කෙනෙක් ලස්සන කරන ඔබේ හිතත් ලස්සනයිද?

පෙබරවාරි 10, 2025

 

රූ සිරි මුව කමලකට, මනා කේශ කල්‍යාණයකට හිමිකම් කියන්නට කවුරු නම් අකමැති වෙයිද? 

රූපලාවණ්‍යය හා කේශාලංකරණ පාඨමාලාවක් හැදෑරීම ඔබව වෘත්තියෙන් නිපුණත්වයට පත් කරයි. ඒ පිළිබඳ වෘත්තීයක නියැළුණේ නැතත් කාන්තාවක් ලෙස ඔබ ගත කරන සාමාන්‍ය ජීවිතයට මේ දැනුම බෙහෙවින්ම වැදගත් වේවි. රූ සපුව රැකෙන පරිදි සෞඛ්‍ය සම්පන්න මනා පෞරුෂයකින් හෙබි පෙනුමක් ගෙන දෙන්නේ කෙසේද? වෘත්තීයක නියැළුණා හෝ නැතා ඔබ සමාජය සමඟ ගනුදෙනු කරද්දී පිරිසුදුවට, පිළිවෙළට, සිත් ඇදගන්නා අන්දමින් සිටිය යුතුයි. අවස්ථාවට ගැළපෙන පරිදි ඇඳුම් අඳින්න, මේක් අප් කරන්න, කොණ්ඩය සකසන්න ඔබට මනා හුරුවක් තිබීම වැදගත් වේවි.

ඔබ රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙස කටයුතු කරන්නේ නම් ඔබේ සේවාදායකයාට මනා සෞඛ්‍යයකින්, මනා පෞරුෂයකින් හෙබි ජීවිතයක් ගත කරන්නට අවැසි උපදෙස් නිර්ලෝභීවම දෙන්නට හැකි වනු ඇත. ඒ අනුව ඔබට වෘත්තීමය වශයෙන් සාර්ථකත්වය ළඟා කරගන්නට හැකි වේවි. එවැනි දැනුම්වත් බවක් දීමට නොහැකි අයකු මෙම ක්ෂේත්‍රයට පිවිසීම කිසිසේත්ම සුදුසු නොවනු ඇත.

සෞඛ්‍යවත් ජීවිතයක් ගත කරන කෙනකු පෞද්ගලික ස්වස්ථතාව කෙරෙහි බෙහෙවින්ම උනන්දු වනු ඇත. ඔබේ සේවාදායකයා ද ඒ පිළිබඳව උනන්දු කරවනු ඇත. දෑත් දෙපාවල පිරිසුදුකම, මුඛ සෞඛ්‍යයේ පිරිසුදුකම, සමේ නීරෝගි බව මේ ක්ෂේත්‍රයේ නියැළෙන ඔබට වඩාත්ම වැදගත් අංගයන් වේවි. මීට අමතරව සෞඛ්‍යවත් ආහාර වේල් ගැනීම, ව්‍යායාම, මනා නින්ද... ආදි දේ ගැන ද සැලකිලිමත් විය යුතු වේ.

මේ සිතට සතුට ගෙන දෙන මනා තෘප්තියක් ලැබිය හැකි වෘත්තියකි. ඔබ වෙත පැමිණෙන සේවාදායකයා වෙත රූපලාවණ්‍යය සත්කාර කළ යුත්තේ, ඇයව හැඩ වැඩ ගැන්විය යුත්තේ නිර්ලෝභී සිතකිනි. ඔබ යහපත් සිතිවිලිවලින් පොහොසත් විය යුතුමය.

හිසකෙස්, නිය, සම පිළිබඳ විශේෂඥ දැනුම්වත්භාවයක් ඔබ සතු විය යුතු වේ. මේ සඳහා අවශ්‍ය වන ක්‍රීම් වර්ග, ලෝෂන් වර්ග, සීරම් වර්ග, ෂැම්පු, කන්ඩිෂනර්, කොණ්ඩේ සඳහා එක්කරන වර්ණ පිළිබඳ, උපකරණ නඩත්තුව පිළිබඳ මේ ආදී බොහෝමයක් දේ ගැන ඔබ දැන සිටිය යුතු වේ.

කෙරටින් සත්කාර, රීබොන්ඩින්, පර්මින් මේ ආදී නොයෙකුත් කේශලාවණ්‍ය සත්කාරවලදී ඔබට රසායනික ද්‍රව්‍ය සමඟින් ගැටෙන්නට සිදුවේ. එහිදී ඔබ මෙන්ම සේවාලාභියා ද ප්‍රවේශම් විය යුතුවේ.

එසේම මෙම වෘත්තියේ යෙදිය යුත්තේ ඉතාම උනන්දුවකින් සහ ආශාවකින් යුතුවයි. මනා කැපවීමකින් යුතුව වෘත්තීයේ නියැළීම තුළින් සේවාදායකයාට ලබා දෙන සේවය ද ඉතා ඉහළ එකක් වනු ඇත. සේවා දායකයාගේ සිත සතුටු කිරීමට නම් ඇයගේ සිතැඟි හඳුනා ගැනීම වැදගත් වේවී. ආචාරශීලී බව ඔබ කෙරෙන් දිස්විය යුතුමය. රූපලාවණ්‍යාගාරය වෙත පැමිණෙන සේවාදායකයකු සතුටු වූයේ නම් ඒ බව නොවළහා අනික් අයටද පවසනු ඇත. ඒ අනුව ඔබ කරා ඇදී එන සේවාදායකයන් පිරිස වැඩි වේවී.

ඔබේ දෑත් ක්‍රියාශීලී වන තරමටම මොළයද ක්‍රියාශීලී වේ. ඔබ සත්කාර කරන්නේ ප්‍රාණියකුටයි. ඔබද රැකෙමින් ප්‍රාණියාගේ ද ජීවිතය රැකීම පරම යුතුකමකි. රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙස ඔබ අදාළ ක්ෂේත්‍රයේ මනා උපදෙස් දෙන්නියක ලෙස ද කටයුතු කළ යුතුවේ.

රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනාගන්නට වෑයම් කරන ඔබ ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ද ලබා තිබීම වැදගත් වේවි.

 

උපදෙස්:
ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනි
මනෝරි ජයවීර

 

[email protected]

 

රූ සිරි මුව කමලකට, මනා කේශ කල්‍යාණයකට හිමිකම් කියන්නට කවුරු නම් අකමැති වෙයිද?