බොඳවන නිවාස සිහිනය මෙලෙස සැබෑකර ගන්න

ජූලි 11, 2022

 

"සල්ලි ටිකක් ඉතිරි කර ගත්තේ හිසට සෙවණක් හදාගන්නයි. ඒත් මේ අර්බුදේ ඒකත් නැති කළා." එහෙම හිතන ඔබට, ඔබේ සිහිනය සැබෑකර ගන්න පාර කියන්නයි මේ සූදානම. රටක ආර්ථික අර්බුදයක් ඇති කාලයක පවතින මුදල් ඒකකයේ උච්චාවචනය සිදුවීම, භාණ්ඩ ආනයනය සීමාවීම මඟින් අවශ්‍ය දේ මිල දී ගැනීමට නො තිබීම, පවතින භාණ්ඩවල මිල පාලනයකින් තොරව ඉහළ යාම, භාණ්ඩ හිඟකම යනාදිය එකිනෙක හා සම්බන්ධ වන කාරණා කිහිපයකි. මෙහි ප්‍රතිඵලය වන්නේ යම්කිසි කාර්යයක් සිදුකිරීමේ දී එහි සාපේක්ෂ වියදම් අවම වශයෙන් දෙතුන් ගුණයකින් ඉහළ යාමයි. ඉතින්, උද්ධමනයට යම් අභියෝගයක් වෙන ආකාරයට කොහොමද නිවෙසක් හදන්නේ?

 

අත්‍යවශ්‍ය ඒවා පමණක් සැලසුමට

නිවෙසේ ඇතුළත එක් වර්ග අඩියක් හෝ අනවශ්‍ය ආකාරයට වැඩිවෙනවා කියන්නේ ඉදිකිරීම් පිරිවැය ඉහළ දැමීමක්. එමනිසා ඔබ ඇතුළු පවුලේ අයගේ නිවෙසට ඇතුළත් කළ යුතු අත්‍යවශ්‍ය අංග මොනවාදැයි සාකච්ඡා කරන්න. ඉඩමේ ප්‍රමාණයට ගැළපෙන සේ මිදුලත් ප්‍රමාණවත්ව ඉතිරි කර ගනිමින් නිවෙසක් සැලසුම් කිරීම සෑම අතින්ම සුදුසුයි. වාස්තු විද්‍යාව අතිනුත් මෙය සුදුසු වෙන්නේ නිවෙසේ වර්ගඵලය නිරවුල්ව පිළියෙල කිරීමට හැකිවීමත්, ළිං, වැසිකිළි හා අපජලය රැඳෙන වළ ආදිය නිවැරැදිව ස්ථානගත කිරීමට සුදුසු ඉඩකඩක් පැවතීම යන කාරණා මතයි. මේ ආකාරයට ඔබගේ නිවෙසේ අත්‍යවශ්‍යම දේවල් සැලකීමේ දී ඔබට ලැබෙන්නේ අවම අවශ්‍යතා සහිත වර්ගඵලයකි. එය ඉදිකිරීම් වියදම් අඩු කිරීමකි.

 

අවශ්‍ය අංග නිසි පරිදි පෙළගැස්ම

නිවෙසේ අවම අවශ්‍යතාවට අයත් වර්ගඵලය තව දුරටත් අපතේ නොයන ආකාරයට අංග මනා ගැළපීමක් සහිතව ස්ථානගත කරන්න පුළුවන්. පුංචි නිවෙසක් වුවත් ඉඩකඩ ඇහිරෙන්නේ නැතිව, මනාව ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන පරිදි එකිනෙක ගළපාගන්න පුළුවන්. වාස්තු විද්‍යාත්මක සංකල්පයන් අන්තර්ගත කිරීම මෙහිදී ඉතා සුදුසුයි.

නිවෙසක් සැලසුම් කරන්නා සතුව ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ දැනුම සහ අත්දැකීම් තිබීම මඟින් නිවෙසේ අත්තිවාරමේ සිට එහි සම්පුර්ණ ව්‍යුහයම අවම වියදමක් යන ආකාරයට මනාව හැඩගස්වා ගැනීමට හැකියි. නිර්මාණකරුවකුට විවිධ ශිල්පක්‍රම යොදා නිවෙසකට උපරිම අලංකාරයක් ලබාදීමට හැකියි. නමුත් ඔහුට ප්‍රායෝගික ඉදිකිරීම් පිළිබඳ දැනුමක් නො තිබුණොත් සිදුවෙන්නේ අලංකාරය වෙනුවෙන් විශාල මුදල් නාස්තියක් සැඟවී යාමයි.

නිසි පරතරයක් සහිතව අවම ප්‍රමාණයකින් බේස් කණු යෙදීම, අත්‍යවශ්‍ය ස්ථාන සඳහා පමණක් කළුගල් බැමි යෙදීම, නිවෙස ඇතුළතට මනාව ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන පරිදි සහ ඇතුළත ඉඩකඩ ඇහිරෙන්නේ නැති වන පරිදි අවම බිත්ති ප්‍රමාණයක් ඇතුළත් කිරීම, සරල වහල ක්‍රම නිවාස සැලසුමට ඇතුළත් කිරීම යනාදිය මඟින් අනවශ්‍ය වියදම් සෑහෙන දුරකට කපා හැර, ඉතිරිවන එම මුදල් නිවෙසේ වෙනත් කටයුත්තක් සඳහා යෙදවිය හැකියි.

 

නවින තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම භාවිතය

ඉදිකිරීම් කටයුතුවල දී සම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් බැහැරව නව තාක්ෂණික ක්‍රම ආදේශ කිරීම ඉතා වැදගත්. මෙමඟින් කාලය, අමුද්‍රව්‍ය සහ පිරිස් පිරිවැය අවම වීම ඉතා වාසිදායක වෙයි. උදාහරණයකින් මෙය පැහැදිලි කරගනිමු. තැනිතලා බිමක දෙමහල් නිවෙසක් ඉදි කරනවා යැයි සිතන්න. බොහෝ විට මෙවැනි ඉදිකිරීම්වල දී ඉහළ මහල්වල බර පොළොවට සම්ප්‍රේෂණය වන්නේ කොන්ක්‍රීට් බේස් කණු මඟිනි. (ඇතැම් විට බිත්තිවලින් බර දරාගන්නා ආකාරයට සහ කළුගල් බැමි මඟින් මේ බර පොළොවට සම්ප්‍රේෂණය වන ආකාරයට නිර්මාණය වන අවස්ථා ද ඇත.) එහෙත් බේස් කණු සහිතව ව්‍යූහය නිර්මාණය කිරීමේ දී ඇතුළත බිත්ති එන සෑම තැනම කළුගල් අත්තිවාරම් දැමීම අවශ්‍ය නොවේ. එවිට ඒ සඳහා පොළොව කැපීමට යන ශ්‍රමය, ඒවා පිරවීමට යන කළුගල්, සිමෙන්ති, වැලි, කාලය සහ බැමි බැඳීමට යන ශ්‍රමය ආදී මේ සියලු දේ වෙනුවෙන් යන මුදල් ඔබට ඉතිරි වේ. මේ ආකාරයට නිවැරැදිව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන ඔබට තව දුරටත් ඉදිකිරීම් වියදම් අවම කර ගන්න පුළුවන්.

 

විකල්ප අමුද්‍රව්‍ය සහ නිමැවුම් ක්‍රම භාවිතය

ආදේශකයන්, කපරාරු නො කර තැබිය හැකි බිත්ති වර්ග, තීන්ත නොගා ඒ වෙනුවට ආදේශක නිමැවුම් වර්ග, ඉහළ මහල් සඳහා යෙදිය හැකි බර අඩු බිත්ති වර්ග සහ එමඟින් අත්තිවාරමේ පිරිවැය පාලනය ආදිය පිළිබඳ දැනුවත් වීම වඩාත් සුදුසුයි. ඒ පිළිබද අවශ්‍ය උපදෙස් ලබාදීමටත් අප සුදානම්. නිවාස සැලසුමේ සිට එහි ඉදිකිරීම් අවසන් වීම දක්වා මෙලෙස නිවැරැදි ආකාරයට කටයුතු කිරීම මඟින් පවතින ආර්ථික අර්බුදය හමුවේ නිවාස සිහිනය අත් නො හැර සැබෑ කර ගැනීමට ඔබට හැකියාවක් ඇත.

 

සිවිල්/ව්‍යුහාත්මක ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද ආචාර්ය

ගයාන් එරමුදුගොඩ ලියයි