ගෘහණියට විදුලි උපදෙස්...

නොවැම්බර් 10, 2021

රැකියාවට යාම සඳහා උදේ පාන්දරින් අවදි වුණු කාශ්‍යප, පසුපස වැරැන්ඩාවේ කෙටි බැම්ම මත හිඳ ගෙන කෝපි කෝප්පයක් රස විඳිමින් හිටියා. හිටිහැටියේම

"...තාත්තා..."

දියණියගේ කටහඬ නාන කාමරය දෙසින් නැඟි ආවා.

"අනේ බලන්නකො තාත්තා, මේ සින්ක් එකේ ටැප් එක ඩාන්ස් දානවා. වටේට කර කැවෙනවා.... මළ වදේ අප්පා."

"අනේ ඒ ගැන නම් කතා කරල වැඩක් නැහැ දෝණි... මේ පැන්ට්‍රි එකේ ලයිට් එක ගැස්සෙනවා.... වෙලාවක කොහුමිටෙන් ඇනලා තමයි හදා ගන්නෙ. කී පාරක් කිව්වද හදා දෙන්න කියලා..."

බිරිඳගේ උස් හඬ ඊළඟට නැඟී ආවා. නිදන කාමරයේ තැනක් තෙමෙන බව පුතා කීප වාරයක් මතක් කළ බවත් කාශ්‍යපට මතක් වුණා.

'...මිදුලෙ තණකොළ කපන්නත් බැරිවුණා ටික කාලෙකින්. මල් ගස් ටිකත් කණාටු වෙන්න ඇවිත්. වීක් එන්ඩ් එකේ මිගාරව සෙට් කරගන්න ඕනෑ. ඌට ඕනෑ වැඩක් තේරෙනවා....' කාශ්‍යප තීරණයකට ආවා. මුළුතැන්ගෙට ගිය කාශ්‍යප තමන්ගේ අදහස පූර්ණිමාට කිව්වා.

"ඒක නම් තවත් වැඩකට සෙට් වෙන්න ගහපු ප්ලෑන් එකක්. කොහොම හරි කමක් නැහැ මේ අඩුපාඩු ටික හැදෙනවා නම්.... ගෙට කලර් වොෂ් එකකුත් කරන්න ඕනෙ ඒයි... ජනවාරිවලට තව සති කීයද?"

පූර්ණිමා හිනා වෙමින් කිව්වේ අලුත් යෝජනාවකුත් එක්ක...

ඊළඟ සති අන්තය හැමෝටම කාර්යබහුල එකක් වුණා. මිගාරගේ මූලිකත්වයෙන් පිළිසකර කිරීමේ මෙහෙයුමක් ආරම්භ වුණා. විදුලි කාර්මික ශිල්පයට, ජලනල එලීම, උද්‍යාන අලංකාරණය, වර්ණ සංයෝජනය ආදී ක්ෂේත්‍ර ගණනාවක දැනුම තිබූ මිගාර හොඳ ගොවියෙක් ද වුණා.

"මේව මහ ලොකු දේවල් නෙමෙයි කාශ්‍යප. හැබැයි ඉගෙන ගත්තොත් ජොබ් එක්ක හැටියට නො කළත්, තමන්ගෙ ගෙදර එන රෙපයාර්වලදි පිටට යන ලොකුමුදලක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් බලපන්.... මේ ගෙදරම අවුල් ගොඩක් තියෙනවා. මුලින්ම වයරින් එකේ තියෙන අඩුපාඩු හදල ඉම්මු. මොකද ඒක ජීවිත අවදානමක් තියෙන දෙයක් නෙ. වයරිං එකක ප්‍රශ්නයක් හොයා බලන්න කලින් ළඟ තිබිය යුතුම උපකරණ කීපයක් තියෙනවා. ඒවා තිබීම අත්‍යාවශ්‍යයි වගේම අනිවාර්යයයි. ඒව තමයි...

* උසස් ප්‍රමිතියේ ටෙස්ටරයක්

* කඩතොළු නොවූ රබර් ආවරණ සහිත කටර් අඬුවක්

* ෆ්ලැට් සහ මල් ඉස්කුරුප්පුනියන් විවිධ ප්‍රමාණයෙන් කිහිපයක්

* තල යොදන පිහියක්

* වයරිං සඳහා භාවිත කරන ඉන්සියුලේට් ටේප් රෝලක්

* 1044 වයර් සඳහා ගැළපෙන කනෙක්ටර් බාර් එකක්

* විදුලිය කටයුතු කිරීමේ දී පළඳින ආරක්ෂිත අත්වැසුම් ජෝඩුවක්

* කඩතොළු නොවූ රබර් අඩි සහිත කැන්වස් සපත්තු ජෝඩුවක් පැළඳීම ද සුදුසුයි

මූලික වශයෙන් මෙම උපකරණ සහ උපාංග සපයා ගත් පසු ඔබ බොහෝ දුරට විදුලියෙන් ආරක්ෂිතයි. මෙම උපකරණ යුරෝපානු ප්‍රමිතියේ ඒවා වීම අතිශය වැදගත්. නිවෙසේ භාවිතයට මිලදී ගන්නා උපකරණ දීර්ඝ කාලයක් තිබිය යුතු බැවින් අවස්ථානුකූල ලාභය ගැන සිතා ප්‍රමිතියෙන් බාල, මිල අඩු දෑ සඳහා යොමු වීම අනුවණකමක්. උසස් ප්‍රමිතියේ භාණ්ඩ මිල වැඩි වුවත් ජීවිත කාලයට ම ප්‍රමාණවත්.

"පොඩි රෙපයාර් එකකට මේ තරම් දේවල් මොකටද?"

ඔබට එසේ සිතෙන්නට පුළුවන්. එහෙත් අවධාරණයෙන් යුතුව යළිත් සිහිපත් කරන්නම්... ඔබ මේ කටයුතු කරන්නට සැරසෙන්නේ, ඇසට නො පෙනෙන බිහිසුණු මාරයෙක් වන 'ඉලෙක්ට්‍රෝන' සමඟයි. විදුලි උපකරණ හෝ විදුලි බල්බ ක්‍රියාකරවීමකින් තොරව විදුලි බලය සක්‍රීය ද නැති ද කියා හඳුනාගත හැකි එකම ක්‍රමය වන්නේ ටෙස්ටරයක් භාවිත කිරීම තුළින් පමණයි. විදුලිය සක්‍රීය නම් ටෙස්ටරයේ විවෘත වානේ තලය විදුලි කම්බිය / ප්ලග් එකක නම් අර්ත් පින් සිදුර හැර පහතින් තිරස් අතට ඇති සමාන්තර සිදුරු දෙක තුළින් ටෙස්ටර් තලය යවා ස්වීචය දැමීමෙන් / හෝල්ඩරයක විදුලි බුබුළ ඉවත්කර ස්විචය දමා හෝල්ඩරය තුළ ඇති කණු දෙක ටෙස්ටරයේ තලයෙන් ස්පර්ශ කිරීම තුළින් පරීක්ෂා කිරීමට පුළුවන්. විදුලිය සහිත නම් ටෙස්ටරයේ ඉහළ කෙළවරේ තිබෙන බල්බය දැල්වෙනවා. එසේ නම් විවෘත විදුලි පරික්ෂාවක් / අලුත් වැඩියා කිරීමක් සඳහා ඔබ අනාරක්ෂිතයි. පෙර සඳහන් කළ උපකරණ සහ උපාංග අවශ්‍ය වන්නේ එනිසයි.

නිවෙසේ භාවිතයට භාවිත කරන මෙවැනි විදුලිය සම්බන්ධ ආයුධ අසල්වාසීන්ගේ අවශ්‍යතා සඳහා ලබා නොදීම ඉතාම වැදගත් කරුණක්. ඔබට අවශ්‍යම මොහොතක (විශේෂයෙන් රාත්‍රී කාලයේදී) ආයුධයක් නිවෙසේ නො තිබීමට ඉඩ තිබෙනවා. එසේම ආවරණ කඩතොලු වී යළි ලබාදීමටත් ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයකදී ප්‍රශ්න කිරීමට යාම හිතවත්කම් පළුදුවීම බොහෝවිට සිදු වන්නක්. ඔබ සතුව තිබියදී වුවද ටෙස්ටරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වරින් වර පරීක්ෂා කිරීමත් වැදගත් කරුණක්.