සම රැකගන්න සීරම් තරම් සුදුසු ආලේපනයක් තවත් නැහැ

මැයි 30, 2022

 

පැහැපත්, දීප්තිමත් සම ළඳකට වාසනාවකි. ඒ නිසාම දිදුලන ලස්සන සමක් හැම තරුණියකගේම පැතුමකි. නිරෝගී, පැහැපත් සමක් ඕනෑම තරුණියකගේ හීනයක් වී ඇත. හීන දුටු පමණින් දිදුලන සමක් හිමි කර ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒකත් හීනයක් තමයි.

 

ඔබට දිදුලන සමක් අවශ්‍ය නම්, උපතින්ම සුන්දර සමක් හිමි වුවද එය එලෙසම දිගු කාලයක් රැක ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කළ යුතුමයි.

සමේ පැහැය, පෝෂණය, ලස්සන ගැන හුඟක් උනන්දු වෙන අයට බාහිර ආලේපනවලින් අවශ්‍ය ප්‍රතිඵලයට ඉතා ඉක්මනින් ළඟා විය හැකියි. රූපලාවණ්‍ය ආලේපන අතරින් ෆේස් සීරම්වලට ප්‍රධාන තැනක් හිමි වෙනවා. අනෙකුත් ආලේපනවලට වඩා ෆේස් සීරම් තරමක් මිලෙන් අධික නිසා බොහෝ දෙනා සීරම් ගැන කතා බහ කරන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ දැනගත යුතුම කරුණ වන්නේ ෆේස් සීරම් තරම් සමට සුදුසු ආලේපනයක් තවත් නැති තරම්ය.

 

ෆේස් සීරම් (Face Serum) එකක් යනු

සීරම් එකක් යනුවෙන් සරලව හඳුන්වන්නේ ක්‍රියාකාරී ද්‍රව්‍යවලින් සකසා අැති ලික්විඩ් හෝ දියරමය ක්‍රීම් එකකි. මෙය ඉතා අඩු ප්‍රමාණයක් වුණත් ඉතා හොඳින් සමට උරාගෙන ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙයි.

තෝරා ගන්නා සීරම් වර්ග අනුව ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. සමේ රැලි නැතිවීම වැළැක් විමට තිබෙන සීරම්, සම පැහැපත්වීම සඳහා භාවිත කරන සීරම්, සමේ කැළැල් නැති කිරීමට මෙන්ම සම සජලනය කිරීමට භාවිත කරන සීරම් වර්ගයන් බහුලව අද වන විට වෙළෙඳපොළෙහි පවතිනවා. මේ අනුව තමන්ගේ සමේ ඇති ගැටලුව අනුව සමට වඩාත්ම ගැළපෙන සීරම් වර්ගය තෝරා ගන්නට හැකියි.

 

ක්‍රීම් සහ සිරම් අතර වෙනස

ක්‍රීම් එකේ ඇති ක්‍රියාකාරී ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා සීරම් එකේ ක්‍රියාකාරී බව සාමාන්‍යයෙන් 70%කට වඩා වැඩියි. සමේ දීප්තිමත් බව වැඩි කිරීමට, තෙතමනය ඇති කිරීමට හොඳ සිරම් එකකට ඉක්මනින් කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රීම් එකක් භාවිත කරනවට වඩා අඩු ප්‍රමාණයකින් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගත හැකියි. සීරම් එක් බිංදුවකින් මුහුණට වරකට අවශ්‍ය පෝෂණය ලබා දිය හැකියි.

 

සීරම් භාවිත කරන්නේ කොහොමද?

සීරම් එකක් උදේට සහ සවසට ආලේප කිරීම ප්‍රමාණවත්. මුලින්ම ෆේස් වොෂ් හෝ ක්ලෙන්සර් මඟින් සම පිරිසුදු කරගෙන පසුව ටෝනර් එකක් හෝ අයිස් වතුර භාවිතකර සමේ රෝම කූප වසා දැමිය යුතුයි. ඉන්පසු සීරම් එකෙන් බොහොම ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු මඟින් මුළු මුහුණෙහිම සෙමෙන් ආලේප කළ යුතුයි. විනාඩි 2ක් තබා මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්න. පසුව ඩේ ක්‍රීම් හෝ නයිට් ක්‍රීම් එක භාවිත කරන්න. උදෑසන නම් ඩේ ක්‍රීම් එක භාවිත කළ පසු සන් ක්‍රීම් එක භාවිත කරන්න.

 

ෆේස් සීරම්වල ප්‍රයෝජන

ඔබට විසඳා ගැනීමට අවශ්‍ය ආකාරයේ සමේ ගැටලුවලට හොඳින් ගැළපෙන ෆේස් සීරම් එකක් භාවිත කරන්න.

ෆේස් සීරම් මඟින් සම, ක්‍රීම්වලට වඩා ඉක්මනින් පැහැපත් කරයි. සමට ඉක්මනින් අවශෝෂණය වන නිසා ඉක්මන් ප්‍රතිඵල ලබා දෙයි. එමෙන්ම මොයිස්චරයිසර්වලට වඩා සැහැල්ලු ආකාරයෙන් සම ආරක්ෂණ සංයෝගයක් වෙයි. සංවේදී සම සමනය කරයි. කුරුලෑ ඇති තෙල් සහිත සමක් ඇති අයට ද ඉක්මන් විසඳුම් ලබා දෙයි. මුහුණේ සිහින් රේඛා සහ රැලි පෙනුම අවම කර තරුණ පෙනුම රැක දෙයි.

විටමින් C, විටමින් E, හරිත තේ, Resveratrol සහ astaxanthin වැනි අමුද්‍රව්‍ය සහිත සීරම් අව්වෙන් වන හානිය අවම කරයි. සමේ වර්ගයට සහ සමේ පවතින ගැටලුවලට අනුව සීරම් වර්ගය තෝරා ගන්න. සීරම් එකක් භාවිතය සුදුසු වන්නේ වයස අවුරුදු 30ට වැඩි අයටයි. මේ නිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න.

 

විටමින් C සීරම් ගෙදරදීම හදාගමු

වෙළෙඳපොලේ ඇති විටමින් C සීරම් ඉතාමත් මිල අධිකයි. ඒ නිසා එය නිවෙසේදීම සාදා ගතහැකි නම් ඔබේ මුදල් පසුම්බියටත් පහසුවක් වේවි.

මේ ස්වාභාවික විටමින් C සීරම් එක මාස කිහිපයක් වුව ද කල්තබා ගත හැකි නිසා එය තවත් පහසුවකි.

මේ සඳහා හොඳ වර්ගයේ තැඹිලි පැහැති දොඩම් ගෙඩියක්, රෝස වතුර ස්වල්පයක්, ග්ලිසරින්, විටමින් E කරල් 3ක්, ඇලොවේරා ජෙල් ස්වල්පයක් සහ ෆොයිල් පේපර් 1ක් අවශ්‍ය වෙනවා.

මුලින්ම දොඩම් ගෙඩියේ ලෙල්ල ඉවත් කරගෙන එය තරමක කුඩා කැබලිවලට වෙන් කරගෙන මඳ අව්වේ දිනක් පමණ වේළාගන්න.

ඉන්පසු වියළාගත් දොඩම් පොතු ටික වියළි වීදුරු භාජනයකට දමා එයට රෝස වතුර මේස හැඳි 2ක් පමණ එකතු කර, එයටම ග්ලිසරින් සහ විටමින් E කරල් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

දැන් මේ වීදුරු බඳුන ෆොයිල් කවරයකින් තදින් වසාගෙන පැය හයක් කාමර උෂ්ණත්වයේ තබන්න. පැය හයකට පසුව නැවතත් කලවම් කරගෙන මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරන්න. ඊළඟට බ්ලෙන්ඩ් කරගත් සීරම් එක සම්පූර්ණයෙන් පෙරා යුෂ ටික පමණක් වෙන භාජනයකට දමාගෙන එයට ඇලොවේරා ජෙල් තේ හැන්දක් පමණ දමා හොඳට උකුවන තෙක් විනාඩි පහළොවක් පමණ මිශ්‍ර කරගන්න.

කුඩා වීදුරු බෝතලයකට හෝ හිස් විටමින් C සීරම් බෝතලයකට මිශ්‍රණය පුරවාගන්න. ඉන්පසු සෑම දිනකම උදෑසන සහ රාත්‍රියේ මුහුණ පිරිසුදුකර අත්ලට සීරම් බිංදු දෙකක් ගෙන ඇඟිලිතුඩුවලින් මුහුණේ ආලේප කරන්න. මේ විදිහට නිවෙසේ සාදා ගන්නා මේ විටමින් C සීරම් එක මාස පහක් පමණ කාමර උෂ්ණත්වයේම කල්තබා ගැනීමට පුළුවන්.

විටමින් C සීරම් එක මඟින් අව්වට පිළිස්සුණු සම ඉවත්කර අහිතකර UV කිරණෙන් ඔබේ සම ආරක්ෂාකර තෙතමනය ලබා දෙයි. ඇස් වටා අවපැහැ ගැන්වීම සහ රැලි අවමකර පැහැපත් තරුණ පෙනුමක් ලබා දෙයි.

 

 

උපදෙස් -

රූපලාවණ්‍ය ශිල්පිනී

නයනා කුමාරි

Salon Nayanart & Academy

මාළඹේ