මහල් පහක් උඩ ඉදි වූ පර්චස් දෙකේ පුංචි ගෙවත්ත

ඔක්තෝබර් 17, 2022

මේ පර්චස් දෙකේ අපි එළවළු වර්ග 7 -8ක් හදලා තියෙනවා. ලෙමන්, දෙහි, මාදම්, පේර, අන්නාසි වගේ පලතුරු වර්ගත් හදලා හොඳ ඵලදාවක් ලබනවා.

 

මැද පෙරදිග වැලි කතරේ ඉසුරු සොයන්නට යන අපේ ළඳුන් කරන කැප කිරීම අපරිමිතය. තම දූ දරුවන්ගෙන් ඈත්ව ගහක් කොළක් නොමැති කතරේ වසර ගණනක් ගත කරමින් ඔවුහු තම පවුල නමැති කුටුම්භය සරු කරන්නට මහත් වෙහෙසක් දරති.

 

එය අතීතයට මෙන්ම වර්තමානයට ද එක ලෙස වලංගුය. ෆරීඩ් සුභාරා ඇය ද එලෙසින් මැද පෙරදිග වැලි කතරේ දුක් ගැහැට විඳිමින් තම පවුලේ අනාගතය වෙනුවෙන් කැප වූයේ මහත් වෙර වීරයෙනි. එලෙසින් මහත් වෙහෙස වී උපයා ගත් මුදලින් ඇය තම පවුල වෙනුවෙන් පස් මහල් නිවහනක් තනා ගත්තේ යටියන්තොට නමැති සුන්දර නගරය අද්දරය.

 

වසර ගණනාවකට පෙර මැද පෙරදිග ලැබූ අත්දැකීම් නිසාම ගහ කොළවල සුවය විඳින්නට ඇයට වූයේ මහත් ආසාවකි. ඒ ආසාව ඉටු කර ගන්නට ඇය තැනූ නිවෙස වටා ගෙඋයනක් නොවීය. එහෙත් ඇය ඒ ආසාව වෙනුවෙන් තම සුවිසල් නිවෙසේ ඉහළම මහලේ එළි මහන වෙන් කර ගත්තේ තම සැමියාගේ හා පුතාගේ ද සහයෝගයෙනි.

 

පර්චස් දෙකක් තරම් වූ ඉතා කුඩා කොන්ක්‍රීට් බිම ඇයගේ ගෙඋයන විය. ඒ කුඩා බිමේ ඇය තම සුන්දර ගෙවත්ත නිර්මාණය කර ගත් අයුරු අපට සඳහන් කළේ මහත් සතුටිනි.

 

"මම රට ඉන්න කාලේ තමයි අපේ රටේ වටිනාකම දැනුණේ... අපේ රටේ ඕනෑම දෙයක් බිම දැම්මත් වැවෙනවානේ. ඒත් අපේ ඉඩමේ ගෙයක් හැදුවාට පස්සේ ගහක් හදන්න ඉඩක් තිබුණේ නැහැ. මම මුලින්ම ගෙදර බැල්කනියේ මල් පෝච්චි ටිකක එළවළු හැදුවා.

අපට ඊළඟ ගැටලුව වුණේ මේ ගස්වලට පොහොර හොයා ගන්න නැතිකමයි. කොයිතරම් ආසාවෙන් හැදුවත් ටික දවසකින් ගස් මැරිලා යනවා. අපි නගරයේ ඉන්න නිසා ගව පොහොර සොයා ගන්නත් නැහැනේ... ඒ නිසා අපි ගෙදර ඉහළම කෑල්ලේ පොඩි කුකුළු ගෙයක් හැදුවා. මේ කුකුළු ගේ හැදුවාට පස්සේ අපට රජයෙන් කුකුළු පැටව් 25ක් දුන්නා. ඒ පැටව් ටික හොඳට හදන ගමන් අපි ටිකක් ලොකු පෝච්චි, ඉවත දමන බැරල්, රිජිෆෝම් පෙට්ටිවල එළවළු, පලතුරු හදන්න ගත්තා.

 

දැන් වැඩේ සාර්ථකයි. අපේ වගාවට ප්‍රමාණවත් තරම් පොහොර මේ කුකුළු කූඩුවෙන් ලැබෙනවා. ඊට අමතරව ටවුමේ මාළු කඩවලින් ඉවත් කරන මාළු ඔළු ගෙනත් අපි පොහොරක් හදා ගන්නවා. මේ පොහොර ටික තමයි අපි දාන්නේ.

 

මේ පර්චස් දෙකේ අපි එළවළු වර්ග 7 - 8ක් හදලා තියෙනවා. ලෙමන්, දෙහි, මාදම්, පේර, අන්නාසි වගේ පලතුරු වර්ගත් හදලා හොඳ ඵලදාවක් ලබනවා. දැන් අපේ ගෙදරට කන්න ප්‍රමාණවත් එළවළු ටික, පලා වර්ග, බිත්තර, පලතුරු ටික තියෙනවා. අපට මේ වැඩේට ලොකු වියදමක් ගියේ නැහැ. කිසිම විස වස පොහොරක් දාන්නෙත් නැහැ. අපේ දරුවෝ ආවාම ඒ අයටත් එළවළු ගෙනියන්න දෙනවා. සමහර එළවළු ඒ තරමට හැදෙනවා. බටු, කරවිල, මෑ, බණ්ඩක්කා වගේ එළවළු තමයි හොඳට හැදෙන්නේ. අපට තියෙන ලොකුම ගැටලුව අපේ පළාතේ වැස්ස වැඩියි. ඒ නිසා වැස්සට ඔරොත්තු දෙන එළවළු තමයි හදන්න පුළුවන්."

 

ඇයගේ සැමියා වන ෆාරීස් මහතා හා බාල පුතු අසන් ද ඒ සඳහා ඇයට විශාල සහයෝගයක් දක්වයි.