එළවළුවක විසි කරන්න දෙයක් නැහැ

මේක හැමෝටම අමාරු කාලයක්
අගෝස්තු 15, 2022

 

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.

 

බඩගින්න හැම ගින්නකටම වඩා වැඩියි කියලා කතාවක් තියෙනවනේ. ඒත් ඉතිං අද වනවිට අනෙකුත් ඒවා වගේම ආහාරවල මිල ගණනුත් අහස උසට වැඩි වෙලා. කුස්සියේ ලොකු අරගලයක්. මේ අරගලය ජය ගන්න ‍වෙන්නේ ආදරණීය ගෘහණිය වූ ඔබටමයි.

 

ආහාර පිසීම, ගෙදර දොර පිරිසුදු කිරීම, පවුලේ අයගේ අවශ්‍යතාවන්ට උදව් කිරීම ආදී මෙකී නොකී කාර්යයන්ගෙන් ඔබට ගැලවීමක් නම් නැහැ. එවන් අවස්ථාවන්ට මුහුණ දීමේ දී ගෘහ ආර්ථික විද්‍යාව විෂය හදාරා තිබීම නම් මසුරන් වටීවි. එය විෂයයක් ලෙසින් හදාරා නොමැති තරුණී පාඨක ඔබට අත්වැල් සැපයීමකි මේ.

ආහාර පිළිබඳ සලකා බලන විට අද බොහෝදෙනා ගුණය පසෙකලා රසයට මුල් තැන දෙනවා. එසේම කෙටි ආහාරවලට හුරු වෙලා. බොහෝදුරට කාර්යබහුලත්වය මෙයට හේතුවක් වන්නට පුළුවන්. එසේම දරුවන් ද වැඩිපුරම කඩ කෑමවලට රුචිකත්වයක් දක්වනවා. මේක දැන් ඇබ්බැහිවීමක්. එහෙත් ආදරණීය ගෘහණියනි, ඔබත් ඔබේ පවුලේ අයත් හැකි ඉක්මනින් මේ වැරැදි ආහාර පරිභෝජන රටාවෙන් අත් මිදෙන්න. මේවායෙන් සමහරක් පිළිකා කාරක සහිතය. මක්නිසාදයත් කෘත්‍රිම ආහාරවල වර්ණකාරක, ආහාර කල්තබා ගැනීමේ රසකාරක අඩංගු බැවිනි. එසේම මේ වැරැදි ආහාර පරිභෝජනය හේතුවෙන් සමබල ආහාර වේලක් නොලැබී යනවා. එයින් ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය අහිමි ‍වෙනවා. හැකි සෑමවිටම අලුත් එළවළු, අලුත් පලතුරු, කොළ පැහැති පලා වර්ග ආහාර වේලකට එකතු කරගන්න. මේවා ගෙවත්තේම වගා කර ගත හැකියි. ඔබේ උනන්දුව, කැපවීම හෙට දිනයේ පවුලේ සෞඛ්‍යාරක්ෂිත බවට, ආර්ථිකයට වුව ඍජුවම බලපානු ඇත. පවුල නීරෝගීව තැබීමේ ප්‍රධානතම වගකීම දරන්නේ ඔබයි.

ඔබේ ගෙවත්තේ වෙරළු, උගුරැස්ස, ජම්බු, නමිනං, අඹ, වරකා වැනි පලතුරු වාරවල දී කොපමණ ප්‍රමාණයක් අපතේ යනවාද? ඔබට පුළුවන් නේද මේවායින් ජෑම් හදන්න. කෝඩියල්, පලතුරු බීම, ජම්බු වැනි දෙයින් ව්‍යංජන වුව සැකසිය හැකියි. වැඩිපුර ඒවා වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකියි.

තවද ඔබ වෙළෙඳපොළෙන් එළවළු ගෙනත් ඒවායේ වැඩිහරියක් ඉවත දමයි. වැටකොළු පොත්ත රැහැලා ඉවත දමනවා නේද? ආයෙත් එහෙම කරන්න එපා. ඒක හොඳ මැල්ලුමක්, බැදුමක් වුව සකසා ගත හැකියි.

පොතු ටික සෝදා සිහින්ව ලියා පොල් ටිකක්, කහ ස්වල්පයක් රස අනුව ලුණු එකතු කර තෙල් ස්වල්පයකට සුදුලූනු බිකක්, කරපිංචා ටිකක් දමා පෙර සකසා ගත් මිශ්‍රණය එකතු කිරීමෙන් රසවත් වැටකොළු පොතු තෙම්පරාදුවක් ලැබේවි. කෙසෙල් මුවත් මෙලෙසම පිස ගත හැකියි. එකම එළවළුවකින් කිසිදු කොටසක් විසි නොකර විවිධ රසයට කෑම සාදාගන්න තරම් ඔබ බුද්ධිමත් වන්න. අරපිරිමැස්ම කියන දේ අද කාලේ රන් හා වටිනවා. සැමියාගේ ආදරය වුව රැකගන්න මේ පුංචි පුංචි දේවල් මහමෙරක් තරම්.

අද වෙළෙඳපොළේ ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, තෝසේ, හැලප වාගේ කෑමවල මිල ගණන් දෙගුණ තෙගුණ වෙලා. මේවා ඔබ නිවෙසේ දී පිළියෙල කර දෙන්නට උත්සාහ ගන්න.

බත් මුට්ටියෙ බත් ඉතුරු වුණත් විසි කරන්න ඉක්මන් වෙන්න එපා. ඒවා වියළා අග්ගලා හදාගන්න. සවස තේ පානයට කදිමයි.

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලෙ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ. ප්‍රශ්නවලින් පැනලා යන්න, දිවි නසා ගැනීම, අඹු සැමි ගැටුම් ඇති කර ගැනීම නිෂ්ඵලයි. උපේක්ෂාවෙන් පවුලේ අයත් සමඟ ශක්තිමත් දිරිය ගැහැනියක ලෙස ජීවත් වීම තමයි මේ වෙලාවේ වැදගත්ම දේ.

 

 

උපදෙස්

හේවාහැට රහතුන්ගොඩ මහ විද්‍යාලයේ

නියෝජ්‍ය විදුහල්පතිනි

ඉන්ද්‍රානි විජය බණ්ඩාර