"සනත් ජයසූරිය වගේ වෙන්න තමයි මගේ හීනය"

රශ්මිකාගේ ලකුණු 304 ක විස්මිත වික්‍රමය
දෙසැම්බර් 5, 2022

 

මාතර කියූ පමණින් අපගේ මතකයට එන්නේ සනත් ජයසූරියගේ පිති හරඹයයි. Master Blaster ලෙසින් ලොවක් හඳුනාගත් සනත් ජයසූරිය ක්‍රිකට් පිටියේම තම ආධිපත්‍ය පැතිරීමට සමත් වූයේ ආකර්ශණීය පිති හරඹයෙනි. සනත්ගේ පිති හරඹයත් ක්‍රිකට් පිටියත් මාතරත් අතර වූ සැබැදියාව ඉතා ප්‍රබලය. ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යයෙන් ඔද වැටුණු බොහෝ ආධුනිකයන් ඒ මඟ තෝරා ගත්තේ ක්‍රිකට් පිත්ත අතට ගනිමිනි.

 

මාතර රශ්මිකා සෙව්වන්දි.......

එලෙසින් ඒ මඟ තෝරාගත් තවත් ක්‍රීඩා තාරකාවකි. දකුණු ලක දෙසින් පායා එන ඒ ක්‍රීඩා තරුවේ ප්‍රතිභා කෞෂල්‍ය මැනවින් දැක ගන්නට හැකි වූ අවස්ථා ගණනාවකි. අනාගතය පිළිබඳ අපට බොහෝ බලාපොරොත්තු තැබිය හැකි රශ්මිකා ගැන අප මේ කෙටි සටහන තබන්නේ ඇයගේ දක්ෂතාවයට වටිනාකම් එක් කිරීමේ අදහසිනි.

 

මාතර අනුර විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන රශ්මිකා සෙව්වන්දි ශ්‍රී ලංකා 19 පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. ඇයගේ දක්ෂතාවය පිළිබඳ තරුණී පුංචි පිළිසඳරක යෙදුනේ මෙලෙසිනි.

 

"පසුගිය දවස් ටිකේ මේ පළාතේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණා. ඒ තරගාවලියේදී ගාල්ලේ දුටුගැමුණු මහා විද්‍යාලය සමඟ පැවැති තරගයේදී වාර්තාවක් තියන්න මට පුළුවන් වුණා. ඒ තරගයේදී පන්දු 94කදී ලකුණු 304ක් ලබා ගැනීම වාර්තාවක්. අපි ඒ තරගය ජයග්‍රහණය කළේ මගේ වාර්තාව නිසයි. දැන් මම අපේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව ලෙසයි ක්‍රීඩා කරන්නේ.

 

ඒ වාර්තාව මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මගේ හැකියාව නිසා 19 පහළ ජාතික කණ්ඩායමටත් ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. මම ජාතික කණ්ඩායමට තේරුණාට පස්සේ අපට ඉන්දියානු සංචාරයක් තිබුණා. හැබැයි අසනීප වුණු නිසා ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම ලබන අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙළ විභාගය ලියන්නේ. ඒ නිසා මට ලොකු කාලයක් ක්‍රීඩාවට යොමු වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ක්‍රීඩා කරන ගමන්ම ඉගෙනීමත් උපරිමයෙන් කරන්න මම උත්සාහ කරනවා.

 

අපේ තාත්තා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්. මට තව නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා. ඇත්තටම මගේ ලොකුම ආශාව ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යෑම තමයි. ඒකට දැන් මට අවස්ථාව ලැබිලා තියනවානේ. ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සනත් ජයසූරිය වගේ වෙන්න තමයි මගේ හීනය."