එදිනෙදා කටයුතු පහසු කරන Utility Room

මැයි 23, 2022

 

ජීවනීට සරලාගේ නිවෙස දැක්කා ම ලෝබ හිතුණා. පර්චස් 8ක පමණ ප්‍රමාණයක මහල් දෙකකට නිමවා තිබුණු මේ නිවෙසේ සැලැස්ම නම් හරිම අපූරුයි. කිසිම ඉඩක් අපතේ නොයන පරිදි කොරිඩෝවලින් පවා ප්‍රයෝජන ගෙන තිබුණා.

ජීවිතය සරලව, සැහැල්ලුව එක් එක් අයගේ ආර්ථික මට්ටම් අනුව ගත කරන තැනක් වෙතොත් ඒ අප වෙසෙන නිවෙසමයි. ඒ නිසා තමන් ජීවත්වන නිවෙසේ සෑම ඉඩකඩක්ම වෙන්විය යුතු වන්නේ එදිනෙදා කර්තව්‍යයන් සඳහා ප්‍රයෝජනවත්වන අන්දමිනුයි. එලෙස ඉඩකඩ වෙන්කිරීමේදී

නිවෙසේ තිබිය යුතු වැදගත්ම අංගයක් කෙරෙහි සරලාගේ නෙත ගියා. බොහෝ නිවෙස්වල වෙනමම ඉඩ ප්‍රමාණයක් වෙන් නොකරන අංගයක් ලෙස Utility room හඳුන්වන්න පුළුවන්. ඇත්තෙන්ම Utility room එකක් කියන්නේ මොකක්ද?

එදා ගෘහණියන් ළිඳ ළඟට ගොස් සබන් දමා රෙදි ටික ගලක අපුල්ලමින් වතුර අදිමින් සෝදා දැමීම සිදු කළා. එසේ සේදූ රෙදි හොඳින් මිරිකා එතැනම ඇති රෙදි වැල් කිහිපයක දමා අව්වේ හෝ මඳ පවනේ වේළා ගත්තා.

ගැමි නිවෙස්වල තවමත් මෙලෙස සිදුවද්දී නාගරික නිවෙස්වල මෙම කර්තව්‍යය නානකාමරයක් (Bathroom) තුළදී සිදුවිය. තවමත් නිවෙස්වල රෙදි පෙඟෙන්නට දැමීම, ඇතිල්ලීම, සේදීම යන මේ සියලු කර්තව්‍යයන් සිදුවන්නේ නාන කාමරය තුළයි. බොහෝ විට රෙදි සෝදන යන්ත්‍රය ද ඇත්තේ බාත්රූම් එක ඇතුළතයි. බාත්රූම් එකක් ඇතුළත නිතරම තෙත පරිසරයක් ඇති නිසා රෙදි සෝදන යන්ත්‍රයක් එහි තැබීම එතරම් සුදුසු නොවේ. නිතර නිතර අලුත්වැඩියා කිරිම් කරන්නට සිදුවේවි. රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා කරන කාර්මික ශිල්පින් ඔබේ නිවෙසේ රෙදි සෝදන යන්ත්‍රයේ අලුත්වැඩියා කිරීමකට පැමිණියේ නම් ඒ බව හොඳින් ම ඔබට පහදා දේවි.

මේ හැරුණු විට නවීන පන්නයේ සැලසුම්වලට අනුව ඉදිවන නිවෙස්වල Utility room එකක් නොහොත් උපයෝගිතා කාමරයක් තිබෙනු දක්නට ලැබේවි. මෙහිදී ඔබ මෙතෙක් රෙදි සෝදන, රෙදි මදින, නිවෙසේ විවිධ සේදුම්වලට අදාළ අංගෝපාංග සියල්ල එකම තැනක ස්ථානගත කිරීම මේ කාමරයේ කාර්යභාරයයි. ඔබේ නිවෙසේ ඉහත කාර්යයන් සඳහා ඉඩකඩක් වෙන්කර නොමැති නම් ජල කරාමයක් වතුර පිටතට ගලායන පරිදි බටයක් දැමීමට හැකි ඕනෑම තැනක් ඒ සඳහා යොදා ගත හැකියි.

බොහෝවිට Utility room එක සඳහා යොදා ගත යුත්තේ රෙදි වේළීමට ගන්නා ස්ථානයට යාබද ස්ථානයකි. රෙදි වැල් හෝ රෙදි රැක් එක තබන ස්ථානයට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක එය තිබීම පහසුවකි. නවීන පන්නයේ නිවෙස්වල රූෆ් ටොප් එක බොහෝවිට රෙදි වේළීමේ කටයුත්ත සඳහා යොදා ගනියි. එසේනම් ඊට පහසු ස්ථානයක utility room එක ස්ථානගත කරන්නට පුළුවනි.

මෙහි ඇතුළත ඔබට පහසු, ඔබටම ආවේණික රටාවකට අනුව සැලසුම් කරගත හැකියි. එය ඔබේ ආර්ථික මට්ටමට අනුව කරගත හැකි දෙයකි. අපේ මේ උත්සාහය ගෘහ අභ්‍යන්තර අලංකරණය ඔස්සේ යමින් ඒ සඳහා ඔබට මූලික අදහසක් ලබා දෙන්නයි.

Utility room එක සඳහා වෙන් කළ හැකිවන්නේ ඉතාම සීමිත ඉඩකඩක් ඇති ස්ථානයක් නිසා ඉන් උපරිම ප්‍රයෝජන ගන්නට සිදුවේ. මේ කාමරයේ බිත්ති පුරාවට ම පැන්ට්‍රි කබඩ් මෙන් කබඩ් ගසා ගැනීමෙන් නිවෙසේ ගබඩා කාමරයකින් ලැබෙන ප්‍රයෝජනය පවා සිදුකර ගැනීමට පුළුවනි. රෙදි සෝදන යන්ත්‍රය ඇති තැන ඉහළින් නිතර භාවිතයට ගන්නා රෙදි සේදුම් කුඩු, දියර, විසබීජනාශක දියර, සුවඳකාරක දියර ආදිය තැබිය හැකි පරිදි රාක්කයක් ගසා ගත හැකියි. යම් හෙයකින් බාත්රූම් එක ඇතුළත රෙදි සෝදන යන්ත්‍රය ඇත්නම් එහි ඉහළ කොටසේ මෙලෙස රාක්කයක් ගසා ඒ අවස්ථාවේ භාවිත කරන සේදුම් ද්‍රව්‍ය තබන්නට පුළුවනි.

වැඩිපුර ඇති සේදුම් ද්‍රව්‍ය කබඩ් එකක දමා අවශ්‍ය පරිදි භාවිතයට ගත හැකියි.

තරමක් උසට කබඩ් එකක් සාදවා එහි මොබ් එක, කොසු, වයිපර්, මොබ් බකට් ආදිය තබන්නට පුළුවන්. පිටතට නොපෙනෙන පරිදි මේවා තැබීමෙන් හරිම පිළිවෙළක් දිස් වේවි. කලබලකාරී වටපිටාවක් කොහෙත්ම දිස් නොවේවි.

මුළුතැන්ගෙයි වැඩිපුර ඇති අත් පිස්නා, නිවෙසේ සාමාජිකයන්ගේ සහ අමුත්තන් සඳහා වෙන්වන තුවා, බෙඩ්ෂීට්, කොට්ටඋර යනාදියත් මෙහිම කබඩ්වල එකින් එක අසුරා තබන්නට පුළුවනි. මේවා වේවැල් බාස්කට්, ප්ලාස්ටික් උපකරණවල බහාලිය හැකියි. එසේ නොවේ නම් සාරි පෙට්ටි, කමිස පෙට්ටි ආදිය මේ සඳහා යොදා ගන්න පුළුවනි.

ඇඳුම් මැදීම සඳහා අයන් ටේබල් එකක් මෙහිම ස්ථානගත කිරීමත් පහසුවක්. සේදූ රෙදි වේළුණ පසු අයන් කොට අදාළ ස්ථානවලින් තබන්නට පුළුවනි. අයන් කළ ඇඳුම් හැඟර්ස්වලින් එල්ලා තැබීම සඳහා එතැනම අවශ්‍ය පරිදි ඉඩකඩ සලසා ගත යුතුයි.

Utility room එකේ සින්ක් එකක් තිබීමත් වැදගත්. එසේ වූ විට රෙදි සෝදන යන්ත්‍රයට දමන්නට පෙර වඩාත් කුණු, දූවිලි තැවරුණු කමිසවල කොලර්... යනාදිය අතුල්ලා දැමීම කළ හැකියි.

සේදීමට ඇති රෙදි දැමීමට පියන සහිත තරමක් උස බකට් එකක්, දෙකක් මෙහිම තබන්න. සේදූ රෙදි වේළන්නට ගෙන යෑම සඳහා දමන ප්ලාස්ටික් බේසම්, බාල්දි ආදිය පිටතින් තබනවාට වඩා කබඩ් ඇතුළත තබන්නට හැකිනම් අලංකාරවත් වේවි.

මේ කාමරයේ පොළොව සඳහා ලිස්සන සුළු ටයිල් දැමීම සුදුසු නැත. කබඩ්වල ටොප් එක සඳහා ග්‍රැනයිඩ් දැමීමට පුළුවනි. පොළොව සඳහා කළු පැහැති හෝ තද පැහැති ටයිල් දැමීම බිත්ති සඳහා තද පැහැති තීන්ත ආලේප කරන්න.

මේ ඡායාරූප ඔබට අදහස් රැසක්ම ගෙන දේවි. තමාගේ ආර්ථික මට්ටමට සරිලන පරිද්දෙන් එදිනෙදා කටයුතු පහසු කරගත හැකි පරිද්දෙන් Utility Room එකක් නිමවා ගැනීමට ඔබට ඉඩහසර ඇත.

 

උපදෙස්

ප්‍රවීණ ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනි

ආචාර්ය දිලිනි හල්විටිගල