වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කෙස් එක්ක බිස්නස් මෙහෙම පටන් ගනිමු

රූපලාවණ්‍යය ක්ෂේත්‍රයට වෘත්තීයමය වශයෙන් පා තබන ඔබ දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා තරුණී වෙතින් ඔබට නොමිලේ පිරිනමන කේශාලංකරණ NVQ 4 පාඨමාලාවේ තවත් අදියරකි මේ.
රූපාලංකාරය පිළිබඳ කතා බහ කිරීමේදී කේශලාවණ්‍ය එහි ප්‍රධානතම අංගයක් බවට පත්වේ. එහිදී පළමුව වැදගත් වන්නේ ඔබගේ ආකල්ප සහ ගුණාංගයි. අද අපි ඒ පිළිබඳ කතා කරමු.
කේශලාවණ්‍ය ශිල්පියකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප
ඔබ මේ ප්‍රගුණ කරන්නේ වෘත්තීමය පාඨමාලාවක් බැවින් හැකියාවන්ගෙන් කොතරම් දක්ෂයකු වුවත් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග සහ ආකල්ප පිළිබඳ අවධානය යොමු කළ යුතුමය.
පිළිවෙළ සහ ප්‍රබෝධය
ඔබ තෝරාගත් වෘත්තීය තුළ පිළිවෙළට වැඩ කිරීම තුළින් සේවාදායකයාට පහසුවක් සැලසෙන අතරම, එයින් ඔබගේ කාර්යය යහපත් මානසිකත්වයෙන් යුතුව නිම කිරීමටද හැකියාව ලැබේ.
සම්පූර්ණ ධෛර්යය හා ශක්තියෙන් යුතුව ප්‍රබෝධමත්ව වැඩ කිරීම තුළින් වෘත්තීය තුළ තෘප්තිමත් සාර්ථක ගමනක් යෑමට ඉඩ සැලසේ.
පෞරුෂත්වය
මනා පෞරුෂත්වයෙන් යුතු පුද්ගලයෙක් ඔබ ඔබ තුළම ගොඩනඟාගෙන කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. මෙහිදී යහපත් ශාරීරික පැවැත්මක් මෙන්ම මානසික පැවැත්මක්ද පැවතිය යුතුයි.
පිරිසුදු බව
ඔබගේ පිරිසුදු බව සේවාදායකයාගේ බලාපොරොත්තුවයි.එමඟින් සේවාදායකයාට ඔබ පිළිබඳ ඉතා ප්‍රසන්න හැඟීමක් ඇති කරගැනීමට හැකි වනු ඇත.
වෘත්තියට අදාළ දැනුමෙන් සන්නද්ධ වීම
සේවාදායකයා ඔබේ සේවාව කෙරෙහි මනා සේ සෑහීමට පත්වෙයි. ඔබ කෙරෙහි සහ ව්‍යාපාරය පූර්ණ විශ්වාසය තබයි.
මුඛ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම
මුඛ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම යනු අනෙක් අයට ප්‍රසන්න කෙනෙක් වනවා සේම ඔබේ නීරෝගිකම ආරක්ෂා කර ගැනීමටත් උපකාර වේවි. සේවාදායකයා සමඟ තරමක් සමීපව කටයුතු කරන්නට සිදු වේ. එවිට මුඛයෙන් දුර්ගන්ධයක් වෑහීම කෙසේවත්ම සිදු නොවිය යුතුයි.
දත් කුහර සෑදීම, දත්වල වේදනාව මුඛ සෞඛ්‍ය පිරිහෙන කාරණායි. නිවැරදිව දන්තාලේප යොදා දත් මැදීම, දත් බුරුසුව අදාළ කාලයේදී මාරු කිරීම, මවුත් වෝෂ් එකක් පාවිච්චි කිරීම සුදුසු වේ.
හිසකෙස් පිළිබඳ සැලකිලිමත් වීම
කේශාලංකරණ ශිල්පියකුගේ හෝ ශිල්පිනියකගේ හැකියාව මනින මිනුම් දඬු අතර ප්‍රධාන මිනුම් දණ්ඩක් වන්නේ ඔහු හෝ ඈ සතු කෙස් කලඹයි. ඔබ ඔබගේ කෙස් කලඹ නීරෝගීව, පිරිසුදුව, මනා නඩත්තුවකින් යුතුව මුහුණට ගැළපෙන ලෙස සකස් කර තිබීම වැදගත් වෙයි.
නියපොතු, අත් හා පාද පිළිබඳ සැලකිලිමත් වීම
සේවාදායකයාට ඔබේ නියපොතු අත් හා පාද පිළිබඳ නෙත ගැටෙන විටකදී ඒවා ප්‍රසන්නව තිබීම වෙනුවට අප්‍රසන්නව තිබීමෙන් ගනුදෙනුකරුවකු නැවතත් ඔබ වෙත පැමිණීම පිළිබඳ දෙවරක් සිතනු ඇත.
කේශලාවණ්‍ය ශිල්පියකු ලෙස ප්‍රගුණ කළ යුතු මෙම ආකල්පයන් ඔබව ආකර්ෂණීය පුද්ගලයකු කරනු ඇත.
උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
(NVQ Level - 4 )
නදීකා පෙරේරා