බෝඩිමක ඉන්නවිට ආහාර පාලනය කරන්න බැරිද?

ලෙඩ අඩුකර ඇඟ හැඩ කරන අලුත්ම ක්‍රමය
අප්‍රේල් 25, 2022

 

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් අන්ත අසරණ තත්ත්වයට පත්වේ. නිරෝගීව සිටිනතාක් ජවය, බලය ඇතත් රෝගී වූ විට තත්ත්වය එයට වෙනස් ය. නමුත් ඇතැම් ලෙඩ රෝග අපිට වැළඳෙන්නේ අපේ ම වරදිනි. වැරැදි පුරුදු බොහෝ විට එයට මූලික හේතුවයි. ආහාර සම්බන්ධයෙන් ද අපට බොහෝ වැරැදි පුරුදු පවතී.

 

වන්නකු මෙතඩ් යයි පවසන්නේ බොහෝ විට අප ඒ වැරැදි පුරුදු නවතා හොඳ පුරුදු ඇතිකර ගැනීමයි. මේ අනුව ඔබ පුරුදු විය යුතු හොඳ පුරුදු පිළිබඳ වන්නකු ක්‍රමය මඟින් අප මෙතෙක් කතා බහ කළෙමු.

ආහාර ගැනීමේ දී පිෂ්ටය හා සීනි ඇති ආහාර අවමකර ප්‍රෝටීන් හා මේදය අධික ආහාර ලබා ගත යුතුයි. මෙහිදී මේදය ලබා ගැනීමේ දී බටර්, පොල්, පොල් තෙල්, එළඟිතෙල්, ඔලිව් තෙල්, ආදී තෙල් වර්ග හා මී කිරි ලබා ගැනීම සුදුසු වන අතර එළවළු තෙල්, සූරියකාන්ත තෙල්, පාම් තෙල්, මාගරින් වර්ග ආදිය සුදුසු නොවේ.

ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා මස්, මාළු, බිත්තර ආදිය වැඩි වශයෙන් ආහාර වේලට එකතුකර ගත යුතුය. බිත්තර එක් වේලකට තුන හතරක් වුවද ගැනීම සුදුසු ය. බිත්තර වැඩි වශයෙන් ආහාරයට ගැනීම සෞඛයට හිතකර නොවේ යැයි බොහෝ දෙනා බිය වුවද එය පුහු බියකි. බිත්තර යනු විටමින් ගබඩාවකි.

ආහාර ගන්නා විට අපගේ ආහාර ගන්නා ප්‍රමාණය විය යුත්තේ පිඟානෙන් 1/5ක් පිෂ්ටය සහිත ආහාර (අල වර්ග, ඇට වර්ග, බත්, වට්ටක්කා, කොස්, දෙල් වැනි දේ), 1/5ක් කොළ පැහැති එළවළු (කරවිල, පිපිඤ්ඤා, පලා වර්ග, බණ්ඩක්කා, බෝංචි ආදිය), ඉතිරි 3/5 පිරවිය යුත්තේ මේදය හා ප්‍රෝටීන් සහිත ආහාර වලිනි.

මෙලෙස ආහාර ගන්නා විට බඩ පිරෙනතෙක් ම ආහාර ගත යුතුය. නැවතත් විටින් විට විවිධාකාර දේ ආහාරයට නොගැනීමට සිත පාලනය කරගත යුතුයි. ආහාර වේල් අතරතුර ඔබ ලබා ගත යුත්තේ වතුර පමණි. පොඩි බඩගිනි සඳහා විවිධ දේ ආහාරයට ගැනීම ඔබේ සිරුර රෝගී කරවීමට හේතු වේ.

බෝඩිමක හෝ නිවෙසින් පිට සිටින අයකුට වන්නකු ක්‍රමයට අනුගත වී ආහාර ගැනීම අසීරු බවට ඇතැම්හු මැසිවිලි නගති. නමුත් අප මොළයෙන් සිතා කටයුතු කරන්නේ නම් එය අපිට පහසුවෙන් බර අඩුකර ගැනීමේ අභියෝගය ජය ගත හැකිය. නමුත් ඔබ සකස් කළ ආහාර, ක්ෂණීක ආහාර වර්ග ගැනීම ද නතර කළ යුතුය.

උදෑසන ආහාරය හැකි පමණ පමා කළ යුතු අතර රාත්‍රී ආහාරය බිං කළුවර වැටීමට පෙර ලබා ගැනීම සුදුසම ක්‍රියාවයි. කජු හා රටකජු ද ඔබට මේ ආහාරවේල් සඳහා එකතුකර ගත හැකියි. රාත්‍රී ආහාරය සඳහා බිත්තර හතරක් පමණක් ගැනීම වුවද සෑහේ. ඔබට මෙහිදී බිත්තර හතර එකට දමා තෙලෙන් බැද ආහාරයට ගැනීමෙන් එය කුස පිරෙන්නටත් අවශ්‍ය පෝෂ්‍ය කොටස් ලබා ගැනීමටත් හැකියාව ලැබේ.

ඔබ හසව තේ සඳහා මාළු පාන්, බනිස්, බිස්කට් ආදිය සඳහා වියදම් කරන මුදල් රාත්‍රී ආහාරය වෙනුවෙන් වැය කළ හැකියි.

ඔබ නිතර ආහාර ගැනීම සඳහා යන ආපනශාලාවක් හෝ හෝටලයක් වේ නම් ඔවුන්ට ඔබේ අවශ්‍යතාව පවසා එලෙසින් ආහාරවේලක් සකසා දෙන ලෙස පැවසීමෙන් වන්නකු ක්‍රමයට අනුව ආහාර ගැනීමට හැකි වේ.

දිනකට වේල් දෙකක් ගැනීමේ 16-8 ක්‍රමය හෝ දිනකට එක් ආහාර වේලක් ලබා ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ඔබට පිටත රැඳී සිටීමේ දී ද මේ ක්‍රමයට ආහාර ලබා ගත හැකියි.

තමා විශේෂ ආහාර ක්‍රමයක් අනුගමනය කරන බැවින් ඒ වෙනුවෙන් මෙලෙස ආහාර සකසා දෙන ලෙස පැවසීමෙන් ඔබට අවශ්‍ය ආකාරයෙන් ආහාර වේලක් ලබා ගත හැකියි.

නමුත් කඩෙන් ආහාර ගැනීමේ දී ඔබ වැඩියෙන් ප්‍රවේශම් විය යුතු කාරණාවක් ද වේ. ඒ, දකින දකින ආහාර වර්ග, කෙටි කෑම වර්ග ආහාරයට නොගැනීමයි. ඒවා ඇසට දිවට පි‍්‍රය වුවද ඔබේ සෞඛ්‍යයට හොඳ නැති බව සිහියේ තබාගෙන අවශ්‍ය ආහාර පමණක් ලබා ගන්න.

මෙලෙසින් ආහාර ගැනීම ඔබට එතරම් අපහසු නොවනු ඇති. එමෙන්ම සිරුර නිරෝගී කරගෙන හැඩකාර සිරුරක් ද ලබා ගැනීමට හැකියාව ලැබේවි.

 

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය 
ජානක වන්නකු