වැඩ නොකරන බ්ලෙන්ඩරේ හදලා දෙන බෝඩරේ

කැඩුණු බ්ලෙන්ඩර් එක ඉවත දාන්න එපා!!!
නොවැම්බර් 14, 2022

 

උම්බලකඩ, වියළි කහ කැබලි වගේ ගණකම් දේවල් බ්ලෙන්ඩරේට දාන්න හොඳ නෑ. යකඩයයි,

බුෂ් එකයි එකට ගැටුණාම අලුත් ග්‍රයින්ඩරයක්

වුණත් ඉක්මණට කැඩෙනවා.

 

අපි කාගේ කාගේත් ගෙදර දොරේ පුංචිපහේ ඇඹරුම් හලක් තියෙනවානේ. ඉස්සර ගැමි ගෙවල්වල වංගෙඩියට, ඇඹරුම්ගලට එහෙම පැවරුණු ඒ වැඩ කන්දරාවෙන් බොහොමයක් අද කාර්ය බහුල සමාජයේ හිමි වෙන්නේ බ්ලෙන්ඩරේට. ඒත් අද වන විට විදුලි බිලත් අධිකයිනේ. ඉතින් අත්‍යවශ්‍යම දෙයකට තමයි ගෘහණිය බ්ලෙන්ඩරේ වුණත් පාවිච්චි කරන්නේ.

ඉතින් එහෙම තියෙද්දී මුළුතැන්ගෙයි ප්‍රධාන සෙන්පතියෙක් වැනි බ්ලෙන්ඩර් එකත් ලෙඩ දෙන්න ගත්තොතින් ඒක පසුමිබියට දරන්න අමාරු බරක්. අලුතින් පරණ තිබුණාට වඩා හතර පස් ගුණයක් විදුලි උපකරණ මිලත් වැඩිවී ඇති කාලයක්නේ මේක.

මේ හින්දම අලුතින් උපකරණ මිලට ගැනීම වෙනුවට බොහෝදෙනා කරන්නේ පැත්තකට දාල තියෙන කැඩුණු බිඳුණු උපකරණ ආයෙමත් අලුත් කරල කරළියට ගන්න එක. අපි කතා කරමින් උන්නේ බ්ලෙන්ඩර් ගැන. දැන් අලුතින් හොඳ බේලෙන්ඩර් එකක් ගන්නව නම් රුපියල් විසිදාහක්වත් අවම වශයෙන් වියදම දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කැඩුණු බේලෙන්ඩර් එකට කෑලිදාල හදාගන්න එක තමයි නුවණට හුරුම ක්‍රියාව.ඔබේ කැඩුණු බ්ලෙන්ඩර් එකට අවශ්‍ය ඕනෑම කෑල්ලක් හොයාගන්න පුළුවන් තැන් කීපයක් ගැන තමයි අපි අද කියන්නේ. බොහෝ දෙනෙක් දුර බැහැර ඉඳන් මේ පාරට එන්නේ බ්ලෙන්ඩර් එකට වගේම ගෙදර පාවිච්චි කරන ඕනෑම විදුලි උපකරණ වගේම උණුසුම් බෝතල් වලටත් අවශ්‍ය ඕනම කෑල්ලක් මෙතනින් හොයාගන්න පුළුවන් නිසා.ගොඩක් අය කරන්නේ කොළඹට එන තමන්ගේ හිතවතකුගේ මාර්ගයෙන් මේ පුංචි කෑලි ටික ගෙන්වගන්න එක. අද විදුලි උපකරණවල මිල එක්ක කොළඹ ඇවිත් මේ අත්‍යවශ්‍ය අමතර කොටස අරන් ගියත් පාඩුවක් නැහැ.

ඉතිං දැන් අපි හැරෙන්නේ මේ වීදියට.

අපේ ඒ ගමන යෙදෙන්නේ කොළඹ කොටුවට. හරියටම කොටුවේ දුම්රියපළ ඉදිරිපිටට. ඒෂියන් මාර්කට් විදියට ප්‍රකට මෙතැන කොළඹ කොටුවේ පාලම ආසන්නවමයි තියෙන්නේ.

ආමිචර්, බ්ලෙන්ඩර් කප්, මෝටර් වලින් පිරුණු මේ පොඩිපහේ විදුලි උපකරණ අලුත්වැඩියාගාරය අයිති ලක්ෂ්මන් සේනානායකට. ලකී ට්‍රේඩර්ස් විදියටයි මෙතැන නම් කර තියෙන්නේ.

බ්ලෙන්ඩර්වල අමතර කොටස් බොහොමයක් ලක්ෂ්මන් ළඟ තියෙනවා. හොයා ගන්න අමාරු හුඟක් අමතර කොටස් මෙතැන තියෙනවා.

පොඩිපහේ රෙපයාර් එකක් නම් අමතර කොටසුත් දාලා එවේලේම බ්ලෙන්ඩරේ හදා දෙන්න තරම් මෙයා දක්ෂයි.

මොරටුව, පාණදුර, කළුතර වගේ දුර බැහැර ඉඳන් බ්ලෙන්ඩර් අරන් මිනිස්සු කොටුවට එන්නේ ඒ විශ්වාසයට. තරුණීට අත්දැකීම් ඇසුරෙන් ගුරුහරුකම් දෙන්නත් ලක්ෂ්මන් අමතක ක‍ලේ නැහැ.

'හුඟක්ම බ්ලෙන්ඩර්වල කොයිල් පිච්චෙන එකයි වෙන්නේ. ජෝගුවේ බුෂ් එකයි ආමිචර් කෑලියි හානි වුණු අවස්ථාත් වැඩියි. නැෂනල්, පැනසොනික් වගේ බ්‍රෑන්ඩ් තමයි මෙහේ වැඩිපුර තියෙන්නේ. ඒ වර්ගවලට ඕනෑ කරන අමතර කොටස් සොයා ගැනීම එච්චර අමාරු නෑ.

ඒ වගේමයි බ්ලෙන්ඩරේ පාවිච්චියේදීත් ජනතාව නිවැරදිම විදිය දැන සිටීමයි වැදගත්. එක දිගටම ගණ ද්‍රව්‍ය බ්ලෙන්ඩ් කරන්නත් හොඳ නෑ. මිනිත්තුවකට දෙවතාවක්වත් නවතමින් නැවත ක්‍රියාත්මක කරන්න වග බලා ගැනීම පුරුද්දක් කර ගන්නවා නම් ඒක හොඳයි. එතකොට අනවශ්‍ය රත්වීමකින් තොරව මේ යන්ත්‍රය හොඳින් ක්‍රියා කරනවා. එවිට වැඩි කලක් බ්ලෙන්ඩරේ පාවිච්චි කර්න්නත් පුළුවන්. අපි විදුලිය සැපයුම ඇති කොටස්වලට තෙතමනය කාන්දු නොවන විදියට බ්ලෙන්ඩරය පරෙස්සමෙන් පාවිච්චි කරන්නට වග බලා ගන්න ඕනෑ.

ඉතින් මිනිත්තුවකට වට දහ අට දහසක් තරම් බ්ලෙන්ඩරයක මෝටරය වේගවත්...'

මේ උපදෙස් සිහි කරමින් අපි දැන් හැරෙන්නේ කොළඹ කොටුවේම, මල්වත්ත පාරට. 'අමර පස්ගෝරස' මේ නමින් රසවත් බවක් ඒත්තු ගැන්වෙන නමක් වුණත් මෙතැන ප්‍රකට විදුලි උපකරණ අලුත් වැඩියාවටයි. අවුරුදු 40කට වඩා වැඩි අත්දැකීම් සහිත කාර්මිකයකු ලවා විශ්වාසවන්තව බ්ලෙන්ඩරය අලුත් වැඩියා කර ගැනීමට මෙතැනදීත් පුළුවන්. ජී. එම්. කීර්තිරත්න එහි ප්‍රධාන කාර්මික ශිල්පියා. ඔහුගෙනුත් අපි දැන් උපදෙසක් ලබමු.

'උම්බලකඩ, වියළි කහ කැබලි වගේ ගණකම් දේවල් බ්ලෙන්ඩරේට දාන්න හොඳ නෑ. යකඩයයි, බුෂ් එකයි එකට ගැටුණාම අලුත් ග්‍රයින්ඩරයක් වුණත් ඉක්මනට කැඩෙනවා. හුඟක් ගැටලු එන්නේ එයින්. ඇත්තටම මේක වෙළෙඳ මට්ටමේ භාණ්ඩයක් නෙවෙයිනේ. ගෘහස්ථව කුඩා වැඩට යොදාගන්නා දෙයක්. ඉතින්, මෝටරය, ග්‍රයින්ඩර් තලය, ජෝගුව විදියට මේ යන්ත්‍රය කොටස් තුනකින් යුතුයි. ඉන්දියන් ග්‍රයින්ඩර් තමයි වැඩිපුර තියෙන්නේ. දැන් ජපන් ඒවා එන්නේ අඩුවෙන්. ඒත් දැනට පාවිච්චි කරන ජපන් ග්‍රයින්ඩර් වලට අමතර කොටස් තියෙනවා. ඒ නිසා නැවත අලුත්වැඩියා කරමින් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

අලුත්වැඩියා කිරීම ගැන කතා කළොත් වෙනදාට වඩා දැන් කම්බි තුන් ගුණයකින් විතර ගණන්. බසාර් එකේ හොයාගන්නත් අඩුයි. ඒ පිටරටින් ගෙන්වීම සීමා කර ඇති නිසයි. ඒ වුණත් ඕනම බ්ලෙන්ඩර් එකකට ඕන කෑලි අපි ළඟ වගේම මේ පාරේ තියෙනවා. අලුත් එකක් ගන්න මුදලත් එක්ක ගත්තම පොඩි ගාණකට බ්ලෙන්ඩර් එක රෙපෙයාර් කරගන්න පුළුවන් .

මල්වත්ත පාරෙන් අපි දැන් රෝහිණී පටුමගට හැරෙනවා. ඒ, බන්දු ඉලෙක්ට්‍රිකල්ස් වෙතයි. එතැන තවත් නමගිය විදුලි උපකරණ අලුත් වැඩියා කරන තැනක්. ඒ වෙනුවෙන් අවුරුද්දක වගකීම් කාලයක් දීම එහි විශේෂත්වයක්. පළපුරුදු කාර්මිකයන් රැසක්ම එහි සිටිනවා. අනෙක පාණදුර ප්‍රදේශයේ වෙනමම මෝටර්වලට කොයිල් එතීම කරන වෙනම තැනක් බන්දු ඉලෙක්ට්‍රොනික් සතුයි. මේ සියලු තැන් උදෑසන 10 පටන් සවස 6 පමණ වන තෙක් විවෘතයි.

ඉතින් මේ මුළුතැන්ගෙයි පතාකයෙක් වන බ්ලෙන්ඩරය කැඩුණොත් කොළඹදී හදා ගන්න පුළුවන් තැන් කිහිපයක්. ඉක්මනින් වගකීමක් ඇතිව අමතර කොටස් යොදා එම කාර්යය කර දීමට මේ ඇත්තන් සැදී පැහැදී සිටිනවා. ඒ තැන්වලදී බ්ලෙන්ඩර් අලුත්වැඩියා කර ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිපදෙනකුම අපිට පැවසුවේ මෙවැනි තැන් නිසා ඉමහත් පහසුවක් සැලසෙන බවයි. එය මෙකල පසුමිබියටත් යම් තරමක සහනයක් වන බවත් ඔවුන් කියා සිටියා.

මේ ඉඟිටික ඔබට ගෙනාවෙ ඔබෙත් බ්ලෙන්ඩර් එක කැඩිල පැත්තකට කරල තියෙනව නම් ආයෙත් ඒක පණගන්වල කුස්සියේ විප්ලවය පටන්ගන්න පාර කියන්න.ඔබත් ඉන්නෙ කොළඹින් ගොඩක් දුරබැහැර ප්‍රදේශයක නම් කොළඹට එන හිතවතෙක් මාර්ගයෙන් අවශ්‍ය අමතර කොටස ගෙන්න ගන්න පොඩි සැලසුමක් හදාගන්න.

ඒවගේම ඔබේ බ්ලෙන්ඩර් එකේ කප් එක, වහන පියන, ස්පීඩ් නොබ් එක වගේ සාමාන්‍ය දේවල් නැතිකම නිසා බෙලෙන්ඩර් එක මුල්ලකට තල්ලු කරල තියෙනව නම් ඔරිජිනල් සාම්පල් එක එක්ක මෙතැන්වලට ආවොත් බ්ලෙන්ඩර් එක ගොඩගන්න එක පහසු දෙයක්.පුංචි මුදලකට රෙපෙයාර් කරගන්න පුළුවන්කම තියෙද්දී විදුලි උපකරණ පැත්තකට කරල තියන්න හරි අලුත් එකක් ගන්නෙ හරි මොකටද?මෙහෙම රෙපෙයාර් කළාම අලුත් භාණ්ඩයකට පිටරටට යන ඩොලර් එකක් හරි ඉතුරු කරගන්නත් අපට පුළුවන් .

 

ඉඳින්, අපි තවත් විදුලි උපාංගයක් අලුත්වැඩියා කර ගැනීමට ඊළඟ දවසේදීත් ස්පොට් එකෙන් හමුවෙමු.

 

 

ඡායාරූප - සමන්ත වීරසිරි