හිසට සොරි හිස්හොරි

මාර්තු 24, 2025

 

 නොපෙන්වුවත් හිස්හොරි තත්ත්වය නිසා පොදුවේ බොහෝ දෙනා කායිකවත් මානසිකවත් පීඩා විඳිති. හිස් හොරි තත්ත්වය නිසා ඇතිවන ලොකුම ගැටලුව කෙස් හැලීමයි.

 

ඔබේ රූපලාවණ්‍යාගාරය වෙත පැමිණෙන සේවාදායකයන් හිස්හොරි තත්ත්වය නිසා පීඩා විඳී නම් ඊට ප්‍රතිකර්ම කියා දීමට සහ ප්‍රතිකර්ම කිරීමට ඔබ දැනුම්වත්ව සිටිය යුතුයි. එහෙනම් අපි දැන් බලමු හිස්හොරිවලින් මිදී කොණ්ඩය නීරෝගිව තබාගන්නේ කොහොමද කියා.

හිස්හොරි ඇතිවන්නට බලපාන හේතු

හිස්හොරිවලින් ගැලවෙන්න නම් ඒවා ඇතිවෙන්න බලපාන හේතු ගැනත් දැනුම්වත් විය යුතුයි. ඒ සඳහා කළ හැකි සරල ප්‍රතිකාර පිළිබඳවත් දැනුම්වත් විය යුතුයි.

 

නිසි ලෙස හිසකෙස් සහ හිස්කබල පිරිසුදු නොකිරීම

මොන තරම් උසස් තත්ත්වයේ ෂැම්පු කන්ඩිෂනර් භාවිත කළත් ඒවා නිවැරදිව භාවිත කරන්න දන්නේ නැතිනම් හිස්කබලේ සහ හිසකෙස්වල ගැටලුකාරී තත්ත්වවලට එය හේතුවක් වන්නට පුළුවනි.

පළමුව හිසකෙස් පිරිසුදු කිරීමට භාවිත කරන්නට තෝරා ගන්නා ෂැම්පු වර්ගය ඔබගේ කෙස්වල ස්වභාවයට ගැළපෙනවාද යන්න පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.

ෂැම්පු වර්ග තෝරා ගනිද්දී එහි ආකර්ෂණීය බාහිර දවටන, පෙනුම, ආකර්ෂණීය සුවඳ යන මේවාට රැවටෙන්නට එපා. කෙස්වල සහ හිස්කබලේ තත්ත්වය අධික ලෙස වියළි තත්ත්වයට පත් වී ඇත්ද? අධික තෙල් සහිත තත්ත්වයට පත් වී ඇත්ද? එසේත් නැතිනම් සාමාන්‍ය තත්ත්වයේ පවතින කෙස් කළඹක්ද යන්න අනුවයි හිසකෙස් පිරිසුදු කිරීමට අවශ්‍ය නිෂ්පාදන ඔබ තෝරාගත යුත්තේ.

ගැළපෙන නිෂ්පාදනයක් තෝරා ගත් පසු එය නිවැරදි ලෙස ගල්වන්නේ කෙසේදැයි බලමු. පළමුව කොණ්ඩය හොඳින් අවුල් හැර පීරා ගන්න.

කෙස් කළඹ සාමාන්‍ය ඇල් ජලයෙන් තෙත් කරගන්න. ෂැම්පු ටිකක් අත්ල මතට ගෙන ජලය ඉතාමත්ම ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ගන්න. මේ ආකාරයට සිදු කිරීමෙන් ෂැම්පු එක කෙස් අතර සහ හිස්කබලේ හොඳින් පැතිරෙන ලෙස ගැල්වීම පහසුවේවි.

පසුව නළල ප්‍රදේශයෙන් පටන්ගෙන ඉතා සියුම් ලෙස ඇඟිලි තුඩු මඟින් රවුම් ආකාරයට මෘදු සම්බාහනයක් සිදු කරන්න. මෙය එෆ්ලරාජ් සම්බාහන ක්‍රමය (Effleurage message technique) ලෙස හඳුන්වයි. ඇඟිල් තුඩු මඟින් සම්බාහනයේ දී සාමාන්‍යයෙන් අඟලක පමණ කුඩා රවුම් ආකාරයට සම්බාහනය සිදුකිරීමට සැලකිලිමත් වන්න.

පළමුව නළල වටා ඉතා සියුම් ලෙස ඇඟිලි තුඩු මඟින් සම්බාහනය කර මෙම වක්‍රාකාරව සම්බාහනය නළල වටා සිට බෙල්ල පිටුපස ඇති කෙස් දක්වා මෘදු ලෙස ගෙන යන්න. මේ ආකාරයට වාර තුනක් පමණ කරන්න. පසුව හිස පිටුපස කොටස විනාඩියක් පමණ ඇඟිලි තුඩුවලින් මෘදු සම්බාහනයක් සිදු කරන්න. නැවතත් නළල වටා කෙස් කොටසේ සිට බෙල්ල පිටුපස ඇති කෙස් දක්වා මෘදු සම්බාහනයක් ආකාරයට වාර තුනක් පමණ සිදු කරන්න. මෙසේ හොඳින් හිසකෙස් සහ හිස්කබල ෂැම්පු කළ පසු වඩාත්ම වැදගත් දේ වන්නේ භාවිත කළ නිෂ්පාදනය හොඳින් සෝදා පිරිසුදු කර ගැනීමයි.

කොණ්ඩය සෝදා පිරිසුදු කිරීමේදී ඔබගේ අත් සහ ඇඟිලි නිවැරදි ලෙස හසුරුවමින් විශේෂයෙන් දිගු කොණ්ඩයක් නම් කොණ්ඩය ගැට ගැසෙන්නේ නැති ආකාරයට පිරිසුදු කිරීමට සැලකිලිමත් විය යුතුයි. ජලය ප්‍රමාණවත් පරිදි යොදමින් ප්‍රමාණවත් කාලයක් ගෙන භාවිත කළ නිෂ්පාදනය සම්පූර්ණයෙන් ඉවත්වන ආකාරයට පිරිසුදු කිරීමෙන් අප නිෂ්පාදනයෙන් බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වේ. එනම් හිස්කබල ඉතා හොඳින් පිරිසිදු කර ගැනීමට හැකි වේ. භාවිත කළ නිෂ්පාදනය හොඳින් ඉවත් නොවී හිස්කබලේ සහ හිස කෙස්වල ඉතිරි වුවහොත් ඇතිවන අහිතකරම දේ වන්නේ හිස්කබලේ සහ කෙස්වල ඇතිවන වියළි තත්ත්වයයි.

ෂැම්පුවල ඇති රසායනික ද්‍රව්‍ය කෙස් මත සහ හිස්කබලේ ඉතිරිවීමෙන් හිස්කබල අධික වියළීම සහ ඇතැම් විට හිස්හොරි තත්ත්ව ඇතිවීමට පවා හේතුවක් වේ. කෙස් මත ෂැම්පුවල ඇති රසායනික ද්‍රව්‍ය ඉතිරි වීම මඟින් කෙස් දුර්වර්ණ වීම අධික ලෙස වියළීම කෙස් පැලීම වැනි අහිතකර ප්‍රතිවිපාකදවලටද මුහුණ දෙන්නට සිදුවේ.

 

පනා වර්ග ආදිය පොදුවේ භාවිතය

පනා වර්ග පොදුවේ භාවිතය සහ හිසකෙස් පිරිසුදු කරනවාත් සමඟම පනාව හොඳින් පිරිසුදු කිරීමට උනන්දු නොවීම අපි එතරම් නොසිතන පැත්තකි.

හිස්හොරි සඳහා මොනතරම් ප්‍රතිකාර කළත් හිසකෙස් පිරීම සඳහා භාවිත කරන පනාව, භාවිත කරන තුවා සහ භාවිත කරන කොට්ට, ඇඳ ඇතිරිලි මේවා ඉතා හොඳින් සෝදා පිරිසුදු කර භාවිත නොකරන්නේ නම් අදාළ ප්‍රතිඵල නොලැබී යාවි.

හිස්හොරි ඇති කරන්නේ බැක්ටීරියාවක් මඟිනි. මේවා කෙනකුගෙන් තවත් කෙනකුට බෝවීමේ අවදානම ඉතාම වැඩියි. විශේෂයෙන්ම හිස්හොරි ආසාදිත කෙනෙක් භාවිත කළ පනාවක් තවත් කෙනෙක් භාවිත කළහොත් හිස්හොරි ඇතිවීමට අවදානමක් තිබේ.

හිස්හොරි සඳහා කළ හැකි සරල ප්‍රතිකාර

මෙම තත්ත්වය හොඳින් හඳුනාගෙන රූපලාවණ්‍යාගාරයකදී කළ හැකි ප්‍රතිකාර ක්‍රම බොහෝය. එසේම නිවෙසේදී ද සරලව හිස්හොරි පාලනය කළ හැකි ප්‍රතිකාර බොහොමයක් තිබේ.

මේ නි‍ෙවසේදී කළ හැකි සරල ප්‍රතිකාරයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* උළු හාල් මේස හැඳි 3ක්

* දෙහි ගෙඩියක්

වතුර අඬු කෝප්පයක්

පැක් එක ආලේප කළ හැකි බ්‍රෂ් එකක්

භාවිත කරන අන්දම

උළු හාල් මේස හැඳි තුන වතුර අඬු කෝප්පයකට දමා රැයක් පෙඟෙන්න තබන්න.

පසුදින මෙය අඹරා බඳුනකට දමා එයට දෙහි ගෙඩියක් කුඩාවට කපා දමා වතුර අඬු කෝප්ප 3ද දමා මඳ ගින්නේ විනාඩි විස්සක් පමණ තම්බාගන්න. එය හොඳින් පොඩි කරගන්න.

නිවුණු පසු හිසකෙස් කොටස් කර හිස්කබලට සහ කෙස්වලට වදින ලෙස බ්‍රෂ් එක ආධාරයෙන් පැක් එක ආලේප කරන්න.

විනාඩි 30ක් පමණ තබා සාමාන්‍ය ඇල් ජලයෙන් සෝදා හරින්න.

ඉහත ප්‍රතිකාරය සතියකට දෙවතාවක් පමණ සිදුකිරීමෙන් නීරෝගි කෙස් කළඹක් හිස්හොරිවලින් තොර කෙස් කළඹක් හිමිකර ගැනීමට හැකි වේවි.

 

 

[email protected]