විවාහයට සහකරුවකු තෝරා ගන්නට පෙර කියවිය යුතු ලිපියක්

ජුනි 12, 2019

විවාහය යනු වගකීම් සම්භාරයකින් පිරුණු තෝතැන්නකටය. මිනිසකුගේ ජීවිතයේ විවාහය දෙවැනි උප්පත්තිය ලෙස හඳුන්වයි. දෙදෙනකු විසින් අරඹන විවාහ ජීවිතයක් මුළු ජීවිත කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ආ යුතුය. හැලහැප්පීම්, ප්‍රශ්න ඇතිවීම පොදුය. ලෝකයේ කිසිම මොහොතක සමාන අදහස්වලින් යුතු අය මුණගැසෙන්නේ නැත. මිනිසුන් සතුව දුර්වලකම් ඕනෙ තරම් ඇත. අවබෝධය මඟින් අඩුපාඩු හදාගෙන විවාහය නම් වූ දීර්ඝ ජීවන මාවතේ ගමන් කළ යුතුය.

මේ පිළිබඳ කතාබහ කරන්න, මත් වතුරෙන් මිනිසාව ගලවාගන්නට නිරන්තර සටනක යෙදෙන වසර ගාණක සිට ඒ පිළිබඳ මාධ්‍ය හරහා උණුසුම් කතා බහක යෙදෙන ඇඩික් ආයතනයේ ප්‍රධාන වැඩසටහන් නිලධාරිනී කුමාරි වෙළගෙදර මහත්මිය අප හා එක් වූවා.

“මෙතැනදී මූලිකම දේ විවාහය සඳහා අප තෝරා ගන්න කෙනා කෙබඳු අයෙක් ද? යන්න පිළිබඳ අප තුළ ගොඩනැඟී ඇති ආකල්පයයි. මේ ආකල්ප කෙනකුගේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරන්නට හැකි බව මේ ලිපිය කියවීමේ දී ඔබට වැටහෙයි.

අද සමාජයේ යුවතියන්, එදා සමාජයේ යුවතියන්ටත් වඩා බාහිර ආකර්ෂණයට ජීවිතයේ වැදගත්ම තීරණය ගැනීමට ඉඩදී තිබේ. විවාහය වැනි ජීවිතයේ අතිශය වැදගත් දේකදී පවා මේ බාහිර ආකර්ෂණයට මුල් තැනදීම තුළින් පවුල් සංස්ථාව අතර පසුව හටගන්නා අර්බුද බොහෝමයි. විවාහය යනු දවසකින්, දෙකකින් නිමාවන දෙයක් නොවේ.

හැන්ඩ්සම් සහකරුවෙක්

යුවතියක් නම් තමන් තෝරාගන්නා සහකරු සමඟ මුළු ජීවිතයක්ම ගත කළ යුතුය. මේ නිසා විවාහයට සහකරුවකු තෝරා ගැනීමේදී හිතන්නට ඇති දේ බොහෝයි. අද යුවතියන් බොහෝ දෙනකු බලන්නේ හැන්ඩ්සම් තරුණයකු තම සහකරු කරගැනීමටය. විවාහ වන ඔහු උස ද? සුදු ද? මහත ද? විනෝදකාමී ද? කියා බලයි. මේ ටික සම්පූර්ණ නම් ඔහු තමා තමුන්ට ගැළපෙන්නේ කියා සිතයි.

ජිවිතාවබෝධය හරිම වැදගත්

බාහිර පෙනුමට මුල්තැන දීම මහත් අවාසනාවන්ත තත්ත්වයක් බව මේ යුවතියන් දන්නේ නෑ. පුහු ආටෝපයන් සඳහා ඇති ඉඩ අවමය. යුග දිවිය තුළදී මේ උස, මහත, ලස්සන ඒ තරමට වැදගත් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ හොඳ ජීවිතාවබෝධයයි. කොටින්ම, වගකීමක් දැරිය හැකි බවයි. වගකීම යනු විවාහ ජීවිතය තුළ දැවැන්ත රුක්ෂයකි. මේ රුක්ෂය නොසැළී හිඳින තාක් විවාහ ජීවිතයේ හරය, රසය යන දෙකම එක සේ පවතිනු ඇත. බිරිය, ස්වාමියාට ද ස්වාමියා බිරියට ද ඒ අයුරින්ම තමන් සතු වගකීම ඉටු කරයි නම් ඒ යුග දිවිය සාර්ථකයි.

වගකීම් විරහිතබව

වගකීම් දැරිය හැකි පුද්ගලයෙක් ද යන්න බැලීමේ දී ඔබ හොඳ අවබෝධයෙන් හිඳින්න. අද පවුල් සංස්ථා බොහෝමයක් විනාශ වීමට තුඩු දී ඇති කරුණක් තමයි මුලින්ම වගකීමෙන් කටයුතු කළ හැකි අයෙක් තම සහකරු හැටියට තෝරා නොගැනීම. මුලදී බැලුවේ ඔහුගේ ලස්සනය. සැහැල්ලුවය. යානවාහනය. ජීවිතයට මේ ටික ඇතියැයි සිතුහ. ප්‍රශ්න ඇතිවූයේ පසුවයි. යුග දිවියේ එකින් එක වගකීම් මඟහැරී යද්දී දෙදෙනා අතර කතාබස් ඇතිවිය. විටෙක ගැටුම් ද ඇතිවිය. පවුල් ජීවිතය නීරස වන්නේ ඉන් පසුවය.

 

මේ තත්ත්වය මුලදී තේරුම් ගත්තා නම් අපේ කාන්තාවන්ගේ යුග ජීවිත තුළ මේසා ප්‍රශ්න ඇති වන්නේ නැත. බලන්න, අද පවුල් සංස්ථාව තුළ වැඩිපුරම ගැටලු ඇතිවන්නේ මේ වගකීම් පැහැරහැරී යාම සම්බන්ධවය. අපි උදාහරණයක් ගෙන බලමු.

මත්පැන්, විවාහ වෙන්න කලින් පෙම්වත් අවධියේ ඔහු ගත්තේ විනෝදයටය. යහඵවන් සමඟ හැමදාම හවසට ඔහු ජීවිතය විඳින්නේ සෙට්වීම තුළිනි. හැමදාම පාර්ටිය. විටෙක මේ පාර්ටි සඳහා සිය පෙම්වතිය ද ඔහු කැටුව යනු ඇත. මෙවැනි අවස්ථාවල අපේ කාන්තාවන් හිතන්නේ මේ සතුට විවාහය තෙක් පමණයිනේ කියාය. අපේ කතුන්ට විශාල ලෙස වරදින තැන මෙතැනය. ඔබ චුට්ටක් බලන්න හොඳ අවධානයෙන්, යහළුවන් හා එකතු වී මධුවිත තොල ගාද්දී ඔහු ඔබ ගැන සොයාබලන කාලය ගැන. එය බෙහෙවින්ම අඩුයි නේද? ඔහුගේ දින චරියාව ගෙවෙන්නේ එකම සිද්ධි දාමයක් තුළ ද කියලා බලන්න. ඒ තුළ ඇත්තේ වැඩ, අරක්කු, යහළුවන් ද? මෙහෙම පෙම්වතෙක් නම් ඔබට හිතන්නට ඇති දේ බොහෝය.

 

පළල් ජීවිතයක් ගත කරන පෙම්වතකු තුළ කාන්තාවන්ට ඔහු ගරු කරනවා ද? කලාකාමී ද ? රාජකාරි මැනවින් ඉටු කරනවා ද? විනෝදාංශ තිබෙනවා ද? අරක්කු ගැන දරන මතය යහපත් ද? යන්න ගැන බලන්න. ඒ වගේම ඔහු ගැන හොඳ වැටහීමකින් ඉන්න. ඔහු කරන කියන දෑ... කාන්තාව ගැන ඔහුගේ හිතේ ඇති දෑ... සමාජය දෙස බලන අයුරු ගැන මනා අවබෝධයක් ලබාගන්න.

අදහස් දැක්වීම
ඇඩික් ආයතනයේ ප්‍රධාන වැඩසටහන් නිලධාරිනී
කුමාරි වෙළගෙදර


 

2019/06/12 තරුණි බලන්න