ට්‍රිප් ස්විචය ගැන දැන සිටිය යුතු ම කරුණු

නොවැම්බර් 22, 2021

නිවෙසක විදුලිසැර වැදීමේ බරපතල අවදානමක් තිබෙන අවස්ථා

ගෘහණියගේ දැනුම් පොත - 04

පූර්ණිමාගේත් කාශ්‍යපගේත් නිවෙස හදලා වැඩි කලක් නැතත් පුංචි පුංචි අඩුපාඩු කිහිපයක්ම තිබුණා පිළිසකර කරගන්න. කොරෝනා වසංගත සමය නිසා අඩුපාඩු හදාගන්න කෙනෙක් ගෙදරට ගෙන එන එකත් ප්‍රශ්නයක්.

කාශ්‍යපට ඒ පිළිබඳව දැනුමක් නොතිබුණු නිසා ඔහු තමන්ගේ හොඳම මිතුරා මිගාර වැඩේට එකතු කර ගත්තේ ඔහුට ඒ පිළිබඳව හොඳ දැනුමක් තිබුණු නිසා.

ඒ අනුව මිගාර කාශ්‍යපත් හවුල් කරගෙන වැඩ පටන් ගත්තා. මුලින්ම ගෙදර පිච්චිලා තියෙන බල්බ්, කැඩිලා තියෙන හෝල්ඩර් වගේ ඒවා ඉතාමත්ම පහසුවෙන් පිළිසකර කරගන්න හැටි තමයි මිගාර කියලා දෙන්න පටන් ගත්තේ. මේ දැනුම අප කාටත් වටිනවා. විශේෂයෙන් ගෘහණියකට මෙවැනි සරල දැනුමක් තිබෙන්නම ඕන.

එහෙනම් පසුගිය සතියේ නවත්වපු තැනින් අද පටන් ගනිමු.

"හරි කාශ්‍යප, දැන් ඔය හෝල්ඩර් උඩ අතට හිටින විදිහට වයර් ගානට අකුලලා, කළුපාට ඉන්සුයුලේටඩ් ටේප් එකෙන් ඔතන්න... ආන්න එහෙම.... දැන් බල්බ් ටික හරියට ස්කෲ තදවෙන්න හයි කරන්න..."

ඒ පියවරත් සාර්ථක වුණා. හැබැයි කාශ්‍යපට ප්‍රශ්නයක් ඉතුරු වුණා.

"මිගාර, ඇයි වෝල් ලැම්ප් වයර්වල සමහර ඒවයෙ වයර් දෙකක් එකට අමුණලා තිබුණා. ඒවයෙ ඇතුළෙ කවර් එක කළු පාටයි."

"උඹ නම් සිරා මීරයක් කාශ්‍යප... මටත් අමතක වුණා වයර් වල ඇතුළත පාට දෙකේ වෙනස කියල දෙන්න. කළු පාට වයර් යොදා ගන්නෙ නියුට්‍රල් අග්‍රහයට. කරන්ට් වයර් එකට භාවිත කරන්නෙ රතු පාට. නියුට්‍රල් වයර් එක සර්කිට් එකේ හැම බල්බ් එකකටම ප්ලග් එකකටම ලූප් වෙවී යනවා..."

"ලූප් වෙනවා කියන්නෙ...?"

"ඒ බල්බ් එකේ ඉඳලා ඒ සර්කිට් එකේම තවත් බල්බ් සම්බන්ධ වෙන්න ඕනෙ නිසා වයර් එක නමල අනිත් තැනට අඛන්ඩ සම්බන්ධයක් ඇති කරනවා. නියුට්‍රල් එකේ ඔය කිව්ව සම්බන්ධය එක තැනකින් කැඩුණොත් සර්කිට් එකේ අග කොටසේ බල්බ් පත්තු වෙන්නේ නැහැ. මේ දේවල් ටිකක් සංකීර්ණයි කාශ්‍යප. මම හැන්දෑවට ඇඳලම පෙන්වන්නම් චාට් එකකින්."

"එතකොට එක තැනක විතරක් ඇතුළ රතු වයර් දෙපොටක් අමුණලා තිබුණා..."

"තවත් හොඳ ප්‍රශ්නයක්. ඒකෙන් වෙන්නෙ එකම ස්විච් එකකින් බල්බ් දෙකක් පත්තු වීම. වෝල් ලෑම්ප් වලට එකිනෙකට මුහුණ දීල තියෙන බිත්තිවලට එහෙම ස්විච් යොදනවා සාමාන්‍යයෙන්."

"එක සර්කිට් එකකට කැමති ප්‍රමාණයක් බල්බ්, බ්ලග් දාන්න පුළුවන්ද මිගාර?"

"එහෙම බැහැ. එකනෙ සර්කිට් බ්‍රේකර් වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ. නැත්නම් මේන් ස්විච්, ට්‍රිප් ස්විච් දෙක විතරක් තිබුණාම ඇති."

"ඉගෙන ගන්ඩ සෑහනදේවල් තියෙයි වගේ..."

"තව ගෙයක් හදන්ඩ හරි, මේක ජොබ් එකක් හැටියට කරන්ඩ අදහසක් නැති නිසා ඒ තරම් ගැඹුරට යන්න අවශ්‍ය නැහැ මිගාර. දැනට අපි රෙපයාර්වලට අවශ්‍ය දැනුම ලබා ගම්මු."

"බල්බ්වල ස්විච් එකටත් වයර් එන්නෙ එය විදිහටමද?'

"නැහැ... ස්විච්වලට නියුට්‍රල් වයර් එක එන්නෙ නැහැ. ස්විච් එකට එන වයර් දෙකම ඇතුළත රතුයි. එක වයර් එකක් සර්කිට් බ්‍රේකරයේ ඉඳල එන, නිතරම කරන්ට එක රැඳිල තියෙන එක. අනෙක ස්විච් එකේ ඉඳල හෝල්ඩරයට යන වයර් එක. ඒකට කියන්නෙ රිටර්න් වයර් එක කියල. කලින් කිව්ව වයර් එක පේස් වයර් කියලා හඳුන්වනවා. ස්විච් එකේ අග්‍ර දෙකට පේස් - රිටර්න් වයර් සවි කළාම on / off ක්‍රියාවලිය තුළින් රිටර්න් වයර් එකට විදුලිය සැපයීම සහ විසන්ධි වීම සිදු කෙරෙනවා. ප්ලග් වලට වයර් වර්ග තුනක් සම්බන්ධයි. කරන්ට් සහ නියුට්‍රල් වයර් දෙකට අමතරව අර්ත් වයරය (පිටත කොළ පැහැති) තිබිය යුතුමයි."

"ඇයි තිබිය යුතුමයි කිව්වෙ මිගාර?"

පූර්නිමාත් හරස් ප්‍රශ්නයක් ඇහැව්වා.

"ඒක හරිම වැදගත්. "

ඔබට මතක ප්ලග් පොයින්ට් වයරින් කිරීමේදී කොළ පැහැයෙන් යුතු අර්ත් වයරය ‘අනිවාර්යයෙන්ම තිබිය යුතුයි‘ කියලා මම කිව්වා. නිවෙසක විදුලි රැහැන් ඇදීමේ දී ප්ලග් පොයින්ට් සහ සිවිලින් විදුලි පංකා සඳහා මෙම අර්ත් වයරය රැහැන් ගත කිරීම අනිවාර්යයි. ඇයි දන්නවද...?

ඔබගේ නිවෙසේ විදුලි පරිපථවල ඇති වූ දෝෂයකින් විදුලිය කාන්දුවක් සිදු වෙන අවස්ථාවක, එය යම් මොහොතක නිවැසියෙකු ගේ ජීවිතයට විදුලිසැර වැදීමේ බරපතල අවදානමක් තිබෙනවා. මෙම අනතුරෙන් ගලවා ගැනීමේ වගකීම ඔබ වෙනුවෙන් දරන්නේ ප්‍රධාන පුවරුවේ තිබෙන ‘ට්‍රිප් ස්විචය‘ යි. හැබැයි ට්‍රිප් ස්විචය තිබූ පමණින් විදුලිය කාන්දුවකදී ස්වයංක්‍රීයව එය විසන්ධි වන්නේ නැහැ. ඒ සඳහා තවත් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුයි.

01. මුළු නිවෙසේම සියලු පරිපථ සම්බන්ධ කරමින් අඛණ්ඩව ඇද ඇති අර්ත් වයරය

02. ට්‍රිප් ස්විචය හා භූගත සම්බන්ධය ඇති කරන අර්ත් පයිප්පය (Earth Pipe) හෝ අර්ත් රොබ් (Earth Rod)

විදුලි රැහැන් ඇදීමේ දී පරිපථ කිහිපයක් ලෙසින් ස්ථාපිත කළ ද, ඒ සියල්ල හා සම්බන්ධ වෙමින් අදෙන අර්ත් වයරය අවසානයේ දී ප්‍රධාන පුවරුවේ දී ට්‍රිප් ස්විචය හ සම්බන්ධ වෙනවා. ඉන්පසුව ට්‍රිප් ස්විචයේ සිට භූගත සම්බන්ධ කෙරෙනවා. මෙම ත්‍රිත්ව සම්බන්ධය නොමැතිව විදුලි කාන්දුවකදී කිසි ලෙසකින් හෝ ට්‍රිප් ස්විචයේ ස්වයං ක්‍රියාකාරී විසන්ධිය සිදු නොවන බව තරයේ අවධාරණය කර ගන්න.

සමහර නිවාසවල විදුලිය නඩත්තුවක් සඳහා යන අවස්ථාවල මෙම අඩුපාඩු දකින්නට පුළුවන්. සමහර නිවාසවල ට්‍රිප් ස්විචය නැහැ. තවෙකක අර්ත් වයරය ඇද නැහැ. මෙම දෙකම ඇතත් භූගත සම්බන්ධය නොමැති නිවාස ද දකින්නට පුළුවන්. අර්ත් රොඩ් සමඟ සම්බන්ධ කර තිබූ වයරය කැඩී ඇති අවස්ථා ද බොහොමයි. මෙවැනි නොසලකා හැරීම් මඟින් ඔබ සිදුකරනු ලබන්නේ ‘මරුවා සමඟ සෙල්ලමක්‘ බව මොහොතකටවත් අමතක කරන්නට එපා. මනා සබඳතාවයක් සහිත ට්‍රිප් ස්විචයක් මඟින් රැකවරණය ලැබෙන්නේ ජීවිතවලට පමණක් නොවෙයි.

¾ නිවෙස

¾ ගෘහස්ථ විදුලි රැහැන් පද්ධතිය

¾ නිවෙසේ ඇති විදුලි උපකරණ

ආදියටත් මෙමඟින් ආරක්ෂාව සැපයෙනවා. මේ ආකාරයට ක්‍රියාත්මක වෙන ට්‍රිප් ස්විචය ඉහත සඳහන් කාරුණුවලට ආරක්ෂාවට ක්‍රියා කරන්නේ කෙසේද?

¾ නිවෙස ආසන්නයේ තදින් අකුණු

ගසන අවස්ථාවක

¾ විදුලි උපකරණයකින් විදුලිය කාන්දු

වීමකදී

¾ විදුලි රැහැන් පළුදු වීමෙන් සිදුවන

විදුලිය කාන්දුවීම්

¾පුද්ගලයෙකුට අහඹු විදුලිසැර වැදීමකදී

දැන් ඔබට පෙනෙනවා නේද ට්‍රිප් ස්විචයක් නිවැරැදිව ක්‍රියාත්මකවීමක ඇති වැදගත්කම?

තවත් තොරතුරු ලබන සතියේ කතා කරමු.