Aesthetic Medicine ගැන දැන සිටියා ද?

ජනවාරි 1, 2024

 

වයසට නොයා හැමදාමත් තරුණ පෙනුම රැකගෙන ඉන්න ඇත්නම් කවුද අකැමැති. එහෙත් කොණ්ඩයට, සමට නොයෙකුත් දේ ආලේප කරමින් උපතින්ම උරුම වූ ස්වභාවික ලස්සනට හානියක් ගෙන දෙන්න කිසිවෙක් කැමැති වන්නේ නැහැ.

Asthatic Medicine හෙවත් රූපාලංකාර වෛද්‍ය ඔබ අසා තිබෙනවාද? මේ ඔබේ සම සතියෙන් දෙකෙන් සුදු කරන, අතුරු ආබාධ සහිත තවත් එක් රූපලාවණ්‍ය සත්කාරයක් දෝ යැයි සිතුනාද?

කිසිසේත්ම නැත. මේ වෛද්‍ය විද්‍යාවට අනුව හිසේ සිට පාදාන්තය දක්වාම ඔබට හැඩැති මුවක්, හැඩැති සිරුරක් සඳහා වන සියලුම සත්කාරයන් සිදු කරන රූපලාවණ්‍ය

ක්‍රමවේදයකි.

රූපලාවණ්‍ය සායන

රූපලාවණ්‍යාගාර ලෙසින් නොව රූපලාවණ්‍ය සායන ලෙසින් පැවැත්වෙන මෙම සත්කාරයන් සිදු කිරීමට බලතල හිමිවන්නේ MBBS ලෙස මූලික වෛද්‍ය උපාධිය හදාරා පසුව පශ්චාද් උපාධිය ලෙස රූපාලංකාර වෛද්‍ය විද්‍යාව හැදෑරූ වෛද්‍යවරුන්ටයි.

කායික රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව, අන්තරාසර්ග රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව (දියවැඩියාව, තයිරොයිඩ් සඳහා බලපාන හෝර්⁣මෝන පිළිබඳ දැනුම), සමේ රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව හැදෑරූ අයට ද රූපාලංකාර වෛද්‍ය විද්‍යාවේ පහසුවෙන්ම නිරත වන්නට හැකි වේවී.

 

අතුරු ආබාධ ඉතාම අවමයි

ප්‍රතිකාරයන්, සත්කාරයන්..... ආදි සියල්ල ඔවුන්ගේ අධීක්ෂණයන් යටතේ සිදුවන නිසා අත් වැරදීමක් පවා සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩුවේ. මෙම ප්‍රතිකර්මයන් අතුරු ආබාධයන් ඉතාම අවම එකක් බව මේ සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරුන් තරයේ කියා සිටියි.

1950 ගණන්වලදී ලොවට හඳුන්වා දේ රූපාලංකාර වෛද්‍ය විද්‍යාව 1950 ගණන්වලදී මෙලොවට බිහි වූවක් වන අතර, ලංකාවේ එය තරමක් දුරට හෝ ජනප්‍රිය වූයේ පසුගිය වසර 5,10 කාලය අතරතුරයි.

වෛද්‍ය ශිෂ්‍යයන් වන ඔබට ඇරැයුමක්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස වෛද්‍ය පීඨවලට ඇතුළත් වන ඔබටයි මේ ඇරයුම. රූපලාවණ්‍ය කෙරෙහි උනන්දුවක් ඇත්නම්, පශ්චාද් උපාධිය සඳහා රූපාලංකාර වෛද්‍ය විද්‍යාව තෝරා ගැනීමෙන් වඩාත් තෘප්තිමත් ලෙස උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නත් හැමදාමත් නැවුම් බවින් යුතුව රැකියාවේ නියැළෙන්නටත් අවැසි වටපිටාව සැකසේවි. වෘත්තියක් ලෙසින් රූපාලංකාර වෛද්‍ය විද්‍යාවේ යෙදෙන ඔබට ආර්ථික අතින් වඩාත් වැඩි ප්‍රතිලාභ ගෙන දෙනු ඇත. වෙනත් වෛද්‍යවරුන් වටා රෝගීන් එක්රොක් වෙද්දී ඔබ වටා එක්වන්නේ රූපලාවණ්‍ය සත්කාරයන් කෙරෙහි අසීමිත ලෙස ලොල් බවක් දක්වන පිරිසයි.

ප්ලාස්ටික් සැත්කම්වලට එහා ගිය වෛද්‍ය විද්‍යාවක්

Asthetic Medicine යන්න Cosmetic Medicine (කොස්මටික් වෛද්‍ය විද්‍යාව), Appearance Medicine(පෙනුම පිළිබඳ වෛද්‍ය විද්‍යාව), Anti - Aging Medicine( වයස්ගත වීම වැළැක්වීමේ වෛද්‍ය විද්‍යාව) ලෙස ද හැඳින්වේ. මෙය ප්ලාස්ටික් සැත්කම්වලට වඩා එහා ගිය එකකි.

විශාල සාප්පු සංකීර්ණවල සායනයන්

සෞඛ්‍යසම්පන්නව සිටිමින් වයස්ගත වීම වළකාලන්නට හැකි වීම මෙම වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂ ලක්ෂණයක් වන බැවින් විදෙස් රටවල ඒ සඳහා ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. විදෙස් රටවල විශාල සාප්පු සංකීර්ණවල රූපාලංකාර සායනයක් (Asthetic Clinic) අනිවාර්යයෙන්ම දක්නට ලැබේ. ලංකාවෙත් දැන් දැන් මෙම ප්‍රවනාව ක්‍රමක්‍රමයෙන් ඇතිවේ.

ප්‍රතිකාර රැසක එකතුවක්

එන්නත්, ඖෂධ, සම සඳහාවන සත්කාර, පෝෂණය, හිසකෙස් සිටුවීම, හිසකෙස් නැවත නඟා සිටුවීම, ලේසර් ප්‍රතිකාර, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ප්‍රතිකාර ආදී නොයෙකුත් ප්‍රතිකාර ක්‍රමවේදයන් මීට ඇතුළත් වේ. රෝගයක් සඳහා වුවත් රෝගයක් ලෙසට නොව රුව අලංකරණයක් ලෙසින් සම්බන්ධ වන නිසා ඒ සඳහා සහභාගිවන්නේ උද්‍යෝගිමත් බවින් යුතුවයි.

උදාහරණයක් ⁣ලෙස කැස්සකදී ඉබේම මුත්‍රා පහවීම, සාමාන්‍ය ක්‍රමයට දරුවන් ලැබූ පසු ලිංගිකව එක්වීමේදී සැමියාට වෙනදා තරම් සකුටක් නොලැබේ නම් ඒ සඳහා ප්‍රතිකාර ආදිය සිදුවන්නේ Cosmetic Gynecology විෂය පථය ඔස්සේයි.

 

ගැහැනු දරුවන්ට අනගි ආයෝජනයක්

විශේෂයෙන්ම ඉන්දියාවේ සාමාන්‍ය පෙනුමක් ඇති ගැහැනු දරුවන් කුඩා වයසේදීම මෙවැනි සායන වෙත යොමු කිරීමෙන් ඔවුන් නිරූපණ ශිල්පිනියන්, රංගන ශිල්පිනියන් කරා යන ගමන වඩාත් ආකර්ෂණීය කරවාවී.

මෙරට රජයේ රෝහල්වල මෙවැනි සායන නොමැත්තේ ඇයිදැයි ඔබට සිතුණාද?

මෙය තරමක් මිල අධික සත්කාරයන් කරනා සුඛෝපභෝගී වෛද්‍ය ක්‍රමයකි. ලංකාව වැනි රටක රජයේ රෝහලක මෙවැනි සායනයක් පවත්වා ගෙන යාම තරමක් බැරෑරුම් කටයුත්තකි. එහෙත් එය රජයේ රෝහලක පවත්වා ගත යුතු සායනයක් බවත් අවධාරණයෙන් යුතුව පැවසිය යුතුවේ.

Bride To Be

රුවැති මනාලියක් වීමට සිටින යුවතියකට මෙම රූපලාවණ්‍ය ක්‍රමවේදය ඉතාම අගනා එකක් වේවි. විවාහ මංගල්‍යයට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳ සිතා බැලිය යුතුවේ.

ඉදිරිපත් කිරීම :

රූපාලංකාරය පිළිබඳ විශේෂිත පුහුණු වෛද්‍ය

ඩබ්ලිව්. ඒ නුවන් කුමාර