එල්ලා වැටුණු කම්මුල් ලස්සනට බාධාවක්

සැප්තැම්බර් 19, 2022

 

කාන්තාවකගේ සුන්දරත්වය වැඩියෙන් පෙන්වන දෙයක් තමයි පිරුණු කම්මුල්. ඒ වගේම කම්මුල් එල්ලා වැටෙන ස්වරූපයක් ගන්නා විට ඔබේ සුන්දරත්වයට බාධා ගෙන දෙනවා. වැඩි වයස්ගත බවක් තමයි පෙන්නුම් කරන්නේ. වයස්ගත වීමත් එක්ක සමේ ඇදෙන සුලු බව වැඩි වෙන්න පටන් ගන්නවා. එවිට පෙනුම වයසක පෙනුමකින් පේන්න පටන් ගන්නවා. ඉතිං මේ ගැටලුවට ඔබත් මුහුණ පාලා ඇති. ඒ අයට සුන්දර පිරුණු කම්මුල් ලබා ගන්න මේ ලිපිය වැදගත් වේවී.

 

දුරකථනය භාවිතය අඩු කරන්න

කොයි වේලාවෙත් ඉන්නේ ෆෝන් එකේ එල්ලිලා ද? එහෙමත් නැත්තම් නිතරම ස්මාර්ට් ෆෝන් එකක් හරි ටැබ් එකක් භාවිත කරනවා ද? මේ වැරැදි කරනවා නම් ඔබේ කම්මුල්වල සම එල්ලා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම ඔබ මේ ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස අනවශ්‍ය ලෙස බලා සිටීමෙන් මුහුණට හානි සිදු වෙන ප්‍රමාණය ද ඉතාමත් වැඩියි. කම්මුල් එල්ලා වැටීම විතරක් නොවෙයි මුහුණේ සම ඉතාමත් සියුම් නිසා සම ඉක්මනින් රැලි වැටෙන්න පටන් ගන්නවා. ඉතිං ඔබේ කම්මුල් ලස්සනට තියා ගන්න ඕ‍නෙ නම් පාලනයක් ඇතුව ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කිරීම ඉතා වැදගත්.

 

 

තෙල් සහිත ආහාරවලින් ඈත් වෙන්න

ගොඩක් දෙනෙක් අද ස්වාභාවික ආහාර රටාවෙන් ඈත් වී කෘත්‍රිම ආහාර කෑමට පුරුදු වී හිඳති. මෙවැනි තත්ත්වයක දී තවත් අතුරු ආබාධ රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ශරීරයේ බර වැඩි වීම වගේම මුහුණ ආශ්‍රිතව විපර්යාස රැසක් සිදු වෙනවා. මුහුණේ කුරුළෑ ආසාදන, ලප කැළැල් ඇති වීම වැනි තත්ත්වයන් ඇති වෙනවා. තෙල් සහිත ආහාර ගැනීම සමට අහිතකර වුණත් සම්පූර්ණයෙන්ම මේදය සහිත ආහාර ප්‍රතික්ෂේප කිරීම නම් සුදුසු වෙන්නේ නෑ. ඔමේගා 3, ඔමේගා 6 වැනි මේද අම්ල භාවිත කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද එමඟින් සමේ ‍සෛලවල ඇදෙන සුලු බව ආරක්ෂා කරන්න උපකාරී වෙනවා.

 

හෝර්මෝන සමතුලිතාවය බිඳ වැටීම

කම්මුල් එල්ලා වැටෙන්න බලපාන තවත් ප්‍රධානතම හේතුවක් තමයි සිරුරෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ස්‍රාවය වන ප්‍රමාණය අඩු වීම. මේ හෝමෝනය ඉලාස්ටින් සහ කොලජන් නිපදවීමට හේතු වෙනවා. ඉතිං ඊස්ට්‍රජන් අඩු වෙනවා කියලා කියන්නේ සම සුදුමැළි වෙලා, රැලි වැටෙන්න පටන් ගැනීමයි.

 

පැණි රස අඩු කරන්න

වැඩිපුර පැණි රස කෑම ආහාරයට ගන්නවා කියන්නේ රෝග රැසකට අත වැනීමක්. සීනි අධික ලෙස භාවිත කිරීම සිරුරට යහපත් වෙන්නේ නෑ. සීනි සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් සමේ ඇදෙන සුලු බව වැඩි කරනවා. එමඟින් සිදු වෙන්නේ සම එල්ලා වැටී හානියට පත් වීමයි. සීනි භාවිත කරන ප්‍රමාණයට සමට හානි ගෙන දෙන බව මතක තියාගෙන සීනි අධික කෑම ආහාරයට ගන්න.

 

වැඩි වේලාවක් හිරු එළිය එපා

පාරජම්බුල කිරණ සමට ඉතාමත් හානිදායකයි. විශේෂයෙන්ම UVA නම් වු විකිරණ සමට ඉතාමත් අනතුරුදායකයි. මේ විකිරණ සමේ ගැඹුරුම ස්ථාන තුළට ගමන් කර සමට හානි කරනවා. ඇතුළේ තියෙන සමෙන් වැඩිපුර ප්‍රමාණයක් කොලජන් අන්තර්ගතයි. ඒ නිසා හිරු එළියට නිරාවරණය වෙනවා නම් sun cream එකක් භාවිත කිරීම ඉතාමත් වැදගත්.

 

සිරුරේ බර වේගයෙන් අඩු වීම

සිරුරේ බර අඩු කර ගන්න අවශ්‍ය නම් එක ලෙස වේගවත්ව බර අඩු කර ගැනීම හිතකර වෙන්නේ නෑ. ආහාර පාලනය කර බර අඩු කර ගන්න හිතනවා නම් මෙය ක්‍රමවත්ව සිදු කළ යුතුයි. වඩාත් සෞඛ්‍යාරක්ෂිත වෙන්නේ සෙමින් සිරුරේ බර අඩු කර ගැනීමයි. සිරුරට ලැබෙන මේදය සහ විටමින් වර්ග අඩු වී යාමෙන් සම එල්ලා වැටීමකට ලක් විය හැකියි. ඒ නිසා ආහාර රටාව පාලනය කිරීමේ දී එය ක්‍රමවත්ව සිදු කිරීම ඉතා වැදගත්.

 

දත්වල ඇති වන විකෘතිතා

දත්වල විවිධ විකෘතිතාවන් පැවතිය හැකියි. විශේෂයෙන්ම නළ දත් හා විවිධ විකෘතිතා සහිත දත් පිහිටීමෙන් මුහුණේ සම ඇදීමකට ලක් වෙන්න පුළුවන්. විකෘති දත් පිහිටීමෙන් ආහාර ගැනීමේ දී ආහාර සැපීමේ රටාව වෙනස් වෙනවා. එය මුවට අනවශ්‍ය වෙහෙසක්. මේ බලපෑම නිසා සමේ මාංස පේශී එල්ලා වැටිය හැකියි.

 

ප්‍රමාණවත් පරිදි නින්දක්

ශරීරයට ප්‍රමාණවත් නින්දක් අත්‍යවශ්‍යයි. එමඟින් ඔයාගේ සමට විවේකය ලබා දෙනවා. නමුත් ප්‍රමාණවත් නො ලැබී යාම සම එල්ලා වැටීමට හා රැලි වැටීමට හේතු වෙනවා. මේ විදිහට රැලි වැටුණු සම අලුත්වැඩියා වෙන්නේ රාත්‍රී කාලයේ දී යි. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න අමතක කරන්න එපා.

 

නිතරම කනගාටු වෙන්න එපා

මිනිසාගේ සිත් අභ්‍යන්තරයේ ඇති ගැටලු මුහුණෙන් පිළිබිඹු වෙනවා. නිතර නිතර දුකෙන් මුහුණ එල්ලගෙන සිටීම මුහුණේ සමට අහිතකර ලෙස බලපෑමේ වැඩි ඉඩක් පවතිනවා. එපමණක් නොව, සමේ හා හිසකෙස්වල ගුණාත්මක බවට සෘජුවම බලපාන Cortisol හෝමෝන මට්ටම පහළ බැසීමටත් මෙය හේතුවක් වෙනවා. ඒ නිසා නිතරම සිත සතුටින් තබා ගන්න.

 

ඉහත දේවල් හරියට කළොත් පිරුණු කම්මුල්වල හිමිකාරියක් විය හැකියි.

 

 

උපදෙස් -

මහරගම, සැලෝන් නීශා හි

රූපලාවණ්‍ය ශිල්පිනී නීශා මනහාරි