වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අඩු වයසෙන්ම කොණ්ඩේ සුදු වෙලා.

හිසකෙස් මිනිසාට පිහිටන්නේ හිස්කබලේ ආරක්‍ෂාවට වුවද අද වනවිට කෙස් අපේ බාහිර පෙනුම, පෞරුෂය මනා ලෙස පවත්වාගෙන යාමට නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබේ.
නිරෝගී කෙස් කලඹක් සෑම කෙනකුගේම සිහිනයකි. අතීතයේ කාන්තාවන් පමණක් කෙස්වලට මුල් තැන දුන්නත් මෑත කාලයේ කාන්තා, පිරිමි භේදයකින් තොරව හිසකෙස්වලට අති විශාල අවධානයක් යොමු කර තිබේ.
පසුගිය ලිපි වලින් අපි හිසකෙස් සම්බන්ධව පීඩා විඳින ගැටලු පිළිබඳව කතා කළා. ඒ අතර අකලට හිස කෙස් පැසීම ද කාන්තා, පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා පීඩා විඳින ගැටලුවකි.
ප්‍රතිකාර කිරීමට පෙර පළමුව කළ යුත්තේ හිස්කබල සහ හිසකෙස් හොඳින් පරීක්ෂා කර හිස්කබලට සහ කෙස්වලට ගැළපෙන ෂැම්පු වර්ගයක් තෝරා ගැනීමයි. විනාඩි පහළොවත් විස්සත් අතර කාලයක් හිස කෙස් කොටස් කර හිස්කබල ස්ටීම් කරගන්න. නිවෙසේදී නම් උණුසුම් තුවායක් මේ සඳහා භාවිත කළ හැකියි. පසුව කොණ්ඩය විනාඩි පහක් පමණ ලිහිල්ව තබා ඒ වෙනුවෙන්ම නිෂ්පාදිත ෂැම්පු භාවිත කිරීමටත් කන්ඩිෂනර් භාවිත කිරීමටත් සැලකිලිමත් විය යුතුයි. එම නිෂ්පාදනවලින් සතියකට දෙවතාවක්වත් කොණ්ඩය පිරිසුදු කළ හැකියි. වෙළෙඳපොළෙන් මිලදී ගන්නා නිෂ්පාදනවලට අමතරව ඔබට නිවෙසේදීද කළ හැකි ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කරන සරල ප්‍රතිකාර ගණනාවක්ම තිබේ.
අකලට හිස කෙස් පැසීම වැළැක්වීමට නිෙවසේදී සත්කාර කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර ගැනීම කළ යුතුයි.
පළමු ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
* ඈත දැති සහිත පනාවක්
* සාදාගත් ද්‍රව්‍ය දමා ගැනීමට බඳුනක්
* පැක් බ්‍රෂ් එකක්
* සෙක්ෂන් ක්ලිප්
* ගොටුකොළ මිටක ප්‍රමාණයක්
* මුකුණුවැන්න මිටක ප්‍රමාණයක්
* කරපිංචා මිටක ප්‍රමාණයක්
* පොල්තෙල් අඬු කෝප්ප 1ක්
ප්‍රතිකාර කරන ආකාරය
සේවා දායකයා සූදානම් කිරීම
පළමුව ඔබ කළ යුතු වැදගත්ම දේ වන්නේ සේවාදායකයා සූදානම් කිරීමයි. ඔබගේ සේවාදායකයා ආභරණ පැලඳ සිටී නම් පළමුව ආරක්ෂිතව ඒවා ඉවත් කිරීමට උපදෙස් දිය යුතුයි. ඔබ කරනු ලබන කුමන ප්‍රතිකාරයකදී වුවද ප්‍රතිකාරය සඳහා භාවිත කරනු ලබන ද්‍රව්‍ය, ආභරණ සමඟ ගැටීමට ඉඩ සැලැස්වීම නොකළ යුතුයි. පසුව ආරක්ෂිත ඇඳුම් ඇන්දවීමට පියවර ගතයුතුයි.
ඊළඟ පියවර වන්නේ ඈත දැති සහිත පනාවක් භාවිත කර කොණ්ඩය කොටස් කර පීරා ගැනීමයි. විශේෂයෙන් දිගු කොණ්ඩයක අවුල් ලිහා ගැනීමේදී කොණ්ඩය කොටස් කර පළමුව කොණ්ඩයේ අගත් පසුව ක්‍රමානුකූලව කොණ්ඩයේ මුලට වන ලෙසින් පීරා ගන්න.
මෙසේ අවුල් හැර පීරා ගත් කොණ්ඩයට ප්‍රතිකාර ලෙස පැක් එක සූදානම් කරගන්නා ආකාරය බලමු.
පැක් එක සූදානම් කර ගැනීම
ගොටුකොළ, මුකුණුවැන්න, කරපිංචා සිහින්ව තලපයක් ආකාරයට අඹරා ගන්න. පසුව මැටි මුට්ටියකට පොල්තෙල් අඬු කෝප්ප එකක් දමා එයට අඹරා ගත් තලපය දමා මඳ ගින්නේ විනාඩි විස්සක් පමණ රත් කරගන්න. මඳ ගින්නේ රත් කර ගැනීමේදී හැඳිගාමින් රත් කර ගැනීමට සැලකිලිමත් වන්න. පසුව මෙය පෙරා ගන්න.
මෙම පැක් එක ආලේප කළ යුත්තේ හිස්කබලේ සහ කෙස් කෙස්වල ක්‍රමානුකූලව කොටස් වශයෙන් වෙන් කර ගැනීමෙනි. ආලේප කළ පැක් එක විනාඩි විස්සක් පමණ තබන්න. පසුව හිසකෙස් සෝදාහරින්න.
මෙම ප්‍රතිකාරය සතියකට දෙවතාවක්වත් සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගතහැකි වේ. ප්‍රතිඵල අත්දැකීමට සතියකට දෙවතාව බැගින් මාස තුනක්වත් සිදු කළ යුතුයි.
දෙවැනි ක්‍රමය
අකලට හිස කෙස් පැසීම සඳහා භාවිත කළ හැකි තවත් පැක් එකක් මෙලෙස සාදා ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය
* නෙල්ලි මිටෙන් ප්‍රමාණයක්
* පොකුරු වද මිටෙන් ප්‍රමාණයක්
* පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට
සාදා ගන්නා ආකාරය
* නෙල්ලි කුඩාවට කපා අඹරා ගන්න.
* පොකුරු වද ටිකෙන් ටික එකතු කරමින් අඹරා ගන්න.
* පසුව පොල්තෙල් ටිකෙන් ටික එක් කරමින් තලපයක් ආකාරයට සාදාගන්න.
පැක් එක ගැල්වීම
මෙම පැක් එක ආලේපයට පෙර හිස්කබල සහ හිසකෙස් හොඳින් සෝදා වේළා තිබීම වඩාත් සුදුසුයි. අවුල් හැර පීරාගත් කෙස් මත ක්‍රමානුකූලව හිස්කබලේ සහ කෙස්වල මෙම පැක් එක ආලේප කරන්න. විනාඩි විස්සක් පමණ තබා මෘදු ෂැම්පු වර්ගයක් භාවිත කර සාමාන්‍ය ඇල් ජලයෙන් සෝදාහරින්න. සතියකට දෙවතාවක් බැගින් මාස තුනක් පමණ මෙම ප්‍රතිකාරය සිදුකිරීමෙන් අකලට හිසකෙස් පැසීමේ තත්ත්වය පාලනය කිරීමට හැකි වේ.
ලබන සතියේ හිසකෙස් සඳහා පීඩා ගෙනෙන තවත් ගැටලුවක් ගැන කතා කරමු.
උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
නදීකා පෙරේරා