වියදම් අඩු කරගෙන ඉතුරුම් වැඩි කරගන්න

මැයි 22, 2023

 

වෙනදාට වඩා වියහියදම් බොහොම සැරට දැනෙන නිසා වියදම් ටිකක් අඩු කරලා වැඩියෙන් ඉතුරු කරන්න ට්‍රයි කලොත් හොඳයි කියලා ඔබට නිතරම හිතෙනවා ඇති. ඉතින් එහෙනම් ඔබ මුලින්ම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ තමන් ළඟ තියෙන දුර්වල මූල්‍යමය පුරුදු හඳුනාගෙන, ඒවා වෙනස් කරගැනීමට උනන්දු වීමයි. ඒ වගේම තමයි තමන්ගේ හුරු පුරුදුකම්වල කුඩා වෙනස්කම් කිහිපයක් සිදු කිරීම මඟින් පමණක් වුණත් පොකට් එකට දැනෙන තරමේ බලපෑමක් සිදු කරන්න ඔබට හැකියාව උදාවෙයි කියලා අපි විශ්වාස කරනවා.

 

උපයනවාට වඩා වියදම් කරනවාද

 

ඔබගේ සාක්කුව හිස්වන ආකාරයේ අනවශ්‍ය වියදම් ඔබෙන් සිදුවෙනවාද කියලා දැනගන්න හොඳම විදිය තමයි තමන්ගේ වියදම් සතයටම සටහන් කරගැනීම. මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් එහෙමත් ඕනෑ තරම් තියෙනවා. මේ සටහන් කරගන්න වියදම් මාසයකට වරක් හොඳින් ස්ටඩි කරලා ඒවායින් කොයි තරම් ප්‍රමාණයක් අනවශ්‍ය වියදම්ද කියලාත් තෝරාබේරා ගන්න උත්සහ කරන්න. ඒ වගේම තමන් කොයි තරම් ඉතුරුමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවාද, ඒ සඳහා කොයි තරම් කාලයක් ගතවෙයිද, තමන්ගේ වියදම් උපයන ආදායම ඉක්මවන තරමට වැඩිද වගේ කාරණා ගැනත් කල්පනා කරලා බලලා වියදම් කප්පාදුවක් සිදුකරන්න උත්සහ කරන්න.

 

වියදම් කපාහරින්නේ මෙහෙමයි

 

අපි මේ කියන්නේ සාමාන්‍ය උදාහරණ කිහිපයක් විතරයි. තමන් සිදු කරන අනවශ්‍ය වියදම් හඳුනාගන්න පුළුවන් තමන්ට පමණක් හන්දා මේ කාරණය එකිනෙකාට සාපෙක්ෂව වෙනස් වෙන්න පුළුවන් කියලා අපි මුලින්ම සිහිපත් කරනවා.

 

ඉන්ටර්නෙට්, දුරකථන සහ ටෙලිවිෂන් බිල් පරීක්ෂා කරලා බලන්න. ඔබට අනවශ්‍ය සේවාවන් ඇක්ටිව් කරලා නම්, පාවිච්චි කරනවාට වඩා විශාල ඩේටා පැකේජ් එකක් ලබාගෙන ඇත්නම්, නරඹන්නේ නැති ටීවී චැනල්ස් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා නම් අදාළ ආයතනයට කතා කරලා ඒවා ඩිඇක්ටිව් කරගන්න.

 

නිතර නිතර මිලාධික රෙස්ටෝරන්ට් වලින් කෑම ගන්නවා නම් ඒ වාර ගණන සීමා කරලා ලාබදායි සහ රසවත් ආහාර ඇති තැන් සොයාගැනීම ඔබගේ වියදම් අඩු කරන්නටත්, සාමාන්‍ය රටාවට වඩා වෙනසක් ලබාගන්නත් උපකාරයක් වේවි.

නිවෙසේ භාවිතා කරන විදුලි උපකරණ අබලන් වෙලා නම් හෝ අතිශය පැරැණි නම් විදුලි බිල වැඩිවෙන්නට එය හේතුවක් වෙනවා. එවැනි උපකරණ සහ කාන්දුවන ජල කරාම වැනි දෑ අලුත්වැඩියාවෙන් බිල් සඳහා කරන ගෙවීම් අඩු කරගන්නට හැකියාව ලැබෙනවා.

 

නිවෙසට ප්‍රමාණවත් තරමට පමණක් ග්‍රොසරි අයිටම් මිලට ගැනීම, නාස්තිය අවම‍වන ආකාරයට ඇසිරීම සහ අපතේ නොයන ආකාරයට භාවිතා කිරීම සෑහෙන තරමේ ඉතිරියක්කර ගැනීමට සහය වේවි.

 

අවශ්‍යතා සහ උවමනා හඳුනා ගැනීම සහ අත්‍යවශ්‍ය නොවන මිලට ගැනීම් හදිසියේ සිදු නොකර දින කිහිපයකට හෝ කල් දැමීම මඟින් එවැනි මිලට ගැනීම් වළක්වාගන්න ඔබට හැකියාව ලැබෙනවා.

 

මුලින්ම ඉතිරි කරන්න

 

මුදල් ඉතිරි කිරීම ඔබට වදයක් වගේ දැනෙනවද? එහෙම වෙන්නේ සැලරි එක අතට අරන්, අනෙකුත් වියදම් අතරේම ඉතිරි කරන්නත් උත්සාහ කළාමනේ. ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්න නම් වියදම් කරන්න කලින් ස්ටෑන්ඩින් ඕඩර් එකක් ලබාදීම මඟින් ඉතිරි කරන්න යොමුවෙන්න කියලා අපි යෝජනා කරනවා. කොටස් වශයෙන් ගෙවීමේ අරමුණින් රන් භාණ්ඩයක් මිලට ගැනීම, ඉඩමක් මිලට ගැනීම වැනි ආයෝජනයක් වෙනුවෙන් ගත් ණය මුදලක් කොටස් වශයෙන් ආපසු ගෙවීම, ලයිෆ් ඉන්ෂූරන්ස් වාරික ගෙවීම, දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන සැලසුමකට මුදල් යෙදවීම වගේ ආයෝජනයක් ඔබට සිදු කරන්න පුළුවන්. මේ ගෙවීම් අවසානයේ ඔබට ආදායමෙන් ඉතිරි වන කොටස තමයි වියදම් කරන්න සිදුවෙන්නේ. ඉතින් ඒ ඉතිරිවන ප්‍රමාණය අරපරිස්සමින්  කළමනාකරණය කරගැනීම සහ ණය නොවීම කියන කරුණු ගැන ඔබට අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න සිදුවෙනවා.

 

හදිසි අවස්ථාවකදි

 

නිවාස, වාහනය අලුත්වැඩියාව, අසනීප, රැකියාව අහිමි වීම නිසා ආදායම අහිමි වීම හෝ ආදායම අඩු වීම වගේ හදිසි කාරණා ඕනෑම කෙනෙක්ට ඕනෑම මොහොතක අත්විඳින්නට සිදුවිය හැකි සිදුවීම් විදියට පෙන්වන්න පුළුවන්. මෙවැනි සිදුවීමකදී, නැවත ජීවිතය යථා තත්ත්වයට පත්වන තුරු වියහියදම් පිරිමසා ගැනීම වෙනුවෙන් යම් ඉතුරුමක් තියෙනවා නම් කොයි තරම් වටිනවද නේද? මේ සඳහා ඔබේ සාමාන්‍ය මාසික වියදම වගේ පස් හය ගුණයක වටිනාකම ඇති ඉතුරුම් ගිණුමක් නඩත්තු කරන්න පටන් ගන්න. හැබැයි හදිසි අවස්ථාවක හැර සාමාන්‍ය එදිනෙදා වියදම්වලට මෙයින් මුදල් ලබාගැනීම නම් කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. අනපේක්ෂිත සහ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැනි ඉතුරුමක් තිබීම ණය වීමෙන් ඔබව ගලවා ගන්නවා විතරක් නෙවෙයි, ඔබට සෑහෙන මානසික සහනයකුත් වේවි.

 

අන්තර්ජාලය ඇසුරිනි