නියම විදිහට නිය රැක ගන්න නියම රහස්

නිතරම නිය කැඩෙනවා නම්..
පෙබරවාරි 26, 2024

 

නිය සමේ කොටසකි. නිය මුල සිට වැඩීමට මාස 5- 6 ක් පමණ ගත වේ. නියපොතු වැඩීම මසකට සෙන්ටිමීටර් භාගයක් පමණ වේ. කකුලේ නියපොතු වැවෙන වේගය අතේ නියපොතු වැවෙන වේගයෙන් අඩක් පමණවන අතර, කකුලේ නියපොතු අතේ නියපොතුවල මෙන් දෙගුණයකින් වැඩීම සිදුවන්නේ තරුණ වයසේදී සහ ගැබිනි කාලයේදී ය. තමන්ට හුරු අතේ නියවලට වඩා, නුහුරු අතේ නිය වේගයෙන් වැඩේ.

ඔබේ ජීවන රටාවේ වෙනස්කම් සහ පෝෂණය නියපොතු ශක්තිමත් කිරීමට උපකාරී වේ.

බොහෝදුරට නියපොතු කැඩී යාමට හේතුවන්නේ පෝෂණ ඌනතා, සමේ රෝග, තයිරොයිඩ් වැනි ආබාධ විය හැකියි.

එසේම සුලභ නොවූව ද, බිඳෙන සුලු නියපොතු රෝග කිහිපයක ලක්ෂණයක් විය හැකියි. ඒවා අතර දිලීර ආසාදන, ඉරි තැළීමට අමතරව ඔබේ නියපොතු ඝනවීම හෝ කහ පැහැයට හැරී ඇත්නම්, ඔබට දිලීර ආසාදනයක් විය හැකියි.

කෙසේ වෙතත් නියපොතු කැඩී යාම වළක්වා ගැනීම සඳහා ඔබට නිවසේදී කළ හැකි සත්කාරයන් කිහිපයක් පිළිබඳව අපි කතා කරමු. සුන්දර නිය පෙළක් පවත්වා ගැනීමට සෑම කාන්තාවක් ම පාහේ ප්‍රිය කරයි. කාර්යාල රැකියා වෙත යන කාන්තාවන්ගේ සිට සෑම කාන්තාවක්ම තමන්ගේ නියපෙළ මනාව පවත්වා ගැනීමට නොයෙක් ක්‍රමවේද භාවිත කරයි. වර්ණ කිරීම, ජෙල් නේල්ස් කිරීම, ඇක්‍රලික් නේල්ස් කිරීම මේ අතර ප්‍රධාන වෙයි. මෙනිකියු සහ පෙඩිකියු වැනි සත්කාරයන් මඟින් අලංකාර කරගැනීම ද ඒ අතර වෙයි.

නව යොවුන් වියේ පසුවන ගැහැනු ළමයින් සේ ම, වයස් භේදයකින් තොරව සෑම කාන්තාවක්ම පාහේ ඉතා අලංකාරව පවත්වා ගැනීමට කැමතියි.

නියපෙළ විටින් විට කැඩී යන්නට පටන් ගතහොත්, එය සැබැවින්ම බොහෝ කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නයකි. බොහෝදුරට නියපොතු කැඩී යාමට හේතු විය හැක්කේ ජානමය කාරණා හැරුණු විට,පෝෂණ ඌනතාවක් විය හැකියි. එමෙන්ම වයසට යෑම නිසා, ඔබේ සම සහ හිසකෙස් වෙනස් වීම්වලට ලක්වේ. එය නියපොතුවලටද බලපාන අතර නිය සිහින් සහ ඉක්මනින් කැඩී යන හෝ පැළුණු නියපොතු ආදී තත්ත්වයන් ඇතිවිය හැකියි.

එසේම රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ද, රෙදි සෝදන කුඩු වැනි ඩිටර්ජන් භාවිතයෙන් ද, යම් යම් රෝගාබාධ තත්ත්වයන් නිසාද නියපොතු කැඩී යාමේ තත්ත්වයන් ඇතිවිය හැකියි.

ලස්සන සහ ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න නියපෙළක් ඇතිකර ගැනීමට නිවසේදී කළ හැකි පිළියම් කිහිපයක් තිබේ.

 

* ලෙමන් යුෂ

ලෙමන් යුෂ විටමින් සීවලින් යුක්ත අතර, නිය වර්ධනයට උපකාරී වේ. එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වේ.

ලෙමන් ගෙඩියක් ගෙන, යුෂ මිරිකා ගන්න. පුළුන් කැබැල්ලක් දෙහි යුෂවල ගිල්වා, එම පුළුන් කැබැල්ලෙන් නියපොතු සහ නියමල හොඳින් පිසදාගන්න. එය අවම වශයෙන් දිනකට වරක්වත්, නියපොතු සහ ඇඟිලි නිය මත අතුල්ලන්න. දිනකට විනාඩි පහක් පමණ මෙය සිදු කරන්න. ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එය ඔබේ නියපොතු වර්ධනය වීමට උපකාරී වන අතර නියපොතු පිරිසුදුව තබා ගැනීමට සහ බැක්ටීරියාවලින් තොර බවට පත්කරයි.

 

* පොල්තෙල් මාස්ක්

පොල්තෙල් නිරෝගී මේද අම්ලවලින් පොහොසත් වන අතර එය නියපොතුවල තෙතමනය සුරක්ෂිත කර ගැනීමට උපකාරී වෙයි. මේවා දුර්වල, බිඳෙන සුලු නියපොතු ශක්තිමත් කර පෝෂණය කරයි. මීට අමතරව පොල්තෙල් නියපොතු මත ක්‍රියාකර, නියපොතුවල වර්ධනය වැඩිදියුණු කරයි.

රත් කිරීමකට ලක් කරන ලද උණුසුම් පොල්තෙල් තේ හැන්දකින් ඔබේ නියපොතු සම්බාහනය කරන්න. එය රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් වී, නියපොතු වර්ධනයට උපකාරී වේ. සෑම දිනකම රාත්‍රී නින්දට පෙර මිනිත්තු 5ක් සම්බාහනය සිදු කරන්න. දිනකට දෙවරක් කිරීමට හැකි නම් එය වඩාත් ප්‍රතිඵලදායකයි.

 

* විටමින් E අඩංගු තෙල් සම්බාහනය

විටමින් E මඟින් ඔබේ කැඩී යන නියපොතු ශක්තිමත් සහ දිගු කළ හැකියි. විටමින් E අඩංගු තෙල් නියමත ආලේප කිරීමෙන් ඒවා ප්‍රබෝධමත් කර පෝෂණය වේ.

විටමින් කැප්සූල් එකක් ගෙන, සිදුරු කොට එහි ඇති ඝන තෙල් ඔබේ නියපොතුවලට යොදන්න. නියපොතු මත සහ කියුටිකල් මත මිනිත්තු පහක් පමණ සම්බාහනය කරන්න. තවත් මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

* ඔලිව් තෙල් සම්බාහනය

 

ඔලිව් තෙල් කැල්සියම් අවශෝෂණය කරගැනීමට උපකාරී වේ. ඔලිව් තෙල් සම්බාහනය මඟින් කැඩී යන නියපොතුවලට පෝෂණයක් ලබාදෙමින්, නිය ශක්තිමත් කර, ලස්සන සහ නිරෝගී නියපෙළක් ලබා දේ.

ඔලිව් තෙල් හැඳි 2ක් පමණ ගෙන, මඳක් රත් කරන්න. මඳ රස්නය සහිත ඔලිව් තෙල්වල ඔබේ නියපොතු ගිල්වා විනාඩි දහයක් පමණ තබන්න, පසුව හොඳින් සම්බාහනයකර උණුසුම් ජලයෙන් සෝදා හරින්න. අනතුරුව තෙතමනය ආරක්ෂා කරගැනීම සඳහා මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් යොදන්න.

මීට අමතරව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම, හොඳින් ජලය පානය කිරීම, රෙදි සේදීම වැනි කාර්යයන්වලදී භාවිත කරන රෙදි සෝදන කුඩු වැනි දෑ සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන භාවිත කිරීම, නියපොතු මත වර්ණ යෙදීමෙන් පසු ඒවා දීර්ඝ කාලයක් නිය මත නොතබා ඉක්මනින් ඉවත් කිරීම, Gel Nails & Acarlic Nails යෙදීමේදී පසු, යම් කාලසීමාවක් නියපොත්තේ වර්ධනය සඳහා ඉඩ දීම, හොඳින් තෙතමනය ආරක්ෂාවන ආකාරයේ හෑන්ඩ් මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් දිනපතා භාවිත කිරීම, නිය ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්නව නිරෝගී කිරීමට උපකාරී වන අතිරේකයක්වන විටමින් B අඩංගු බයොටීන් අතිරේකයක් වෛද්‍ය උපදෙස් මත කළ හැකියි.

 

ප්‍රවීණ මනාලියන්

ඇන්දවීමේ සහ රූපලාවණ්‍ය

උපදේශිකා

ඉෂාරා කෝරළගේ