ලොවම රැවටූ දස නිවුන් දරු උපත

පසු විපරම
ජුනි 23, 2021

 

කෝවිඩ් රෝගය නිසා ලොව පුරා මිනිසුන් මරණයේ භීතිකාවෙන් වෙලී සිටිය දී විස්මය මුසු සතුටුදායක ආරංචියක් පැතිරුණි. ලක්ෂ ගණනක් මිය ගොස් සිටිය දී මෙන්ම මරණය කොයි මොහොතේ අප ආක්‍රමණය කරාවිදෝයි සිතමින් සිටි මිනිසුන්, වර්ග, ජාති, වර්ණ, උස්, පහත් බේදයකින් තොරව සතුටු වූයේ අප්‍රිකානු කාන්තාවක් නිවුන් දරුවන් දස දෙනකුට උපත ලබා දුන් පුවතිනි.

පසුගිය සතියේ දී ලොව ම සතුටු කරවූ මේ පුවත මේ සතිය වන විට රැවටීමක්, වංචාවක් බවට හෙළි වී ඇත.

රැවටීම, වංචාව, බොරුව අප අවට ලෝකයේ කොතෙක් පැතිර තිබේද කියතොත් එය තමාගේ ආදරණීයයන් පවා ප්‍රයෝජනයට ගැනීමට තරම් නින්දිත වී ඇත. ලොව පුරා මාධ්‍ය, බී.බී.සී සේවය පවා මේ ප්‍රවෘත්තිය වාර්තා කළේ එය ලෝක වාර්තාවක් බවට ද පවසමිනි. එහෙත් තමාරා සිතොලේ නැමැති කාන්තාව ඇගේ සැමියා යැයි පැවසූ තැනැත්තා සිදු කළේ වංචාවක් බව දැන් පවසන්නී ය. ඔහුට අවශ්‍ය වූයේ දරුවන් වැඩි ප්‍රමාණයක් ඉපදුණු බව පවසා මූල්‍යාධාර ලබා ගැනීමට බව පවසන ඇය, මේ සඳහා තමාට විශාල කුසක් ඇති සේ වෙස් ගන්වා ඡායාරූප ලබා ගෙන ඒවා මාධ්‍ය වෙත නිකුත් කළ බව ද පවසා ඇත.

පසුගිය මාසයේ මාලී රාජ්‍යයේ අවිවාහක කාන්තාවකට නිවුන් දරුවන් නවදෙනකු ලැබීමත්, ඇයට බොහෝ මුදල් ආධාර ලැබීමත් නිසා තමාගේ රැකියා විරහිත පෙම්වතාගේ සිතට මේ අදහස පැමිණ ඇති බව ද තමා මෙය මෙතරම් දුරදිග යන බවක් නොසිතූ බව ද පැවසුවාය. මේ වන විට ඔහුට බොහෝ ආධාර මුදල් විවිධ සංවිධාන හා පුද්ගලයන්ගෙන් ලැබෙමින් පවතින බවත් එය වැරැදි සහගත දෙයක් බැවින් තමා මෙසේ ඒ ගැන දැනුම් දෙන බවත් ඇය පවසා ඇත. මේ වන විට පෙම්වතාගෙන් තමා වසංවී සිටින බවත් තමාට සමාජයට මුහුණ දීමට අපහසුතාවක් ඇති බවත් ඇය පවසා ඇත. මේ සියල්ල ඇය පවසා ඇත්තේ වීඩියෝ හඬපටයක් අන්තර්ජාලයට මුදාහරිමිනි.

මේ අනුව නිවුන් දරුවන් නව දෙනකුට උපත ලබා දුන් හලීමා සිසේ එකවර වැඩිම නිවුන් දරුවන් ප්‍රමාණයකට උපත දුන් මව ලෙස තැබූ ලෝක වාර්තාවට තවදුරටත් උරුමකම් කියයි.

මේ සිදුවීම අපේ කාන්තාවන්ට ද සිතන්නට යමක් ලබා දෙන සිදු වීමකි. කාන්තාවන් ආදරයේ දී බොහෝ සේ හැඟීම්බරව ක්‍රියා කරයි. එය සාමාන්‍ය ගැහැනු ස්වභාවයයි. බොහෝ අය කාන්තාවන් අවතක්සේරු කරන්නේ ද, පහසුවෙන් ම රැවටීමට හැකි බව පවසන්නේ ද මේ නිසයි. හැඟීම්බර බව මෙන්ම කාන්තාවන්ට ස්වභාවයෙන් ම උරුම වූ තවත් අගනා දේ බොහොමයකි. ඉන් කාන්තාවන්ටම සුවිශේෂී වූ යම් දෙයක් පිළිබඳ දිගින් දිගට සිතීම, කාන්තා ඉව ද ඇත. තමාට අනතුරක් වන්නේ නම් ඒ බව සිතට ඉවෙන් මෙන් දැනීම ද කාන්තා ස්වභාවයයි.

අතීතයට වඩා අද කාන්තාවන් බොහෝ සේ දැන උගත් ය. තමා තුළ ඇති හැඟීම්බර බව මේ නිසා බුද්ධියෙන් සිතා යම් කටයුත්තක් කිරීමට හැකියාව තිබිය යුතුය. සත්‍ය ලෙසම තමාරා නැමැති එම කාන්තාව ඇගේ පෙම්වතා විසින් රැවටීමකින් මේ සා විශාල වංචාවකට හවුල්කර ගත්තේ ද නැතිනම් ඇය කැමැත්තෙන් එයට හවුල් වූවාදැයි අපි නොදනිමු. නමුත් ඇයට තම බුද්ධිය මෙහෙයවා කටයුතු කළා නම් සමාජ අපවාදයන්ට ගොදුරු නොවී සිටීමට ඉඩ තිබිණි.

අද අප සිටින්නේ සියල්ල අභිභවා මුදල් රජ වූ ලොවකයි. සියලුම දේ මිනිසුන්ගේ හැඟීම් පවා ආර්ථික වටිනාකමක් වී ඇති සමාජයක ඇතැම් විට අප ද නොදැන අපි විකිණෙන්නට හැකිය. තාක්ෂණයේ දියුණුව ද මේ තත්ත්වය තවත් තීව්‍ර කිරීමට හේතු වේ. මේ නිසා කාන්තා ඔබ සෑම මොහොතකම තීන්දු තීරණ ගත යුත්තේ, ක්‍රියා කළ යුත්තේ තමාගේ ආරක්ෂාව, අනාගතය ගැන සිතමිනි. ඔබ මවක් නම් ඔබේ තරුණ දියණියට හැකි පමණින් මේ බව කියා දී ඇය දැනුවත් කරන්න. එපමණක් නොවේ, ඔබේ හය හතරක් නොදන්නා සිඟිති දරුවන් පවා හැකි තරම් ප්‍රවේසම් කරගන්න.

බොහෝ විට බොහෝ කාන්තාවන් රැවටෙන්නේ, වංචාවන්ට හසුවන්නේ ආදරය මුවාවෙන් එන වංචනිකයන්ට ය. එබැවින් සිහි නුවණින් යුතුව දිවි ගමන ජය ගැනීමට මේ සිදු වීම අප හැමට ම ආදර්ශයකි. එමෙන්ම වංචාවක් කිරීම මෙන්ම වංචාවකට අනුබල දීම ද වැරැදි ක්‍රියාවක් බව හැම දෙනකුම සිහි තබා ගත යුතු ය. අප යමක් කිරීමට පෙර එහි ප්‍රතිඵලය කුමක් වේදැයි එක් වරක් නොව, කිහිපවරක් වුවද සිතා බැලිය යුතුය. එවිට තමාරා සිතොලේට මෙන් මම එය මෙතරම් දුර යාවි යැයි සිතුවේ නැතැයි පැවසීමට සිදු වන්නේ නැත.