කෙටි කොණ්ඩයක් ඇති මනාලියකට චාම් විලාසිතාවක්

අප්‍රේල් 11, 2022

 

මේ, වෙන කවරදාටත් වඩා සරල බව චාම් බව අගයන කාලයකි. තමා මනාලියක් වන දිනයේ සරල, චාම් මනාලියක් ලෙස හැඩ වීමට කැමැති තරුණියන්ට අප අද ඉදිරිපත් කරන මේ මනාලියගෙන් යම් ආදර්ශයක් ගැනීමට පුළුවන්.

 

එමෙන්ම ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පියා ලෙසින් හැඳින්වෙන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන්ගේ අතින් මනාලියක් හැඩගැන්වීමේ දී සිදු කරන විශේෂ විධි ක්‍රම ඔබට ඉගෙනීමටත් අවස්ථාව හිමි වේ.

මනාලියගේ මේක්අප් එක සිදු කරන ආකාරය අපි පසුගිය සතිවල දී ඔබට පැහැදිලි කළෙමු. අද මනාලියගේ කොණ්ඩා මෝස්තරය හා හිස සැරසිලි සිදු කරන ආකාරය ගැන දැන ගනිමු.

මේ මනාලියට ඇත්තේ කෙටි කොණ්ඩයකි. කෙටි කොණ්ඩයක් ඇති යුවතියකට කොණ්ඩා මෝස්තර දැමීම බොහෝ දෙනකුට ගැටලුවක් වන අතර අද මේ මනාලියට දමන කොණ්ඩා මෝස්තරය ඔබට කෙටි හිසකේ ඇති මනාලියකට කොණ්ඩා මෝස්තර නිර්මාණය සඳහා යම් උත්තේජනයක් සපයාවි.

''මම අද මේ මනාලිය වෙනුවෙන් දමන්නේ මගේම නිර්මාණයක් වුණු පරණ ම කොණ්ඩා මෝස්තරයක්. විලාසිතා ලෝකයේ පරණ මෝස්තර නැවත නැවතත් අලුත් වෙනවා. ඒ නිසා මේ මෝස්තරය අදටත් ගැලපෙනවා.

කොණ්ඩය ඉදිරිපස හා පසුපස ලෙස කොටස් දෙකකට බෙදා පසුපස කොටස බන් එකක් ලෙස තබා ක්ලිප් කරගන්න. ඉදිරිපස කොණ්ඩය හොඳින් අයන්කර එහි පසුපස හිසකේ බැක්කොම්බ් කර ඉදිරිපසින් බම්ප් එකක් එන සේ පසුපසට කර ක්ලිප් කරගන්න. ඉදිරිපසින් ක්‍රවුන් ඒරියා එක ඉතිරි කරන්න. ඒ ටික මඳක් බැක්කොම්බ් කර පසුපසට කර රඳවා හෙයා ස්ප්‍රේකර ඔටුන්න හිසෙහි රඳවන්න.

පසුපස කොණ්ඩයට අමතර කොණ්ඩයක් (හෙයා එක්ස්ටෙන්ෂන් එකක්) අමුණා එය බැක්කොම්බ් කර ඉන් ලූප් දෙකක් සාදා රඳවන්න. තවත් හෙයා එක්ස්ටෙන්ෂන් එකක් අමුණා ඉන් එක් ලූප් එකක් සාදා අනෙක් ලූප් දෙක මැදින් රඳවන්න. රැලි ගැසුණු හෙයා එකස්්ටෙන්ෂන් එකක් ගෙන එය ලූප් වට වන සේ කොණ්ඩ මෝස්තරයේ යට කොටසින් රඳවන්න.

දැන් මනාලියගේ සාරියට ගැළපෙන ලෙසින් ආභරණ පළඳවන්න. මේ මනාලියගේ සාරියට ගැළපෙන ලෙස මුතු ඇට සහිත ඔටුන්නක් හා මුතු සහිත කරාබු, මාලයක් ආදිය පළඳවා ඇත.

කොණ්ඩයේ පසුපස කොටසට වන්නට වේල් එක රඳවන්න. මෙය කෙටි වේල් එකකි. දැන් නැවතත් කෙටි වේල් විලාසිතාව ජනප්‍රිය යි. ෆේස් වේල් එකක් දැමීමෙන් අදහස් වෙන්නේ මනාලියගේ පිවිතුරු බවයි. නැවුම් බවයි. වේල් එක පලඳවන්නේ මනාලියගේ අම්මා නැතිනම් සොයුරිය එසේත් නැතිනම් ඥාතිවරියක් හෝ හිතවතියකි.

පිවිතුරු දුවක් අපි ඔබට බාර දෙනවා. අපි ඇය බාරගත්තා යන දේ මෙයින් අර්ථවත් වෙනවා. '

මේ මනාලියගේ මල් කලඹ හැරිස් විජේසිංහයන් විසින් ම නිර්මාණය කරන ලද්දකි. මේ සඳහා කුඩා සුදු රෝස පොහොට්ටු හා බේබිස් බ්‍රෙත් මල් යොදාගෙන තිබේ. චාම් එහෙත් සුන්දර මනාලියක් මේ ලෙසින් හැඩගන්වා ගැනීමට මෙය ඔබට ආදර්ශයක් වනු නිසැකයි.

 

 

නිරූපණය - මල්කි චන්දිමා

ඡායා - නිලන්ත අනුරුද්ධ

 

විශේෂ ස්තුතිය - සැලෝන් සයිමන්ස් හි සුනෙත් ට