වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කොණ්ඩේ Handy කරන Conditioner

දිදුලන කොණ්ඩයක රහස පිළිබඳ ඔබ දැනුම්වත්ද? ඒ සඳහා වන නිෂ්පාදන නිසි ලෙස භාවිත කරන්නේ නම් ඔබටත් නිසැකවම දිදුලන කොණ්ඩයක හිමිකාරත්වය ලැබෙනු ඇත.
ෂැම්පු භාවිතයේ ඇති වැදගත්කම පිළිබඳ අපි පෙර සතිවලදී දැනුම්වත් වුණා. මෙවර අපේ කතාබහ කන්ඩිෂනර් භාවිතය පිළිබඳවයි.
හිසකෙස්වල නීරෝගි බව හා දීප්තිමත් බව රැක ගනිමින් හිස්කබල සහ හිසකෙස් පිරිසුදු කිරීමට වඩාත් සුදුසු වන්නේ ෂැම්පු බව අපි දැනුම්වත් වුණා. ඒත් එය පවත්වාගෙන යෑමට කන්ඩිෂනර්වල ඇති වැදගත්කම ගැනත් දැන් විමසා බලමු.
හිසකෙස්වල මතුපිටින් ටියුටිකල් ස්ථරයක් පවතින අතර ඊට පසුව ඇති ස්ථරය කෝටෙක්ස් ලෙස හැඳින්වේ. එය කෙස් ගසේ ඇති ශක්තිමත්ම කොටසයි. ඉන්පසුව කෙස් ගසේ මැද පිහිටා ඇති කොටස මොඩියුලාව ලෙස හැඳින්වේ.
කෙස් ගසේ පිටතින්ම ඇති කියුටිකල් ස්ථරය ෂැම්පු කිරීමේදී හොඳින් විවෘත වන අතර කෙස්වල රැඳී ඇති කුණු දූවිලි ඉවත් වෙයි. මේ ආකාරයට විවෘත වුණු කියුටිකල් යථා තත්ත්වයට පත් නොකළහොත් වාතයට කුණු දූවිලිවලට නිරාවරණය වී කෙස් හොඳ තත්ත්වයේ පවත්වා ගැනීම අපහසු වේ. කෙස් වියළි තත්ත්වයට පත්වීම, දුර්වර්ණ වීම, කෙස් රළු වීම, කෙස් අග පැළීම ආදී කෙස්වලට හානි කර තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ.
කන්ඩිෂනර් භාවිතයෙන් කොණ්ඩයට ලැබෙන ප්‍රයෝජන
විවෘත වුණු කියුටිකල් සාමාන්‍ය තත්ත්වයට යළි පත්වීම
ෂැම්පු කිරීමෙන් පසු විවෘත වී ඇති කියුටිකල් එලෙසම පැවතීමෙන් කොණ්ඩයේ සුමට ස්වභාවය නැති වී ගොස් කොණ්ඩයේ රළු ස්වභාවයක් ඇතිවේ. එවිට කොණ්ඩය හැසිරවීම අපහසු වේ. කන්ඩිෂනර් භාවිතයෙන් විවෘත වුණු කියුටිකල් සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් කෙස් වලට සුමට බවක් ලැබෙන අතර කොණ්ඩයේ රළු ස්වභාවය නැති වී ගොස් පීරා ගැනීමද පහසු කරවයි. කොණ්ඩය පීරන විට අනවශ්‍ය ලෙස කෙස් ගැලවී යෑම වළක්වාලීම තවත් වාසියකි.
කුණු දූවිලි රෝග ආදීයෙන් හිස කෙස් ආරක්ෂා කිරීම
සාමාන්‍ය තත්ත්වයට කියුටිකල් පත්වීම මඟින් කෙස් ගස තුළට පහසුවෙන් ගමන් කළ හැකි කුණු දූවිලි ආදිය වළක්වාලන්න කන්ඩිෂනර් වලට පුළුවනි. එසේම බාහිරව කෙස් ගස තුළට ගමන් කළ හැකි බැක්ටීරියා, දිලීර රෝග ආදියෙන් හිස කෙස් ආරක්ෂා කර ගැනීමේ පවුරක් ලෙස මෙයට ක්‍රියා කිරීමට හැකියාව තිබේ.
කෙස් ගසේ තෙතමනය ආරක්ෂා කිරීම
පිරිසුදු කිරීමේදී කෙස් ගසින් ඉවත් වී ගිය කෙස්ගසේ ඇති ස්වභාවික තෙතමනය නැවත ලබාදීමට කන්ඩිෂනර් සමත් වේ. එමඟින් කෙස් ගසට නැවතත් ස්වාභාවික දිලිසීමක් සමඟ කෙස් ගසේ නීරෝගි බව පවත්වාගෙන යෑමට හේතුවක් වේ.
කොණ්ඩයේ ස්වභාවය අනුව කන්ඩිෂනර් වර්ගය තෝරාගන්නේ කෙසේද?
කොණ්ඩයේ ස්වභාවය අනුව ෂැම්පු වර්ග තෝරා ගන්නවා සේම ඉතා සැලකිල්ලෙන් කොණ්ඩයේ ස්වභාවය අනුවම කන්ඩිෂනර් වර්ගයද තෝරාගත යුතු වේ. එනම්
* වියළි කෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* තෙල් සහිත හිසකෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* සාමාන්‍ය කෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* හිස්හොරි සහිත හිස්කබලක් සහ හිසකෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* පලුදු වූ කෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* වර්ණ ගැන්වූ කෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* රැලිගැන්වූ කෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* ස්ථිරවම සෘජුකළ කෙස් සඳහා සුදුසු කන්ඩිෂනර්
* කෙස් මතුපිට පමණක් ක්‍රියාකාරී කන්ඩිෂනර්
* ප්‍රතිකාර සඳහා භාවිත කරන කන්ඩිෂනර්
* සත්කාර ලෙස භාවිත කරන කන්ඩිෂනර්
* තාපයෙන් උණුසුමින් කෙස් ආරක්ෂා කිරීමට යොදා ගන්නා කන්ඩිෂනර්
* රසායන ද්‍රව්‍ය භාවිතයට පෙර කොණ්ඩය ආරක්ෂා කිරීමට යොදන කන්ඩිෂනර්
* රසායන ද්‍රව්‍ය භාවිතයෙන් පසු රූපලාවණ්‍යාගාරවලදී භාවිත කරන කන්ඩිෂනර්
තමාගේ හිස්කබල සහ කෙස්වල ස්වභාවය පිළිබඳ මනා අවබෝධයක් ඇතිව වෙළෙඳපොළෙන් තමා මිලදී ගත යුත්තේ කුමන වර්ගයේ කන්ඩිෂනර් එකක්ද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතු බව දැන් ඔබට වැටහේවි.
ගබඩාකරණය
මිලදී ගැනීම සාර්ථකව නිවැරදිව කරන්නා සේම එය ගබඩාකරණය පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත් වේ. මොනතරම් ඉහළ තත්ත්වයේ නිෂ්පාදනයක් වුවද නිසි ලෙස ගබඩා නොකළහොත් එහි ඇති ගුණාත්මක බව බාල වී නිෂ්පාදනයේ ඇති සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේ.
බොහෝ විට ගබඩාකරණය පිළිබඳව අදාළ නිෂ්පාදන ඇසුරුමේම උපදෙස් දී තිබෙන බැවින් එය හොඳින් කියවා ඒ අනුව ගබඩා කිරීම සිදුකළ යුතුවේ. විශේෂයෙන්ම තද හිරු කිරණ වැටෙන ස්ථානවල නිෂ්පාදන තැබීම සුදුසු නොවේ. හිරු කිරණත් සමඟ නිෂ්පාදනය තුළ ඇති ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීමෙන් එම ද්‍රව්‍යවල ඇති ගුණාත්මක බවට හානි සිදුවේ. මේ නිසා භාවිතයට පෙර හා භාවිතයෙන් පසු අදාළ නිෂ්පාදනය තද හිරු කිරණ නොවැටෙන ස්ථානයක තැබීමට සැලකිලිමත් වන්න. එමෙන්ම භාවිතයෙන් පසු වුවද එම ඇසුරුමේ විවෘත කරන ලද පියන හොඳින් වාතාශ්‍රය නොයන ආකාරයට වැසීමටද පිරිසුදුව තැබීමටද සැලකිලිමත් වන්න.
කල් ඉකුත් වීම
නිෂ්පාදනය මිලදී ගැනීමේදී විමසිලිමත් විය යුතු අනෙක් වැදගත්ම කරුණ වන්නේ කල් ඉකුත් වීමේ දිනයයි. කේශලාවණ්‍යාගාරයකදී නම් භාණ්ඩ තොග ලෙස මිලදී ගැනීමේ දී මුලින්ම කල් ඉකුත් වන නිෂ්පාදන පහසුවෙන් ගත හැකි ලෙස ඉදිරියෙනුත් බොහෝ ඉදිරියට කල්ඉකුත්වන නිෂ්පාදන ඇත්නම් ඒවා පිටුපසට වන්නටත් ගබඩා කිරීමට සැලකිලිමත් විය යුතුවේ.
කල්ඉකුත් වීමේ දින පිළිබඳව ඔබ සැලකිලිමත් වුවද භාවිත කරන ආකාරය අනුව නිෂ්පාදනය ඇතැම් විට අදාළ කල්ඉකුත් වීමේ දිනයට පෙරද කල්ඉකුත් විය හැකියි. එනම් භාවිත කළ පසු හොඳින් පියන වාතාශ්‍රය නොයන ආකාරයට වසා නොතැබුවේ නම් පිටතින් ජලය, කුණු දූවිලි නිෂ්පාදනය තුළට මිශ්‍රවී ඇත්නම් වැනි දේ බලපෑ හැකියි. මේ නිසා භාවිතයට පෙර කල් ඉකුත් වීමේ දිනය පමණක්ම නොව නිෂ්පාදනයේ පැහැය වෙනස් වී ඇත්ද, සුවඳ වෙනස් වී ඇත්ද, ඝනත්වය වෙනස් වී ඇත්ද යන්න පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත් වේ.
නීරෝගි කෙස් කළඹකට කන්ඩිෂනර් තෝරා ගන්නා ආකාරය පිළිබඳ අපි අද යම් අවබෝධයක් ලබාගත් අතර හිස කෙස් සඳහා තවත් සත්කාර ක්‍රමයක් පිළිබඳ ලබන සතියේ දැනුම්වත්වෙමු.
උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
නදීකා පෙරේරා