කිරිකැටියා පිළිබඳ මේ ගැටලු ඔබටත් ඇති වුණාද?

මැයි 22, 2023

අලුත උපන් කිරිකැටියා අතට ගත්තම උතුරා ගිය සතුටක් දැනවෙන්නා වගේම පුදුමාකාර වගකීම් සම්භාරයකුත් දැනෙන්න පටන් ගන්නවා. කුලුඳුල් අම්මෙකුට නම් පුංචි බයක් නොදැනෙනවමත් නෙවෙයි.

හිතට දැනෙන ඒ සැක සංකාවන්ට අස්වැසිල්ලක් වෙන්නයි මේ සූදානම. බලන්න මේ ගැටලු ඔබේ සිතෙත් උපන් ගැටලුම දැයි කියා.

බබා ඉපදුනේ සාමාන්‍ය ක්‍රමයට. එයාගේ ඔළුව දිගයි, ඇදයි

සාමාන්‍ය ක්‍රමයට සිදුවන ප්‍රසූතියේදී ඇතිවන තෙරපීම නිසා මෘදු කාටිලේජමය අස්ථිවලට මෙසේ වන්නට පුළුවන්. දරුවාට වයස අවුරුද්දක් පමණ ගතවෙද්දි මේ තත්ත්වය මඟහැරී යාවී.

 

හිසෙහි සම ගැලවී යෑම සාමාන්‍ය තත්ත්වයක්ද?

මැරුණු සම කබොල්ලක් වැනිව හිසේ සිට නළල ප්‍රදේශය දක්වා තිබීම හා හිසෙහි සම් කැබලි ගැලවී යෑම සාමාන්‍යයි. ඔලිව් තෙල්, තල තෙල් වැනි දෙයක් දමා සම්බාහනය කොට මෘදු ළදරු පනාවකින් පීරා මෘදුකාරකයකින් සෝදා ඉවත් කළ හැකියි.

 

හිසකෙස් ගැලවී යන්නේ ඇයි?

අලුත උපන් දරුවන්ගේ තැනින් තැන හිසකෙස් ගැලවී යාමත් පැල්ලම් ආකාරයට තැනින් තැන හිසකෙස් නොමැති ප්‍රදේශ ඇතිවීමත් සාමාන්‍ය තත්ත්වයකි. දරුවා වැඩෙන විට සාමාන්‍ය හිසකෙස් පැමිණෙනු ඇත.

 

හිසේ තෙල්වල දැක්කමත් බයයි.

අලුත ඉපදුණු පුංචි බබාලගේ තෙල්වල උස් පහත් වෙනවා දැක්කම අම්මලට බයත් හිතෙනවා. මේ තෙල්වල පිළිබඳ බොහෝදෙනකුට එතරම් අවබෝධයකුත් නැහැ. හිසේ අස්ථි අතර අස්ථි නොමැති ප්‍රදේශය තෙල්වල හෙවත් රන්ධ්‍ර නම්වේ. මෙලෙස අස්ථි නොමති ස්ථාන දෙකක් තිබේ. ඉන් එකක් දරුවාට මාස 18 දී වැසී යයි. අනෙ ක මාස 1 - 2 ත් අතර වැසී යයි.

 

පුංචිම බබාලගේ ඇස්වල රතු ලප වැනි පැල්ලම් මොනවාද?

ප්‍රසූතියේදී හිසට සිදුවන තෙරපීම නිසා සියුම් රුධිර නාල තැලීමකට ලක්වී පුංචි ලේ ගැලීම් නිසා සුදු ඉංගිරියාවේ රතුපැහැ ලප ඇති වේ. එය සාමාන්‍ය තත්ත්වයකි.

 

පුංචිම දරුවන්ගේ හිසට දහඩිය දමන්නේ ඇයි?

හිස රත් වීම, නළලට හා හිසට අධිකව දහඩිය දැමීම දරුවන්ගේ පරිවෘත්තීය ශීඝ්‍රතාව වැඩි නිසා සිදුවේ. මෙය සාමාන්‍ය තත්ත්වයකි. අවුරුදු 10 ක පමණ වුවත් පැවතිය හැකියි.

ඇතැම් දරුවන්ගේ හිස පැත්තකට ගෙවෙනවා නේද?

දරුවා තබන පැත්ත අනුව හිස ගෙවීමට ලක් වීමද, හිසේ අස්ථීන් හි මෘදු ස්වභාවය නිසා සිදුවේ. අවුරුද්දක් යනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

 

පියයුරුවල ගැටයක් මෙන් හසුවන්නේ කුමක්ද ?

අලුත උපන් දරුවන්ගේ පියයුරු විශාල වී ගැටයක් සේ අතට අසුවීම, රතුවීම, කිරි වැනි ස්‍රාව ඒම සාමාන්‍ය වේ. මවගෙන් ලැබෙන හොර්මෝන නිසා මෙය සිදුවේ. මෙම කිරිගැට මිරිකා හැරීම සිදු නොකරන්න. බොහෝ වැඩිහිටියන් දරුවන් නෑවීමේදී කිරි මිරිකා හරින්නට උත්සාහ කරයි. දරුවා මේ නිසා ඉමහත් වේදනාවකට පත්වනවා සේම පසුකාලීනව විවිධ ආබාධ ඇති විය හැකියි.

 

ගැහැනු දරුවන්ගේ යෝනි මඟ මස් වැදැල්ලක් තිබීම, සුද යෑම

යෝනි මඟ සුදුපැහැ ස්‍රාවයක් හෝ රුධිරය යෑමක් පැවතීමත් යෝනි මාර්ගයට ආසන්නව මස් වැදැල්ලක් වැන් යමක් පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. මවගේ හෝර්මෝන දරුවාගේ සිරුරේ තිබීම මෙයට හේතුවයි.එය ස්වාභාවිකව මඟ හැරී යයි.අවශ්‍ය වනුටේ පිරිසුදුව තබා ගැනීමයි.

 

නිතර ඉක්කා වැටෙන්නේ ඇයි?

නිතර ඉක්කා වැටීම සිදුවන්නේ මහාප්‍රාචීරය අපරිණතවන නිසා පාලනයකින් තොරව ඉහළ පහළ යෑම නිසයි. මෙය සාමාන්‍යයයි.

කිරිකැටියන්ගේ ඇස්වලින් කබ, කඳුළු ගැලීම

දරුවාගේ ඇස්වල කබ, කඳුළු රැඳීම ද සාමාන්‍යයයි. පිරිසුදු තෙමාගත් පුළුන් කැබලිවලින්

 

පිටත සිට නාසය දෙසට පිරිමදින්න. දිගින් දිගටම පවතී නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. පිරිසුදු ඇඟිල්ලකින් කඳුළු ග්‍රන්ථි ආශ්‍රිත පෙදෙස රවුමට 10 වරක් පමණ සම්බාහනය කරන්න.

පුරුෂ ලිංගය පිටුපසට කළ නොහැකියි

අලුත උපන් සිඟිත්තන්ගේ පුරුෂ ලිංගය පිටුපසට කළ නොහැකි වීම සාමාන්‍යයයි. මාස 10- 12 පමණ වනවිට එය පිටුපසට කර පිරිසුදු කළ හැකියි.

රතු බිබිලි සහ කහ බිබිලි

රතුපාට කුෂ්ඨයන් වැනි බිබිලි දරුවා ඉපදී දෙවැනි දින පමණ මතුවී දවසකින් දෙකකින් අඩුවී යයි. එය සාමාන්‍යයයි. සුදු, කහපැහැ බිබිලි ඇතිවන්නේ විසබීජ නිසාය. බෙල්ල, උදරය කකුල් ආශ්‍රිතව ඇතිවේ. වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. දරුවා වෙනිවැල්ගැට වැනි ස්වභාවික ඖෂධීය වතුරෙන් සෝදා පිරිසුදුව තබා ගැනීමෙන් ද ඉබේම සුවවේ.

 

නාසයේ තෙත ගතිය හා ශබ්දය

කළලාවාරික තරලයේ ගිලී සිටීමෙන් නාස් කුහරවල පවතින තෙත ගතිය සහ නාස් පොල්ල හෙවත් නාස් අස්ථිය ශක්තිමත්බවින් අඩු නිසා නාස් කුහර හොඳින් විවර නොවීම මීට හේතුවයි. නාසයේ බර ගතිය, සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය හා ශ්වසනයේදී ශබ්දය සාමාන්‍ය වේ. දින කීපයකින් මඟ හැරී යයි.