වන්නිලැඇත්තන්ගෙ පරපුරෙන් මුල්වරට සාමාන්‍ය පෙළ සමත් වූ නයෝමිගේ කතාව

ඔක්තෝබර් 13, 2021

*මගේ බලාපොරොත්තුව ගුරුවරියක් වීමයි.

- නයෝමි

 

කොරෝනා වයිරස් උවදුර නිසා කල් ගිය සාමාන්‍ය පෙළ ප්‍රථිපල නිකුත් වීමෙන් සතුටට පත් දරුවන් අතර තම ප්‍රතිඵල ගැන සතුටු වන, එය තම වරිගයටම ආඩම්බරකමක් එක්කළ කැකුළියන්ගේ කතාවකි මේ.

යූ. බී, නයෝමි හේමමාලි හා යු. බී. අයෝමි හේමමාලා දියණියෝ ගියවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ආදි වාසි දැරියන්ය. අයෝමි හා නයෝමි ආදී වාසි නායක වන්නියලැත්තන්ගේ වැඩිමහල් පුතු වන ගුණබන්ඩාගේ බාල දියණියන් දෙදෙනාය. මේ දියණියන් දෙදෙනාම නිවුන් දැරියන් වීම විශේෂය.

“මයෙ අම්මි විමලාවතී. අප්පච්චි ගුණබන්ඩා. අපිට ඉන්නවා අක්කා කෙනෙක්. ඇය විවාහ වෙලා ඉන්නේ. අපි උපන්නේ 2004 වසරේ. නංගියි මමයි යන්නේ දඹාන කණිෂ්ට විද්‍යාලයට. ඉස්කෝලේ යන්න පෙර අපි දෙන්නම ගියේ කැලෑකුසුම් පෙර පාසලට. ඉස්කෝලේ ගියාම ගුරුවරුන්ට වගේම ළමයින්ටත් අපිව මාරුවෙනවා. පාසලේ එක ක්‍රීඩා උත්සවයකදී මගේ සහතික ටිකත් නංගිටම දීලා තිබුණා. නංගියි මමයි වැඩිපුරම කැමැති වොලිබෝල් ක්‍රීඩා කරන්න. මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් අටක් සම්මාන තුනක් සහිතව පාස් වුණා. නංගි විෂයන් පහයි සම්මාන දෙකයි. මට මගේ ප්‍රතිඵල ගැන සතුටුයි. ගණිතයට, ඉංග්‍රීසි, පුරවැසි අධ්‍යාපනයට, බුද්ධාගමට මට ‘එස්‘ සාමාර්ථ. සිංහල හා චිත්‍ර විෂයට ‘සී‘ සාමාර්ථ වගේම සෞඛ්‍ය විෂයට ‘බී‘ සාමාර්ථ ලැබී තියෙනවා. අපි අමතර පන්ති ගියේ නැහැ. පහුගිය කාලේ කොරෝනා වසංගතය නිසා පාසල් වහලා තියෙන කාලේ අපි යාළුවෝ එක ගෙදරකට එකතු වෙලා පාඩම් කළේ . අපිට වෙනත් පාසල් වල අයට වගේ පහසුකම් නැහැ. මුල ඉඳලම මගේ හිතේ තිබුණා විභාගය සමත් වෙන්න ඕනය කියලා. අපේ සීයා ඒ කියන්නේ නායකතුමා කියනවා ආදි වාසි පවුලේ කවුරුවත් මීට පෙර සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා නැහැ කියලා. සීයා අපට හරි ආදරෙයි. ආච්චිත් එහෙමයි. ඒත් ආච්චි මැරුණනේ. ඒ ගැන නම් අපට හරිම දුකයි. අපෙ අම්මි කවදාවත් ඉස්කෝලේ ගිහින් නැහැ. අප්පච්චි ඉස්කෝලේ හයේ පන්තියට විතරයි ගිහින් තියෙන්නේ. අප්පච්චිටයි අම්මිටයි නම් හොඳටෝම සතුටුයි මම පාස් වුණ එක ගැන . නංගි විෂයන් අඩුවෙන් අසමත් වුණ එක ගැන අපි හැමෝටම දුකයි. ඒත් දැන් නංගි දෙවන පාර විභාගය ගන්න කැමැත්තෙන් ඉන්නේ. අප්පච්චි අපට කියන්නේ කොහොම හරි ඉගෙන ගන්න කියලා.

ප්‍රතිඵල පිටවුණා කිව්ව දවසේ අපට හරි සතුටුයි. ඒ වගෙම් දුකයි. ඉස්සෙල්ලාම මගේ ප්‍රතිඵල බැලුවා .. ඉන් පස්සේ තමයි නංගිගේ බැලුවේ. කොහොම හරි ඊළඟ පාර නංගිව පාස් කරගන්න ඕන....“නයෝමි පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙනි. “අම්මියි අප්පච්චියි අපට හරි ආදරෙයි. අප්පච්චි නම් හැමදාම උදේ සීයා ගේ ගෙදර ගියාම ආයේ ගෙදර එන්නේ මහ රෑවෙලා. ඒත් අම්මි නම් අපිත් එක්කමයි ඉන්නේ. කොහේ ගියත් අපි දෙන්නා සමඟ තමයි අම්මි යන්නේ. අම්මි ගෙදර කීකිරිදිය ඇට මල් පෝච්චි හදනවා. මම විභාගය ආයෙම කරනවා. ඊළඟ වතාවේ කොහොම හරි පාස්වෙනවා. “ අයෝමි පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙනි.

දියණියන් දෙදෙනෙකුගේ උස්මහත් කර ගැනීම පහසු නැත. එය වඩාත් අමාරු වන්නේ දරුවන් නිවුන් දරුවන් වූ විටය. අයෝමි හා නයෝමි ගේ බාල විය සිහිපත් කරන ඔවුන්ගේ මව විමලාවතී.

“අපේ ආදි වාසි පවුල් වල අයගෙන් මට විතරයි නිවුන් දරුවෝ ඉන්නේ. මේ අය පොඩි කාලෙ නම් හුඟක් දුක් වින්දා හදා ගන්න. මගෙ දරුවෝ දෙන්නම ඉතාම හොඳයි. එයාලා අපට හරි ආදරෙයි. දෙන්නත් එක්ක ගෙදර හැමදේම කරනවා. උයන්නත් දන්නවා. රෙදිත් හෝදනවා. මට හිටපු ගමන් කැරකැවිල්ලක් හැදෙනවා. ඒ නිසා දුලා දෙන්නා මාව බලා ගන්නවා. අපට හරි සතුටුයි දුව පාස් වුණ එක ගැන . අනෙක් දුවටත් උගන්වා ගන්න තමයි අප බලන්නේ. ලොකු දුව විවාහ වෙලා ඉන්නේ . මේ දෙන්නා පුංචි දවස් වල අපට මාරු වෙනවා. බෙහෙත් පොවන කොට එක් කෙනකුට පොවලා ලොකු දුව අතට දෙනවා. එයාව අරගෙන වෙන අතකට යන්න කියලා. ඉන් පස්සේ තමයි අනිත් කෙනාට බෙහෙත් පොවන්නේ. දැන්නම් දෙන්නාව හොඳට මතකයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මේ දරුවෝ අපට සම්පතක්. ....“

කුසුමාවතී පවසන්නේ සිය දියණියන් දෙදෙනා ගැන අපමණ සතුටෙනි.

වන්නි නායකඇත්තන්ගේ වැඩිමල් සොයුරියකගේ දියණිය වන විමලාවතී සිය විවාහය සිදූවු අයුරුද සිහිපත් කළාය.

‘‘එක දවසක් ගුණබන්ඩා ඇත්තන් ඇවිල්ලා යාළු වෙන්න ඇහුවා. ඒත් මගෙ නම් කැමැත්තක් තිබුණෙ නැහැ. ඉන් පස්සේ අපේ සීයා තිසාහාමි තමයි මේකට මැදිහත් වුණේ. අපි දෙන්නා කවදාවත් රණ්ඩු සරුවල් වෙලා නැහැ. මම කැමැතියි මගෙ දරුවෝ දෙන්නා හොඳින් ඉගෙන ගෙන ගුරුවරු වෙනවා නම්. මේ දරුවෝ දෙන්නා සම්පතක් කියලයි මම හැමවෙලේම හිතන්නේ. මොන දුෂ්කරතා තිබුණත් මේ කැලැ ගමේ අපි බොහෝම සතුටින් ඉන්නවා.... “ විමලාවතී පවසන්නේ තම දියණියන් දෙදෙනා ගැන උපන් කරුණාවෙනි.

“ මං කැමැතියි මල් වවන්න. අපෙ අම්මිත් මල් වවන්න කැමැතියි. අපේ මිදුලේ අපි නම නොදන්න මල් ගොඩක් තියෙනවා. අපේ පාසලේ ගුරුවරු අපට හරි ආදරෙයි. අපිට ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් මගෙ බලාපොරොත්තුව මගෙ අම්මගේ ආශාව ඉටුකිරීම. ඒ තමයි ගුරුවරියක් වීම...“ නයෝමී පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙනි.