කෙහෙ රැල්ලට හසරැල් දෙන තෙල් සත්කාර

මැයි 5, 2025

 

 කෙස් ගැන ගැටලු ගොඩයි. කොණ්ඩය අධික ලෙස ගැලවී යෑම, හිසකෙස් දුර්වර්ණ වීම, කෙස් අග පැළීම, හිස කෙස් කැඩී යෑම, හිසකෙස් රළු වීම, හිස් හොරි තත්ත්වයන් ඇතිවීම, හිසකෙස් වර්ධනය බාල වීම, අකලට හිසකෙස් පැසීම බොහෝ දෙනා පීඩා විඳින ගැටලුවේ.

 

නිවැරදිව කරනු ලබන තෙල් සත්කාරයක් මඟින් මෙම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇත. නීරෝගි දිදුලන ශක්තිමත් කෙස් කලඹක් කාගේත් සිහිනයකි. ඉතින් ඒ සිහිනය ළඟා කරගන්නට ඇත්තේ හිසකෙස් වෙනුවෙන් ඉතාම සරල දේවල් ටිකක් කර ගැනීමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* තෙල් දැමීම සඳහා කුඩා බඳුනක්

* තෙල් ආලේප කිරීමට බ්‍රෂ් එකක් හෝ පුළුන් කැබැල්ලක්

* ඈත දැති සහිත පනාවක්

* පොල්තෙල්

* විටමින් E කරලක්

* සෙක්ෂන් ක්ලිප් කිහිපයක්

* ස්කැල්ප ස්ටීමර් එකක් හෝ උණුසුම් තුවා

කර වටා දැමීමට තුවායක්

* ඒප්‍රන් එකක්

* කේප්ලර් එකක්

තෙල් සත්කාරය කිරීමට සූදානම් වීම

* පළමුව ඔබ ඔබගේ දෑත්වල ආභරණ දමා ඇත්නම් ඒවා ඉවත් කළ යුතුයි. උදාහරණයක් ලෙස ඔබගේ දෑත්වල මුදු, වළලු, බ්‍රේස්ලට් ආදිය පැලඳ ඇත්නම් හිස සත්කාර කිරීමේදී සේවාදායකයාගේ කෙස්වල ඒවා පැටලීමෙන් ප්‍රතිකාරය අපහසුතාවකින් තොරව සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත.

* ඒප්‍රන් එකක් පැලඳීම මඟින් ඔබ කරන කාර්යයට වෘත්තීමතීය ප්‍රතිරූපයක් ලැබෙන අතර වැදගත්ම දේ වන්නේ ඔබ භාවිත කරන ද්‍රව්‍ය ඔබගේ ඇඳුම්වල නොවැදීම නිසා ප්‍රසන්නව, පිරිසුදුව පිළිවෙළට සෑම කාර්යයක්ම කළහැකි වීමයි.

* ඔබ කරන කාර්යය පහසු වන ආකාරයේ සහ කාර්යය සිදු කිරීමේදී එය කාර්යක්ෂමව සිදුකිරීමට පහසු ඇඳුම් විලාසිතාවක් තෝරා ගැනීම ද වැදගත් කාරණාවකි. නැතිනම් භාවිත කරන තෙල් ඔබගේ ඇඳුම්වල වැදීමෙන් ඇඳු‍ෙම් බාහිර පෙනුමට, පිරිසුදුකමට, පිළිවෙළට බාධාවක් විය හැකියි.

සේවාදායකයාව තෙල් සත්කාරයට සූදානම් කිරීම

* සේවාදායකයා ආභරණ දමා ඇත්නම් ආරක්ෂිතව ඒවා ඉවත් කර තැබීමට ඔබ උපදෙස් දිය යුතුයි. ආභරණ පැලඳ ප්‍රතිකාර කිරීමේදී ආභරණ කෙස්වල පැටලීමෙන් ඔබ නොසිතන අනතුරුවලට පත්වීමට ඉඩ ඇත. තවත් සැලකිල්ලට ගතයුතු වැදගත් කාරණයක් වන්නේ සත්කාරයට භාවිත කරන නිෂ්පාදන ආභරණවල ඇති ලෝහ සමඟ ප්‍රතික්‍රියකර නිෂ්පාදනවල ගුණාත්මක බවට හානි කිරීමයි. ඇතැම් අවස්ථාවලදී සංවේදී පුද්ගලයන්ට භාවිත කරන ද්‍රව්‍ය ලෝහ සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් අසාත්මිකතා ද ඇතිවීමට පුළුවනි. වෘත්තිමය කේශලාවණ්‍ය ශිල්පියෙක් ලෙස වගකීම්සහගතව ඔබ ප්‍රතිකාර කරන්නේ නම් ප්‍රතිකාර කිරීමේදී සේවාදායකයාගේ ආභරණ ආරක්ෂිතව ප්‍රතිකාරයට පෙර ඉවත් කර තැබීම ඕනෑම හිසකෙස් ප්‍රතිකාරයකට පෙර සිදු කළ යුතු බව සිහි තබාගත යුතුවේ.

* සේවාදායකයා ඇඳ සිටින ඇඳුම පිළිබඳවත් සිතන්න. පළමුවෙන්ම ඔබ කළ යුත්තේ සේවාදායකයාගේ කර වටා තුවායක් දමා ගැනීමයි. හිස්කබලට සහ හිසකෙස්වලට භාවිත කරන තෙල්, සේවාදායකයාගේ ඇඳුම්වලට නොවදින ආකාරයට ආරක්ෂා කර ගැනීමට ආරක්ෂිත අයුරින් තුවා පැලඳීම වැදගත්වේ. තෙල් සත්කාරය සිදු කිරීමෙන් පසු හිසකෙස් සේදීමේදී සේවාදායකයාගේ ඇඳුම් නොතෙමෙන ආකාරයට ආරක්ෂා කරගැනීමට කර වටා තුවායක් යෙදීම ද වැදගත් වෙයි. එසේම තුවාය මත කේප් එක දැමීමෙන් වතුර කාන්දු නොවී, සේවාදායකයාට සිදු කිරීමට බලාපොරොත්තු වෙන කාර්යය නිසි ආකාරයෙන් පිළිවෙළට පිරිසුදුව සිදුකළ හැකිවේ.

සත්කාරයට පෙර සේවාදායකයාගේ කොණ්ඩය සූදානම් කරගැනීම ද වැදගත් වේ. ඈත දැති සහිත පනාවක් භාවිත කර කොණ්ඩයේ අග සිට මුලට පීරා අවුල් හැරගන්න. හිසකෙස් පීරා ගැනීමේදී කොටස් කර ඉතා පරිස්සමින් ක්‍රමානුකූලව හිසකෙස් කැඩෙන්නේ නැති අන්දමින් පීරා ගැනීමට ද සැලකිලිමත් විය යුතුවේ.

 

තෙල් ගල්වන ආකාරය

පළමුව ඉදිරිපස කොණ්ඩය තරමක් දුරට හරි මැදින් බෙදා ගන්න. පසුව ඉදිරිපස කොණ්ඩය සෙක්ෂන් ක්ලිප්වලින් කොටස් කර ක්‍රමානුකූලව හිස්කබලට සහ කෙස්වලට තෙල් තෙල් ආලේප කිරීම අරඹන්න. තෙල් සූදානම් කිරීමේදී හිසකෙස්වල දිගු බව අනුව තෙල් ප්‍රමාණය තීරණය කිරීමට සිදුවේ. තරමක් දිගැති කොණ්ඩයක් නම් තෙල් මේස හැඳි දෙකක් බඳුනකට දමා විටමින් E මිලිග්‍රෑම් 400ක කරලක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. පසුව එය බ්‍රෂ් එකක් ආධාරයෙන් හෝ පුළුන් කැබැල්ලකට පොඟවා ක්‍රමානුකූලව ආලේප කරන්න.

දැන් ඇඟිලි තුඩු මඟින් මෘදු සම්බාහනයක් ආරම්භ කරන්න.

සේවාදායකයාගේ අවශ්‍යතාව මත සම්බාහනයේදී ඇඟිලි තුඩු මඟින් යොදන පීඩනය ක්‍රමානුකූලව වැඩි කළ හැකියි. ඇඟිලි තුඩු මඟින් යොදන පීඩනය සම්මතයක් නොවන අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ වේ.

සම්බාහනයේදී ඇඟිලි තුඩු මඟින් යෙදිය යුතු පීඩනය ප්‍රමාණවත් ද නැද්ද යන්න විමසා වෙනස් කළ හැකියි. ඒ අතර කණ්ණාඩියෙන් සේවාදායකයාගේ මුහුණේ ඉරියව් පිළිබඳ විමසිල්ලෙන් සිටිමින් සම්බාහනය කළ යුතුයි.

මෙසේ විනාඩි විස්සක් පමණ සම්බාහනය කළ පසු උණුසුම් තුවායක් ආධාරයෙන් කෙස් ආවරණය කළ හැකියි. මෙමඟින් රෝම කූප සහ කියුටිකල් හොඳින් විවෘත වී, ආලේප කරන ලද තෙල්, කෙස්වලට හොඳින් උරා ගැනීමට අවස්ථාව සැලසේ. උණුසුම් තුවා වෙනුවට රූපලාවණ්‍යාගාරයේදී ස්කැල්ප් ස්ටීමරය භාවිත කළ හැකියි. මෙම උපකරණයේ ඇති පහසුව වනුයේ උණුසුම පාලනය කළ හැකි වීම සහ උණුසුම අඛණ්ඩව ලබාදීමට හැකිවීමයි. උණුසුම් තුවා භාවිත කරන්නේ නම් වරින්වර උණුසුම් තුවා ඉවත් කර නැවත වෙනත් උණුසුම් තුවායක් මාරුවෙන් මාරුවට එතීමට සැලකිලිමත් වන්න. තුවායේ උණුසුම අඩු වනවිට වරින්වර විමසිල්ලෙන් සිට එය මාරු කළ යුතුයි.

 

හිසකෙස් සේදීම

කොණ්ඩය ස්ටීම් කළ විගසම ඒ මොහොතේම හිසකෙස් සේදීම සුදුසු වන්නේ නැහැ. විනාඩි පහක් පමණ කොණ්ඩය ලිහිල් කර සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ඉඩ සලසා පසුව සේදීම කළ යුතුයි. පසුගිය ලිපිවලින් දැනුම්වත් කළ ආකාරයට ෂැම්පු සහ කන්ඩිෂනර් යෙදීම කළ හැකියි. මෙසේ තෙල් සත්කාරයක් සතියකට දෙවතාවක් පමණ සිදු කිරීමෙන් නීරෝගි කෙස්කලඹක් හිමිකර දීමට හැකිවේ.

 

තෙල් ගල්වා කොපමණ කාලයක් තැබිය යුතු ද?

තෙල් ගල්වා උපරිම පැය දෙකක කාලයක් තැබීම වඩාත් සුදුසුයි. පමණට වඩා වැඩි වේලා තැබීම මඟින් හිස්කබලට සහ හිසකෙස්වලට කුණු, දූවිලි ඇලීමෙන් හිස්කබලට සහ කෙස්වලට හානි වීමට පුළුවනි. හිස කෙස්වල එක් එක් ගැටලුකාරී තත්ත්ව අනුව විවිධ වූ ඖෂධීය තෙල් වර්ග ඒ ඒ ගැටලුකාරී තත්ත්වය අනුව වෙනස් කරමින් භාවිත කරන ආකාරය ඉදිරි ලිපිවලින් දැනුම්වත් වෙමු.

උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
නදීකා පෙරේරා

 


 

[email protected]