නිවෙසට සිරිකත කැන්දන ඇක්වටික් ප්ලාන්ට්

ජනවාරි 16, 2023

මල් කියන්නේ අපි හැමෝම ආස කරන විෂයයක්. හොඳට පිපුණු මල් සහ ලස්සන කොළ පාට පරිසරය, සාංකාව සන්සුන් කරවන්න වගේම සොබාදහමත් එක්ක සැහැල්ලුවෙන් සම්බන්ධ වෙන්න ලොකු උදවුවක් වෙනවා. වඩාත්ම වැදගත් දේ තමයි මල් වගාව තුළින් වගකීම සහ ඉවසීම උගන්වනවා. ඉතින් මල් වැවීම ගෘහිණියන්ට නම්  හොඳ විනෝදාංශයක් වෙයි. ලෝකයේ විවිධ වර්ගයේ මල් ඕනෑ තරම් තිබුණත් දේශගුණික සහ පාරිසරික හේතු මත රටින් රටට වගා කළ හැකි මල් වර්ගත් වෙනස්.

 

බොහෝ දෙනා කතා බහ කරන්නේ ගෙවත්තේ වැවිය හැකි මල් වර්ග පිළිබඳවයි. නමුත් අද අපි කතා කරන් මල් වර්ග බඳුන් ගතව පමණක් නොව ජලයේත් හොඳින් වැඩෙනවා. මල් වගාවට මෑතකදී පැමිණි මේ ඇක්වටික් ප්ලාන්ට් එහෙම නැත්නම් පඳුරු ස්වභාවයෙන් යුතු ජලජ ශාක ගැන උනන්දුවක් දක්වන ඔබට මේ ඉඟි සහ උපක්‍රම ගොඩක් වැදගත් වේවී.

 

ජලජ ශාක කුලයට අයත් ඇක්වටික් ප්ලාන්ට් මාළු ටැංකි අලංකරණයට වගේම බඳුන් ගත වගාවකටත් ඉතාම යෝග්‍යයි. මාළු ටැංකි පතුල අලංකරණය සඳහා යොදා ගත හැක්කේ මේ ඇක්වටික් වර්ගයේ ප්ලාන්ට් වර්ග පමණයි. ඇක්වටික් ප්ලාන්ට් වර්ගයේ ශාක ඉතා පහසුවෙන් මැටි හෝ සිමෙන්ති බඳුන්ගතව වගා කර ගත හැකියි. මෙම වර්ගයේ ශාක බොහෝ ප්‍රමාණයක් තිබුණත් ලංකාවේ පාරිසරික සහ දේශගුණික තත්ත්ව මත වගා කළ හැකි වර්ග කිහිපයක් පමණයි.

 

ලංකාවේ වගා කළ හැකි ඇක්වටික් ප්ලාන්ට් අතරින් Rotal macrandra red mini, Nymphoides hydrophylla, Bacopa myricoides, Ludwigia mosaic, Mini Hair grass, Frogbit, Lobelia chinesis, Hydrocotyle vuglaris, Bacopa Caroliniana, Ludwigia inclinata, Myriophillum tuberculatum, Black magic, Coffee cup වර්ග අයත් ය.

මේ සියලුම වර්ග ශාක පත්‍රවල පැහැයෙන් පෙනුමින් වෙනස් ය. හට ගන්නා මල් ද වර්ගයෙන් වර්ගයට පැහැයෙන්, හැඩයෙන් වෙනස් ය.

එසේ වුවත් මේ සියලුම ඇක්වටික් ප්ලාන්ට් වගා කරන්නේ එකම ආකාරයකට වීම විශේෂත්වයයි.

 

ඇක්වටික් ප්ලාන්ට් වගා කරන්නේ මෙහෙමයි

 

ඇක්වටික් ප්ලාන්ට් යනු අලංකාරව පඳුරු ආකාරයෙන් වැඩෙන අලංකාර මල් සහිත ජලජ ශාක විශේෂයකි. පඳුරු ආකාරයෙන් වැඩෙන නිසා ගැඹුරු පැතලි, සිදුරු රහිත බඳුන් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. වගා කිරීමට සුදුසු වෙල් මඩයි. ගෙමිදුලේ සාමාන්‍ය පසට තෙත් කරගත් කොම්පෝස්ට් එක්කර ගැනීමෙන් වගා මාධ්‍යට සුදුසු මේ වෙල් මඩ සකසා ගත හැකියි. ඇක්වටික් වර්ගයේ ශාකවල හට ගන්නේ සිහින් මූල පද්ධතියකි.

එවන් මූල පද්ධතියකට වඩා යෝග්‍ය වන්නේ වෙල් මඩයි.

 

බඳුන සකසා ගන්නා ආකාරය

 

ඇක්වටික් ප්ලාන්ට් වර්ග සියල්ලම පැළ වීම සිදු වන්නේ අතු මඟිනි. නමුත් Coffee cup සහ Black magic වැනි හබරල කුලයේ ඇක්වටික් ශාක වර්ධනය කර ගන්නේ පැළ සිටුවීමෙනුයි. එවැනි ශාක සඳහා වෙල් මඩ අවශ්‍ය නැත. සාමාන්‍ය රළු පස වුව ද යොදා ගත හැකියි. පළමුව ඇක්වටික් ප්ලාන්ට් වර්ගය, විශාලව වර්ධනය කර ගත හැකි මැටි හෝ සිමෙන්ති බඳුනක් තෝරා ගන්න. ඉන්පසුව එය තැබීමට සුදුසු ස්ථානයක් සකසා ගන්න. ඇක්වටික් ප්ලාන්ට් වර්ගය සිටුවීමට ගන්නා බඳුනේ භාගයක් පිරෙන තරමට මේ වෙල් මඩ පුරවා ගන්න. ඉන්පසු ඔබ කැමැති ඇක්වටික් ප්ලාන්ට් වර්ගයක අතු කිහිපයක් අඟලක් පමණ පසට යට වන සේ එක ළඟ සිටුවා ගන්න. මේ අතු එක ළඟ සිටුවීමෙන් පඳුරක ආකාරයෙන් අලංකාරව වර්ධනය වේ. දැන් මෙලෙස සකසා ගත් බඳුන 75%ක් පමණ හිරු එළිය ලැබෙන ස්ථානයක තබන්න. ඇක්වටික් ප්ලාන්ට් වර්ගවල වර්ධනය අනෙක් ශාකවල වර්ධනයට වඩා වේගවත් ය. දින දෙකක් වැනි කාලයක් තුළ දී ශාකයේ මුල් ඇදීම සිදු වේ.

 

පොහොර භාවිතය

ඕනෑම ශාකයක් ඉක්මනින් වැඩීමට නම් පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ. ඇක්වටික් ප්ලාන්ට් සඳහා ද පොහොර යෙදීම තුළින් සාර්ථක මල් සහිත ශාක ලබා ගත හැකියි. ඒ සඳහා සති දෙකකට වරක් නිල් කැට පොහොර එක් කිරීම යෝග්‍ය වේ.

 

කප්පාදුව සහ නඩත්තුව

ශාකයක පැවැත්මට කප්පාදුව අත්‍යවශ්‍යයි. නමුත් ඇක්වටික් ප්ලාන්ට් වර්ගවල කප්පාදුව තරමක් වෙනස් ය. මැලවී දුර්වර්ණ වන කොළ ඉති කතුරකින් කපා ඉවත් කිරීම මෙම ශාකවල කප්පාදුවයි.

මේ වර්ගයේ ශාක සැම විටම පඳුරක් ආකාරයට පවත්වා ගත යුතු නිසා ශාක අතර හිඩැස් හට නොගන්නා ලෙස ශාක පඳුර රැක බලා ගැනීම වැදගත්. හිඩැස් මතුවන තැන්වලට අනෙත් ශාකවල අතු නැවීම, අතින් ශාක ළං කරමින් නිතර නිතර සැකසීම කළ යුතුයි. මෙම වර්ගයේ ශාකවලට පොහොර යොදා සතියක් ගිය විට මල් හට ගැනීම සිදු වේ. නමුත් Frogbit, Rotala nanjenshan, Rotala mexicana, Red root floater වැනි වර්ගවල් මල් හට ගැනීම සිදු වන්නේ ඍතුවලට අනුවය. ඒ නිසා ඒ එක් එක් මල් හට ගන්නා කාල සීමාවේදී මල් හට ගැනීම සිදු වේ.

 

ලෙඩ රෝග

ඇක්වටික් ශාක වර්ගවලට ඇතිවිය හැකි ලෙඩ රෝග කිහිපයකි. මයිටා හානිය ඉන් එක් රෝගයකි. මයිටා හානියේදී දුඹුරු පැහැ පොඩි පබළු වැනි සත්තු විශේෂයක් මලේ නටුවේ සහ නාරටි මත දැකිය හැකියි. මයිටාවුන් මේ ශාකයේ යුෂ උරා බීම නිසා ශාකයේ කොටසක් පමණක් මැලවීම සහ ශාක කඳ දිය වීම, පොහොට්ටු හැලීම, පොහොට්ටු ඇඹරී හට ගැනීම වැනි ලක්ෂණ දැකිය හැකියි. ඇතැම්විට ශාක පත්‍රවල සුදු පැහැ පුංචි හතු හට ගෙන ඇති ආකාරයට සුදු පුල්ලි දැකිය හැකියි. ඒවා අතින් ස්පර්ශ කළ විට අතට ගැලවී එන ආකාරයක් දකින්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී එම ස්ථානයේ අතු කපා ඉවත් කර එම ස්ථානය දෙතුන් වරක් සෝදා කැප්ටාන් වැනි දිලීර නාශකයක් යොදන්න.

පිටිමකුණු ආසාදනය අනෙක් රෝගයයි. එම රෝගයේදී ශාක පත්‍ර පිටුපස පිටිමකුණන් සහිත සුදු පාට පවුඩර් වැනි කුඩක් පැතිර ගිය ආකාරයක් දැකිය හැකියි.  එහිදී පිටිමකුණු නාශකයක් ලෙස ඇක්ටාරා නාශකය යොදන්න පුළුවන්. හිරු එළිය පවතින වෙලාවට මේ නාශක ඉක්මනින් වාශ්ප වන නිසා උදෑසන 9ට කලින් හෝ සවස 5න් පසු යෙදීමයි සුදුසු වන්නේ.

වගා බඳුන්වල සිටවූ මේ ඇක්වටික් ප්ලාන්ට්වලින් ගෙමිදුල පමණක් නොව නිවෙස් ඇතුළත් අලංකාර කර ගත හැකියි. ඒ වගේම බඳුන්වල වර්ධනය කරගත් මේ පැළ, මාළු ටැංකි අලංකරණය සඳහා යොදා ගත හැකි නිසා ඔබේ මාළු ටැංකියටත් මේ ඇක්වටික් ප්ලාන්ට් එක්කර ගන්න.

 

උපදෙස්

ජලජ ශාක පිළිබඳ පර්යේෂක

සඳරු දිසානායක

 

ඡායාරූප - ගයාන් පුෂ්පික