහ ලේසිය ගැන සිතා වෙළෙඳපොළෙන් මේවා මිලදී ගතහැකි වුවද වස විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ බොහෝ ගැටලු පවතී.විශේෂයෙන්ම විසබීජ නාශකයක් වූ නිසාම මේ දිනවල කහවලට ඇත්තේ අධික ඉල්ලුමකි. ඒ නිසාම මිල අධිකය. එමෙන්ම තරමක් හිඟය. තිබෙන කහවල ප්‍රමිතිය පිළිබඳ පවතින්නේ ද ගැටලු රැසකි. මේ නිසා නිවෙසේදීම කහ කුඩු පිළියෙල කරගත හැකි නම් එය මහත් සහනයකි.

එබැවින් අද අපි නිවෙසේදීම කහ කුඩු සකසා ගන්නා ආකාරය පිළිබඳ සොයා බලමු.

සාමාන්‍යයෙන් නිවෙසේ දී කහ අස්වැන්න ගලවා සකසා පරිභෝජනයට ගතහැකි ක්‍රම කිහිපයකි. නමුත් අප කාටත් පහසුවෙන් භාවිතයට ගතහැකි සරල ක්‍රමයක් දැනුවත්වීම වැදගත්.

කහ අල පිරිසුදු කිරීම

ප්‍රථමයෙන්ම ඔබ කළ යුත්තේ ගලවා ගත් මව් අලවලින් ඇඟිලි අල වෙන් කරගෙන මව් අලවල මුල් කපා ඉවත් කිරීමයි. ඉන්පසුව මව් අල සහ ඇඟිලි අල වෙන වෙනම කිහිපවිටක් සෝදා ඒවායේ ඇති පස් සහ අපද්‍රව්‍ය ඉවත් කරන්න.

 

කහ අල තැම්බීම

නිවෙසේ පරිභෝජනය සඳහා කහ අල තැම්බීමේ ක්‍රියාවලියේ දී මව් අල වෙනමත්, ඇඟිලි අල වෙනමත් තම්බා ගැනීමට වගබලා ගතයුතුය. මෙහිදී වතුර මුට්ටියක බහා තැම්බීම හෝ ස්ටීමරයේ එහෙමත් නැත්නම් ප්‍රෙෂර් කුකරයේ තම්බා ගැනීම කළ හැකිය.

ජලයේ බහා තැම්බීම

ජලය දැමූ මුට්ටියක් මේ සඳහා යොදා ගන්නේ නම් පළමුව ජලය රත්වීමට තබන්න. අනතුරුව කහ අල ගිලෙන පරිදි එහි බහාලන්න. බඳුන හොඳින් වසා තබන්න. දිගටම ජලය නටන උෂ්ණත්වයෙහි පවත්වා ගන්න. ඇඟිලි අල සඳහා විනාඩි 20 - 30ත් අතර කාලයක් ද මව් අල සඳහා විනාඩි 30 - 45ක් අතර කාලයක් ද හොඳින් තම්බාගත යුතුය. කහ අල හොඳින් තැම්බී ඇත්නම් මෘදු බවට පත්වේ. එවිට ඉරටුවකින් ඇන බැලූ විට පහසුවෙන් සිදුරු වේ. නැතිනම් කහ අලයක් දෙකට කඩා බැලූවිට නූල් ඇදෙන ස්වභාවයක් ගනියි නම් හොඳින් තැම්බී ඇති බව ඔබට වටහා ගත හැකිය.

හුමාලයෙන් තැම්බීම

ජල බඳුනක් යොදා ගනිමින් මෙලෙස තැම්බීමේ දී කහ අලයේ වර්ණයට තරමක හානි සිදුවීම අවාසියකි. එබැවින් ඔබට කහ අල හුමාලයෙන් තම්බා ගත හැකිය. ඒ සඳහා ඔබට ස්ටීමරය හෝ ප්‍රෙෂර් කුකරය භාවිත කළ හැකිය. සාමාන්‍යයෙන් හුමාලයේ තැම්බීමේ දී විනාඩි 20 - 25 ක් වැනි කාලයක් ප්‍රමාණවත්ය.

කහ තැම්බීගෙන එද්දී නැවුම් සුවඳක් වහනය වේ. දෙකට කඩා බැලූවිට පෙර සඳහන් කළ පරිදි නූල් ඇදෙන ස්වභාවයක් ගනියි. එය හොඳින් තැම්බී ඇති බවට සරල ඉඟියකි.

 

 

වියළීම

මෙලෙස තම්බාගත් කහ අල දිග් අතට හෝ රවුම් ආකාරයට කපා ගැනීමෙන් වියළීම පහසු කරයි. ඉන්පසුව පැය 12ක් පමණ කාලයක් මඳ අව්වේ හෝ මඳ පවනේ තබා අනතුරුව තද අව්වේ වියළා ගන්න. එලෙස තද හිරුඑළියේ දින තුනක් පමණ වියළීම ප්‍රමාණවත් වේ. නිසි පරිදි කහ වියළී ඇත්දැයි වරින් වර පරීක්ෂා කර බලන්න. එවිට රබර් කැබැල්ලක් මෙන් කහ අලය නැවේ නම් ඉන් අදහස් වන්නේ එම කහ ප්‍රමාණවත් තරම් වියළී නොමැති බවයි. එසේ නොමැතිව කහ අලය නවනවිට කැඩී යන්නේ නම් හොඳින් වියළී ඇති බව තහවුරු වේ.

 

වියළි අල ඔප දැමීම

ඔබට අවශ්‍ය නම් පමණක් කහ අලවල මතුපිට ඔප දැමිය හැකියි. එහිදී කහ අලවල මතුපිට ඇති දුර්වර්ණ ශල්ක පත්‍ර හා මුල් කැබලි ඉවත්කර කහ පැහැති මතුපිටක් ඇතිකර ගතහැකියි.

ඔබට ගෘහස්තව කහ අල ඔප දැමීම සඳහා ඉතා සරල උපකරණයක් සකසා ගත හැකිය. ඒ සඳහා බිස්කට් ටින් එකක් ගෙන පිටත රවුම් මුහුණත සිට ඇතුළතට ඇනයකින් තැනින් තැන සිදුරු විදින්න. මෙලෙස රවුම් පෘෂ්ඨය පුරාම සිදුරු විද ගත යුතුය. අනතුරුව මෙම ටින් එක තුළට වියළි කහ කැබලි දමා පියන වසා විනාඩි 15ක් පමණ හොඳින් සොලවන්න. එවිට කහ අල අපූරුවට ඔපවත් වී කහපාටින් දිස් වේ.

මෙලෙස වියළාගත් කහ ඔබට ඇඹරුම් යන්ත්‍රයක් (ග්‍රයින්ඩර්) ආධාරයෙන් කුඩුකර ගත හැකියි. කැමැති නම් මිරිස්ගලක අඹරා තලපයක් ලෙස සකසා භාවිතයට ගත හැකිය.

මේ ආකාරයට ඉතාමත් පිරිසුදුවට සහ ගුණාත්මකව සකසා ගන්නා කහ ඔබට කිසිදු බියක් සැකයකින් තොරව භාවිත කළ හැකිය. එමෙන්ම මෙවැනි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ ද හොඳ ඉල්ලුමක් සහ ඉහළ මිලක් නියම කරනා බැවින් ඔබට ස්වයං රැකියාවක් ලෙස කහ නිෂ්පාදනයේ නියැලිය හැකියි.

 

තොරතුරු සැපයීම

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ,

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

 

සටහන

චම්පා වරුසප්පෙරුම

ඡායාරූප

ද ලසන්ත අබේරත්න