වීසිකරන දෙහි ලෙල්ලෙන් කකුල් ලස්සන කර ගනිමුද ?

නිවෙසේ සිට කරගත හැකි රූපලාවණ්‍ය සත්කාර
සැප්තැම්බර් 15, 2021

 

හැමෝම කැමැතියි ලස්සන ඉන්න. ඒ අතරින් කාන්තාවන් තමයි ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ. නමුත් පවතින කෝවිඩ් වසංගතයත් එක්ක හැමෝම ගත කරන්නේ අපහසු කාලයක්.

ඒ නිසාම රූපය ගැන උනන්දුවන්නට තරම් කාලයක් නොතිබෙන්නට පුළුවන්. කොවිඩ් තත්ත්වය නිසා තවමත් රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට ද අනුමැතියක් ලැබී නොමැති මෙවැනි කාලයක තම රූ සපුවේ පැවැත්මට අවශ්‍ය රූපලාවණ්‍ය සත්කාර කර ගැනීමට ද හැකියාවක් නොලැබෙන නිසා ඔබ සිටින්නේ තරමක් අපහසුවෙන් විය හැකියි. ඒ නිසා ඔබේ රූපලාවණ්‍ය කටයුතු නිවෙසේදීම කළ හැකි නම් පහසුවක් වේවී.

අද අප කතා බහ කරන්නේ එවැනි සරල රූපලාවණ්‍ය සත්කාර කිහිපයක් ගැනයි.

 

කෝමාරිකා

කෝමාරිකා කියන්නේ ඕනම පළාතක වැවෙන පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්. කෝමාරිකා පිත්ත ඇතුලේ තියෙන කෝමාරිකා මදය සූරලා අරගෙන ඔබට පුළුවන් මුහුණෙ, අත් කකුල්වල ආලේප කරන්න. සිසිල් ගුණයෙන් අනූන මේ කෝමාරිකා ජෙල් එක ස්වභාවික තෙතමනකාරකයක් විදිහට ක්‍රියා කර සමේ තෙතමනය රැක ගන්න උදව් කරනවා. ඒ වගේම පැළුණු යටිපතුල් යථා තත්ත්වයට පත් කරන්න කෝමාරිකාවලට පුළුවන්.

 

දෙහි

 

බීම හදන්න, සම්බෝලෙට ගෙනාපු දෙහි පාවිච්චි කලාට පස්සේ විසි කරන්න නේද ඔබත් පුරුදු වෙලා ඉන්නේ. ඔබට පුළුවන් ඉවත දමන දෙහි ලෙලි අරගෙන දිනපතා ඔබගේ අත් සහ කකුල්වල නියපොතු දෙහි ලෙලිවලින් මදින්න. සති දෙක තුනක් යන විට වෙනස ඔබටම දකින්න ලැබෙයි. එමගින් ශක්තිමත් සහ දීප්තිමත් නියපොතු ලබා ගන්න පුළුවන්.

 

කහ සහ කොහොඹ

කහ සහ කොහොඹ කියන්නේ පිරිසිදුකාරක ගුණය වගේම විසබීජ මර්ධන හැකියාව ඉහළින්ම තිබෙන ස්වභාවික අමුද්‍රව්‍ය දෙකක්. මුහුණේ කුරුලෑ ලප කැළැල්වලින් ඔබත් පීඩා විදිනවානම් කහ සහ කොහොඹ සත්කාරය ඔබට වඩාත් සුදුසුයි.

අමු කහ කෑල්ලක් හොඳින් සෝදා පිරිසුදු කරගෙන සිහින් වෙන්න අඹරා ගන්න. කොහොඹ කොළ ටිකත් සෝදා සිහින් වෙන්න කොටා ගන්න. නැත්තම් අඹරා ගන්න වුවත් පුළුවන්.

දැන් මේ අඹරා ගත් කහ සහ කොහොඹ මිශ්‍රණය පිරිසුදු රෙදි කෑල්ලකට දමා පොට්ටනියක් හදා ගන්න.

මේ පොට්ටනිය හුමාලයෙන් තම්බාගෙන මද රස්නෙන් මුහුණ තවන්න. මෙතැනදී රස්සනය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ. මුහුණට දරා ගන්න පුළුවන් රස්නෙන් තවන්න. සති දෙකක් මේ සත්කාරය කර බලන්න.

 

අලිගැටපේර සහ මී පැණි

 

ඔබට ඇත්තේ වියළි සමක් නම් ඒ වගේම හිරු එළියට පිළිස්සි සම අඳුරු වෙලා නම් අලිගැටපේර සහ මී පැණි යොදාගෙන සම යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්.

හොඳින් ඉඳුනු අලිගැට පේර ගෙඩියක මදය සූරලා අර්ගෙන එයට මී පැණි බිංඳු කිහිපයක් කලවම් කර පැක් එකක් ආකාරයට මුළු මුහුණටම යොදන්න. විනාඩි 20ක් මේ විදිහට තියන් ඉඳලා පිරිසුදු වතුරින් සෝදා හරින්න.

සතියක් යන විට වඩාත් හොඳ ප්‍රතිඵල ලැබිය හැකියි.

 

ඔලිව් තෙල්

 

ඔලිව් තෙල්වලින් හිසකෙස් වැවෙන්න වගේම ලප කැළැල් මකාගන්න පුළුවන් කියන කාරණා හැමෝම වගේ දන්න දෙයක්නේ. එහෙත් ඔලිව් තෙල්වලින් ලස්සන රෝස පාට තොල් සඟලක් ලබා ගන්න පුළුවන් බව ඔබ දන්නවා ද?

දිනපතා රාත්‍රියට ඔලිව් තෙල් ගා තොල් දෙක සෙමින් ඇඟිලි තුඩුවලින් පිරිමදින්න.

සතියකට දින තුනක්වත් කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

 

උපදෙස් -

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර