නිවෙසක් වයරින් කිරීමේ දී පිළිපැදිය යුතු නීති

ජනවාරි 10, 2022

 

නිවෙසකට අත්‍යාවශ්‍යම බලශක්ති ප්‍රභවය වන විදුලිය ගැන ගෘහණියක ලෙස ඔබ දැනගත යුතුම කරුණු බොහොමයකි. විදුලියෙන් වැඩ ගත්තාට එයින් වන අනතුරු පිළිබඳව අප එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එයට හේතුව විදුලි බලය නිවෙසකට ලබා ගැනීමේදී වයරින් කිරීම නියම ප්‍රමිතියකට අනුව සිදු කළ යුතු බව නොදන්නාකම විය හැකියි.

අපේ මේ උත්සාහය නිවෙසේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් රැකෙන පරිදි විදුලිය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීමය.

 

පසුගිය සතියේ අවසානයට අපි සඳහන් කළා අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාවක් ගැන. නිවැසියාට හෝ විදුලි කාර්මිකයාට අවශ්‍ය පරිදි නිවෙසක විදුලි රැහැන් අදින්නට බැහැ. ඒ සඳහා විදුලිබල මණ්ඩලය විසින් ඉහත සඳහන් නීති මාලාව මඟින් නීති නියාමනයක් කර තිබෙනවා.

අවාසනාවකට වගේ මේ නියාමනයන් බරපතළ ලෙස උල්ලංඝනය වෙන බවත් නොකියාම බැහැ.

“කොහොමද එහෙම වෙන්නෙ?“

ඔබ අසාවි. විදුලි කාර්මිකයෙක් විදිහට මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. නිවෙසක් විදුලි රැහැන් ඇදීමේ දී වියදම් පිරිමසා ගැනීම සඳහා අප පරිපථ සඳහා අනුමත විදුලි බුබුළු සහ විදුලි කෙවෙනි (plug) නියමිත සීමාවන් ඉක්මවා යොදන බව ප්‍රසිද්ධ කරුණක්. මෙහිදී අවදානමකට පත්කරවා ගන්නේ නිවැසියන් ම බව අවධාරණයෙන් සඳහන් කළ යුතුමයි. හොඳයි, එහෙමනම් මේ නියාමනයන් මොනවාදැයි මුලින්ම විමසා බලමු.

  •   කරන්ට් වයර් (සජීවි තත් - Live wire) නියතයක් ලෙස ඒවා යෙදෙන උපාංගවල සහ ප්‍රධාන වහරුවේ දකුණු පසින් යෙදිය යුතුය.
  •   බෙදා හැරීමේ පුවරුවේ උප පරිපථ සම්බන්ධව නිරවුල් සටහනක් යෙදිය යුතුය.
  •   එක කාමරයක තිබෙන ප්ලග් බේස් එකට කරන්ට් වයරයකට සම්බන්ධ කිරීම කළ යුතු වේ.
  •   ලෝහ ආවරණය සහිත විදුලි උපකරණ සඳහා භූගත වයර් (Earth wire) සම්බන්ධය නියතයකි.
  •   අඩු විදුලි බලයකින් (Low Voltage) ක්‍රියාත්මක සෑම උපකරණයකම එම ප්‍රමාණය සඳහන්ව තිබිය යුතුය.
  •   උප පරිපථ එකකට වඩා යෙදෙයි නම් එම ප්‍රමාණයන්ට සරිලන බෙදා හැරීමේ පුවරුවක් යොදාගත යුතුය.
  •   සෑම නියුට්‍රල් වයරයක් ම (අප පරිපථවල) බෙදා හැරීමේ පුවරුවේ නියමිත ස්ථානයේ පිළිවෙළට සවි කළ යුතුය.
  •   තඹ සන්නායක යෙදූ වයර් සහ ඇලුමිනියම් සන්නායක යෙදූ වයර් එකට සම්බන්ධ කිරීම නොකළ යුතුවේ.
  •   එල්ලන විදුලි බුබුළු සහ වෙනත් උපකරණවලට නම්‍යශීලී (Flexible wire) වයර යෙදිය යුතුය.
  •   පී.වී.සී. (PVC) වයර් සඳහා සෙල්සියස් අංශක 60ට වඩා අඩු උෂ්ණත්වයක් පැවතිය යුතුය.
  •   නාන කාමරවල ප්ලග් බේස් සවි නොකළ යුතු නමුත්, (අවශ්‍යම වේ නම් වතුර නොවැටෙන උසකින් සහ ජල කරාම නොමැති බිත්තියකට සවි කිරීම කළ යුතුය)
  •   ප්ලග් බේස් සහ දුරකථන සඳහා යොදන ටෙලිපෝන් අවුට්ලට් (Telephone outlet) පොළොව මට්ටමේ සිට මිලිමීටර් 300ට වඩා උසකින් සවිකළ යුතු වෙයි.
  •   තෙල් පුරවා ඇති විදුලි උපකරණ ප්‍රධාන ගොඩනැගිල්ලේ සිට මීටර් තිහකට (30) වඩා දුරකින් ස්ථානගත කළ යුතුය.
  •   අර්ත් වයරයට ආවරණය ඉවත් කර ඇති කරන සෑම සම්බන්ධිත ස්ථානයක්ම ඊයම් යොදා පාස්සා ස්ථාවර කළ යුතුවේ.
  •   උප පරිපථ සඳහා යෙදෙන කරන්ට් වයර (Live wire) සර්කිට් බ්‍රේකර්, ෆියුස් හෝ ස්විච් මඟින් සම්බන්ධ කළ යුතුය.
  •   යම් විදුලි උපකරණයක් ස්ථිරව සවි කරන්නේ නම් එහි ස්විචය උපකරණයේ සිට මීටර් දෙකකට වඩා අඩු විය යුතුය.
  •   අර්ත් වයරය කිසිදු අවස්ථාවක ෆියුස් හෝ ස්විච් සමඟ සම්බන්ධ නොකළ යුතුය.
  •   නියුට්‍රල් වයරය සඳහා ෆියුස් නොයෙදිය යුතු අතර, විශේෂ අවශ්‍යතාවකදී කරන්ට් වයරය සමඟ විසන්ධි කළ හැකි ටූ පෝල් ස්විචයක් (Two pole switch) යෙදීම සුදුසුය.
  •   සෑම ස්විචයක් මෙන්ම ෆෑන් රෙගියුලේටර් (Fan Regulater) පොළොව මට්ටමේ සිට මිලිමීටර් 1680ක උසකින් යෙදීම නියමයකි.
  •   විදුලි පහන් මෙන්ම විදුලි පංකා (Fan) ද පොළොව මට්ටමේ සිට මිලි මීටර් 2400ක උසකින් සවි කළ යුතුය.
  •   බිත්ති ලාම්පු (Wall lamps) පොළොව මට්ටමේ සිට සවි කළ යුතු අවම උස මිලිමීටර් 2290 කි.
  •   වාතය පිටතට යවන පංකා (Exhaust Fan) සවිකළ හැකි අවම උස මිලිමීටර් 2400 කි.
  •   විදුලි උදුන් සඳහා යොදන පාලන ස්විච් (Cooker Contool Switch) සඳහා මිලිමීටර් 1370ක අවම උසක් නියම කර තිබේ.
  •   සයන (Bed) ආසන්නයේ සවි කෙරෙන ස්විච්, ඩිමර් ස්විච් සහ ෆෑන් රෙගියුලේටර් සවිකළ යුතු අවම උස වන්නේ මිලිමීටර් 1370 කි.
  •   විදුලි මීටරය සවි කිරීමේ දී විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ට බාධාවකින් තොරව ළඟාවිය හැකි පහසුවෙන් දර්ශනය වෙන ස්ථානයක සවි කිරීම ද වැදගත් කරුණකි.
  •   භූගත වයරයක තිබිය යුතු අවම හරස්කඩ ක්ෂේත්‍රඵලය මිලිමීටර් 2.5 කි.

මේ සියලු නියමයන් පනවා තිබෙන්නේ ඔබගේ ආරක්ෂාව සඳහාම බව තරයේ අවධාරණය කරගන්න.