ගෙවත්තේ හැඩකාරයා හොස්ටාස්

මාර්තු 13, 2023

සුවඳ පිරුණු පාට පාට මල්වලට සේම විචිත්‍ර වර්ණ රටා මවන විසිතුරු පත්‍රික ශාක සඳහා ද මල් ලෝලීන් අතර ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. වර්තමානය වනවිට ලංකාවේ බොහෝ ප්‍රදේශ පුරා විසිරී පැතිරී ඇති ‘හොස්ටාස්‘ (Hostas) ශාකය ද එවැන්නකි.

අලංකාර ප්‍රභේද

 

මේ වනවිට හොස්ටාස් ශාකයේ නව ප්‍රභේද රාශියක් දැකිය හැකි අතර දෙමුහුන් කරන ලද ශාක වැඩි සුන්දරත්වයක් උසුලයි.

ඒ අතර,

*හොස්ටා අන්ඩුලාටා ( Hosta undulata)

*හොස්ටා ඒන්ජල් ෆෝල්ස් ( Hosta undulata)

*හොස්ටා ස්කූල් මවුස් (Hosta School Mouse)

*හොස්ටා අව්රියෝ මාජිනාටා  (Hosta Aureo Marginata)
 

ආදිය වැඩි ජනප්‍රියත්වයක් උසුලයි.

ඉහත දැක් වූ මේ ප්‍රභේදවලට අමතරව තවත් අලංකාර ප්‍රභේද ගණනාවක්ම මල් ලෝලීන් අතර ප්‍රචලිතය. මේවායේ කාලයකට පමණක් මල් පිපෙන අතර පඳුරෙන් උසට එස වී පිපුණු මල් දැකිය හැකිය. ඒ කෙසේ වුවත් හොස්ටාස් යනු පත්‍ර අලංකරණය නිසා උද්‍යානයෙහි අසිරි සිරිය වැඩි කරගත හැකි අපුරු ශාක විශේෂයකි.

 

හිරුඑළිය

ඉතා තද හිරුඑළිය කිසිසේත්ම ප්‍රිය නොකරන මේ හොස්ටාස් ඉතා අඩු ආලෝක තත්ත්වයන් ද නොඉවසයි. එම නිසා 50% - 70%ත් අතර පවත්නා සූර්යාලෝකය මේ ශාක සඳහා වඩාත් හොඳින් ගැළපේවි.

ජලය

වෙනත් ශාකාවලට ජල සැපයුම කරන ආකාරයටම මේ ශාකයට ද ජලය සපයන්න. නමුත් ශාක මුල ජලය රැඳී තිබුණහොත් එමඟින් හොස්ටාස්වල පැවැත්මට සහ වර්ධනයට බලපෑමක් ඇතිවන බව ඔබ දැනුවත්ව සිටිය යුතුය. එබැවින් ජල සැපයුම සේම ජලවහනය පිළිබඳ අවධානයෙන් සිටින්න.

 

වගාවේ ව්‍යාප්තිය

හොස්ටාස් පඳුරක් ලෙසින් ස්ථීර භූමියේ වැඩෙන අතර කල්යත්ම ශාකයේ පැළ දමා පඳුර විශාල වේ. මේ නිසා එලෙස වැඩිපුර වැඩෙන පැළ පඳුරෙන් ඉවත් කිරීමට වගබලා ගන්න. එලෙස ඉවත් කරනා පැළ ඔබට නැවත සිටුවිය හැකියි.

ඔබ බඳුන්ගතව සිටුවන්නට අදහස් කරන්නේ නම් වැඩි පළලක් සහිත තරමක් විශාල බඳුන් තෝරාගන්න. නමුත් වැඩි සාර්ථකත්වයක්, සහ වැඩි සුන්දරත්වය දැකිය හැක්කේ ස්ථිර භූමියේ සිටුවා ගන්නා හොස්ටාස් පඳුරකිනි.

මේ පැළ කුඩා කාලයේ දී හංගොල්ලන්ගෙන් සහ ගොළුබෙල්ලන්ගෙන් හානි විය හැකියි. මෙහිදී වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ ඔවුන් පත්‍ර කා දැමීමයි. එබැවින් මෙවැනි සතුන් ශාකයට ළංවීම වළක්වාලීම සඳහා හොස්ටාස් පඳුරු යට හොඳින් පිරිසුදුව පවත්වා ගෙන යන්න. එහිදී මැරී ගිය සහ දුඹුරු පැහැ ගැන් වී ඇති පත්‍ර ඉවත් කිරීම අනිවාර්ය වේ.

බෑවුම් සහිත ස්ථාවල, උද්‍යානයේ තණ පලස කෙළවර, මංමාවත් දෙපස තරමක් ඈතින් ඈතින් විවිධ වර්ණයේ හොස්ටාස් සිටුවා ගැනීමෙන් ඔබේ ගෙඋයනට වැඩි චමත්කාරයක් මෙන්ම මනා පෙනුමක් ලබාගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී මාබොදලේ

රංජිත් කළුආරච්චි