කොටුවෙන් ගමටම තොග මිලට බඩු

ජුනි 23, 2025

ස්වයං රැකියා කරන හැමෝටම තමයි මේ සුබ ආරංචිය අද අපි ගෙන එන්නේ. පිටකොටුවේ මැද තියෙන බංගසාල වීදිය කියන්නේ බඩුවලින් පිරිච්ච වීදියක්. මේ කියන්න යන්නේ බංගසාල වීදියේ ඇවිදලා ජීවිතය ජය ගන්න පුළුවන් විදිහක් ගැන. බංගසාල වීදියේ දැකිය හැකි ප්‍රධාන තොග වෙළඳාම් අතර හඳුන්කූරු, සබන් වර්ග, ඩිටර්ජන්, ඩයි වර්ග, කෙමිකල්, බ්ලීචින් පවුඩර්, රෙදි සෝදන කුඩු, පේපර් සර්වියට් වැනි දේවල් මේ වීදියෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්. දැන් අපි ඔයාට කියන්න යන්නේ බංගසාල වීදියේ ඇවිදින ගමන් අලුත්ම අලුත් බිස්නස් ටිකක් හදාගන්න විදිහ. මේ වීදියේ තියෙන්නේ මොනවාද කියලා අපි ඔයාට කිවුවනේ. අපි බලමු මේ බඩුවලින් කොහොමද තමන්ගේ life game එක ගහගන්නේ කියලා.


ඔයා දුර බැහැර පළාතක ඉඳලා පිටකොටුවේ එන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ බඩු භාණ්ඩ අරගෙන ගිහිල්ලා තමන්ගේ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. උදාහරණයක් විදිහට සබන් වර්ග බලමුකෝ. ඔයාට පුළුවන් ගමේ තියෙන කඩ පහක් අල්ලගන්න. මේ කඩ පහත් එක්ක ඔයා ගිහින් පළමුවෙන්ම කතා කරන්න. ඒ කඩවලට අවශ්‍ය සබන් වර්ග, හඳුන්කූරු, ඩිටර්ජන් ඩිස්වොෂ් මේ හැමදේම ඔයා ඕඩර් එකක් විදිහට ගන්න. ඉන්පසුව පුළුවන් බංගසාල වීදියට යන්න. අපි බංගසාල වීදිය ගැන කිවුවා කියලා එක පාරටම බඩු ගන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ බිස්නස් එක ලොස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම මේ කඩ වීදියේ අංක එක ඉඳන් ගණන් මිමි ගැන හොයලා බැලීම.

මෙන්න මේකත් මතක තියාගන්න. සමහර කඩවල සබන් ගණන් අඩු වුණාට හඳුන්කූරුවල ගණන් වැඩිවෙන්න පුළුවන්. ඒත් සමහර කඩේක හඳුන්කූරු ගණන් අඩු වෙලා සබන් ගණන් වැඩි වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි ඔයාට කියන්නේ මේ කඩවල visit එකක් කරන්න කියලා. මේ විසිට් එකේදී පොඩි නෝට් බුක් එකක් අරන් යන්නත් අමතක කරන්න එපා.



අත්දැකීම් නැති ඔයාට කඩෙන් කඩ මිල ගණන් වෙනස් වන එක වටහා ගන්න පුළුවන්. එවිට ඊළඟ වටේ එනකොට අඩුම කඩයකින් බඩු ටික ලාබෙට ගන්න පුළුවන්. එහෙම නම් ඔයාට හොඳ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකියි.
පිටකොටුවට ඇවිත් හරියටම ව්‍යාපාරය ගොඩ දාගන්න විදිහ තමයි මේ. පිටකොටුවේ බඩුවල ගණන් කෑලි ගාණ අනුව වෙනස් වෙනවා. සමහර කඩවල තොග දෙන්නේ කෑලි හයක් වුණාට සමහර කඩවල කෑලි දොළහක් වගේම තවත් කඩවල කෑලි විසි හතරක් දෙනවා. ඒ නිසා හරියටම තොග ගන්නවා නම් කෑලි කීයක් ගන්න ඕනෙද කියල අහන්න අමතක කරන්නත් එපා. සමහර කඩවල කෑලි හය තොග මිලකට දුන්නට සමහර කඩවල කෑලි විසි හතරක් දෙන්නෙත් සිල්ලර මිලට. අන්න ඒ නිසා තමයි ඔයාට කිවුවේ නෝට් බුක් එකක් පාවිච්චි කරන්න කියලා.

ඔයාට පුළුවන් කඩෙන් කඩේ නම ලියාගෙන මිල ගණන් වෙනම සටහන් කරගන්න. එතකොට ඔයාට පුළුවන් මේ බඩුව ගත්තෙ කීයටදමේ බඩුව විකුණුවෙ කීයටද, මෙයින් මට කොච්චර ලාභයක් තියෙනවාද කියලාත් බලාගන්න. ඒත් එක්කම මේ කඩවල දුරකතන අංකයත් ලියාගන්න අමතක කරන්න එපා. මොකද දවසින් දවස මෙහි ගණන් වෙනස් විය හැකියි. ඔයාට ලොකු ඕඩර් එකක් ලැබුණොත් මෙච්චර ගාණක් ගන්නවා නම් කොපමණ මිලකට ඔයාලට එයාලා දෙනවාද කියලත් අහගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ හැමදේම සටහන් කරගත යුතුයි කියලා අපි කියන්නේ. ගොඩක් වෙලාවට පිටකොටුවෙන් බඩු ගත්තු අයට වෙන අකරතැබ්බයක් තමා එදා බඩු ගත්තු තැන අද වන විට අමතක වෙන එක. මොකද එච්චර ලොකු පරාසයක තියෙන පිටකොටුවේ වීදි අස්සේ තමන්ට කැමති දේ සොයාගෙන යනකොටත් සමහර දේවල් මඟහැරෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාගේ නෝට් බුක් එකේ මේ ෆෝන් අංක ලියා ගැනීම ගොඩක් වටිනවා. බංගසාල වීදිය නෙමෙයි මොන අස්සක් මුල්ලකට ගියත් මේ ටිප්ස් ටික පාවිච්චි කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා පටන් ගන්න යන්නේ ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් බිස්නස් එකක්. මෙතැනදි ඔබේ කැප කිරීම නම් අත්‍යවශ්‍යම දෙයක්.

දැන් අපි ඉන්නේ බංගසාල වීදියේ. මම ඔයාට කිව්වනේ මේ වීදියේ විවිධ විවිධ ජාති තියෙනවා කියලා. මේ වීදිහට ගියාට පස්සේ ඔයාට ඔයාගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න අදහසක් එන්න පුළුවන්.
මේ හඳුන්කූරු තමන්ගේම නමකින් පැකට් කරන බිස්නස් එකක් වෙන්නත් පුළුවන්. සබන් වර්ග, විවිධ කෙමිකල් වර්ග ඔබේම බ්‍රෑන්ඩ් එකකින් පැක් කරලා විකුණන ව්‍යාපාරයක් කරගන්නත් හැකියි. මේ සඳහා ඔයා හොඳ අධ්‍යයනයක් කරන එක අත්‍යවශ්‍යමයි.

පිටකොටුව කියන්නේ හොඳම හොඳ තැනක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒකට හේතුව තමයි හැමෝම බලන්නේ මොකක් හරි දහන් ගැටයක් දාලා තමන්ගේ බිස්නස් එක කරගන්න. අන්න ඒ නිසා තමයි ඔයා හසු නොවී කටයුතු කරන්න ඉගෙන ගත යුත්තේ. පිටකොටුවේ යනකොට නෝට් බුක් එකක් අරන් යන්න කිවුවහම සමහරු මුලින්ම හිනාවෙන්න පුළුවන්. ඒත් දැන් ඔයාට තේරෙනවා නේද ඔයා හැමදේම ලියා ගත්තට පසුව ඔයා ළඟ තියෙන මේ ඩේටා බේස් එක බිස්නස් එක දියුණු කරගන්න කොච්චර වැදගත් වෙනවද කියලා.

ඔයා පොඩි ඕඩර් එකක් අරන් ඇවිත් බංගසාල වීදියේ සබන්කැට පනහක් අරන් යනවා කියලා හිතන්නකෝ. දවස් ගාණකට පස්සේ ඔයාට සබන් කැට දෙසීයක ඕඩර් එකක් එනවා. ඒත් ඔයාට මතක නැහැ ඔයා කලින් සබන් ගත්තේ කොහෙන්ද කියලා. අන්න ඒකයි අපි කියන්නේ ගඟේ මුහුදේ දැම්මත් ගාණක් ඇතුව දාන්න කියලා.

බංගසාල වීදිය ගැන කියනකොට බලන්න මේ වීදියේ තියෙන හැමදේම අධ්‍යයනය කරන්න.


සුවඳින් පිරුණු මේ වීදියේ ඇවිදලා ඔයාගේ ජීවිතය සුවඳ කරගන්න කියලා අපි ආරාධනා කරනවා.

හැබැයි අන්න ඒකට මේ ක්‍රමවේද පිළිපදින්නම වෙනවා.