නීල දිය පිරි පොකුණු චමත්කාරය ගෙන එයි නිවෙසට

අගෝස්තු 25, 2021

ජලය, පිපාසිත දිවගට අම බිඳුවකි. දෙසවනට සප්ත ස්වරයේ රිද්මය රැගෙන එය ශරීරයට සුවදායි ස්පර්ශයක් ලබාදෙන බව අප කාටත් නොරහසකි. විශේෂයෙන්ම ජීවයේ පණ නල රැකගන්නා නිසාම ජලය උතුම් වස්තුවක් එහෙමත් නැතිනම් පාරිශුද්ධ වස්තුවක් ලෙසින් සලකන්නට අතීතයේ සිටම ශ්‍රී ලාංකික අපි පුරුදු පුහුණුව සිටින්නෙමු.

ඒ නිසාමදෝ බොහොමයක් දෙනා පිරිසුදු ජලය ප්‍රිය දසුනක් සේ සලකා නිරන්තරයෙන්ම එය තම නෙත ගැටෙන්නට තබාගන්නට ප්‍රිය කළහ. එදා මෙදාතුර කාලයේ මේ ජල සංකල්පය අපූර්ව වෙනස්කම්වලට භාජනය වෙමින් තව අදටත් ගෙමිදුලේ දක්නට ලැබෙන අතර එය පසුකාලීනව ගෙවත්ත හැඩවැඩ කරන එක් අංගෝපාංගයක් බවට පත්වූයේ නිරායාසයෙනි.

බලන්න ...., ගෙවත්ත චමත්කාරජනක කරවන ලොකු කුඩා ජල බඳුන්, විවිධාකාරයේ දියඇලි ආදිය අතරට වර්තමානයේ එක් වූ මේ අපූරු ජල තටාක එහෙමත් නැත්නම් ජලය පිරි පොකුණු කිහිපය. ගෙවත්තට එහෙමත් නැතිනම් ඔබේ නිවෙසේ කොටසකට වන්නට සකස් කළ හැකි මේ ජලය සහිත පොකුණු නෙතට එකතු කරන්නේ පුදුමාකාර සුන්දරත්වයකි. එමෙන්ම මේ සිසිල් දිය රැලි හා මුසු වූ මඳ සුළඟ ඔබේ විඩාබර ගතට අපූරු සිසිලසක් ලබාදෙනු නොඅනුමානයි.

විශේෂයෙන්ම මෙවැනි ජල පොකුණු සකසා ගැනීමේ දී වර්ණවත් සුරතල් මසුන් කිහිපදෙනෙක් සහ නිරන්තරයෙන් ක්‍රියාත්මකවන කුඩා ජල මෝටරයක් යොදා ගැනීම තුළින් ජලය අපිරිසුදු වීම සේම මදුරුවන් බෝවීම වළක්වාලන බව ද අමතක නොකරන්න.