චෙස් ක්‍රීඩාවෙන් ආසියාවම මවිත කළ අපේ පුංචි දියණිය

ජනවාරි 23, 2023

චෙස් ක්‍රීඩාව අපගේ මොළයට සැබෑ අභියෝගයකි. එය මොළය වර්ධනය කිරීමට පමණක් නොව මාංසපේශීන්ගේ ශක්තිය වර්ධනය වන බව භෞත චිකිත්සකවේදයේ ද සඳහන්ව තිබේ. එසේම චෙස් ක්‍රීඩාව නිර්මාණශීලිත්වය ද වැඩි කරයි. මෙවන් වටිනා ක්‍රීඩාවක් පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත කිරීම කාලීන වටිනාකමකින් යුතු කටයුත්තකි. එසේම චෙස් ක්‍රීඩාව පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වෙමින් අපේ දුවා දරුවන් ජාතික තලයේ මෙන්ම අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණයක් හිමිකර ගැනීම අපට මහත් අභිමානයකි. තවද මෙවැනි දක්ෂතාවන් දක්වන පුංචි දුවා දරුවන් ගැන අපට අසන්නට ලැබීම ද භාග්‍යයකි.

 

චෙස් වැනි ක්‍රීඩාවක් පසුගිය දශක කිහිපය පුරා වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබුණේ අගනුවර වටා වූ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් කිහිපයක පමණකි. ඉහළ පන්තියේ සමාජ ස්ථරවල දක්නට ලැබුණු මේ ක්‍රීඩාව ක්‍රමිකව නාගරික, අර්ධ නාගරික ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් මේ වන විට ග්‍රාමීය ප්‍රදේශ කරා ද ව්‍යාප්තව ඇති ආකාරයක් දක්නට ලැබීම මහත් සතුටකි. පසුගිය කාලය පුරා ලෝකය පුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් පැවැති කාලය තුළ දරුවන් මාස ගණනාවක් නිවාස තුළ කොටු විය. එහිදී ඔවුන්ට නිවෙසින් පිටතට යෑමට පවා නොහැකි විය. මේ හේතුවෙන් චෙස් ක්‍රීඩාව නිවෙස තුළ සිටි දරුවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමට හැකි වූ ක්‍රීඩාවක් බවට ද පත් විය.

 

මෙවන් සුවිශාල වූ වටිනාකමකින් යුත් චෙස් ක්‍රීඩාවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට බස්නාහිර පළාතේ උතුරු ධර්මපාල මහා විද්‍යාලයේ එසඳි අහස්නා දියණියට හැකි විය. අවුරුදු 7න් පහළ බාලිකා වයස් කණ්ඩායම නියෝජනය කරමින් මේ තරඟාවලියට සහභාගි වූ මේ සිඟිති දියණිය Blitz අංශයෙන් ලෝකඩ පදක්කමක් ද රටවල් කාණ්ඩ අනුව පිරිනමන රන් පදක්කමද දිනාගැනීමට සමත් විය.

 

මේ ක්‍රීඩා තරඟාවලියට සහභාගි වෙමින් ඇය ලැබූ ජයග්‍රහණය උතුරු කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයට විශාල කීර්තියකි. එසේම ඇයගේ ජයග්‍රහණය චෙස් ක්‍රීඩාව පිළිබඳ ශ්‍රී ලාංකේය දරු පරපුර තුළ වැඩි උනන්දුවක් ඇතිකිරීමට හොඳම උත්ප්‍රේරණයකි. ඇය මේ ජයග්‍රහණය කරා මෙහෙයවමින් පුහුණු කිරීමට දායකත්වය දැක්වූ චෙස් උපදේශක අංජුල මිලාන් මහතා චෙස් ක්‍රීඩාව පිළිබඳ ප්‍රවීණයෙකි. එසේම පාසල් අතර චෙස් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන ගුරුවරයෙකි. ඔහුගේ කැපවීම නිසාම එහිදී අහස්නා දියණිය ජයග්‍රහණය කරා මෙහෙයවූ ආකාරය ගැන අපි ඔහුගෙන් විමසුවෙමු. ඒ පිළිබඳ ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි.

 

‘මම පාසල් චෙස් පුහුණුකරුවකු ලෙස වසර ගණනාවක් කටයුතු කරනවා. මේ පාසල වගේම බස්නාහිර පළාතේ තවත් ප්‍රධාන පාසල් කිහිපයකම උපදේශකත්වය දරනවා. මේ ආකාරයෙන් දරුවන් පුහුණු කරනකොට තමයි අහස්නා දියණිය මට හමු වුණේ. ඇයට අවුරුදු 7යි. නමුත් ඇයට හොඳ බුද්ධියක් තියෙන බව මට ඇය මගෙන් පුහුණු වෙන්න ආපු මුල් දවසෙම දැනුණා. මුලින්ම ඇය මගෙන් පුහුණු වීමට පළමු වසරේදී. මේ දරුවා වගේම තවත් දරුවෝ කණ්ඩායමක් අපි මේ පාසලෙන් ජාතික මට්ටමේ තෝරා ගැනීමේ තරගයට ඉදිරිපත් කළා. අහස්නා දියණිය එම තරගයෙන් ජය ලබා ගෙන තමයි ආසියානු තරඟාවලියට සුදුසුකම් ලබා ගත්තේ. මට හරිම සන්තෝෂයි ඇය දක්වපු දක්ෂතාව ගැන. මම හිතන්නේ මේ වගේ සැඟවුණු දක්ෂතා ඇති දරුවෝ අපේ රට පුරාම ඉන්න පුළුවන්. ඒ සඳහා සෑම විටම අපගේ ජාතික චෙස් සංගමය මඟපෙන්වීම ලබා දෙන්න සූදානම්.

 

මේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා බස්නාහිර පළාතේ පාසල්වල පාසල් සංවර්ධන සමිති ඉදිරිපත් වෙනවා. ඒ වගේ උනන්දුවක් දක්වන පාසල් තිබෙනවා නම් අපට පුළුවන් ඒ සඳහා ප්‍රවීණයන් ලබා දෙන්න. ඔවුන්ට පුහුණු සම්මන්ත්‍රණ, පුහුණු කඳවුරු පවත්වනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපත් සමඟ එකතුවෙන්න. දිවයිනේ ඕනෑම පාසලක මේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අපට මඟපෙන්වන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න දවසකින්, දෙකකින් බැහැ. හොඳට අවුරුදු කිහිපයක් පුහුණු වෙන්න වෙනවා. පෞද්ගලික පුහුණුවීම් කරන්න වෙනවා. නමුත් මේ ක්‍රීඩාව පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දියුණුකර ගැනීමට හොඳ අවස්ථාවක්. ඒ නිසා මේ ක්‍රීඩාව රට පුරාම ව්‍යාප්ත කරන්න පුළුවන් නම් අධ්‍යාපන අමාත්‍යාංශයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.”

 

ඔහුගේ උපදේශකත්වය තුළින් අහස්නා දියණිය ලැබූ ජයග්‍රහණය සඳහා මඟපෙන්වීම ලබා ීමට ධර්මපාල මහා විද්‍යාලයේ චෙස් පුහුණු සංගමය භාර ටී. රසිකා පෙරේරා මහත්මිය ද විශාල කැප වීමක් කරයි. ඇයගේ කැප වීමෙන්ම පාසල දියුණුව කරා මෙහෙයවීමට නිබඳව විදුහල්පති අනුර මොහොට්ටි මහතා දක්වන දායකත්වය නිසාම මේ වන විට මෙම විද්‍යාලය බස්නාහිර පළාත තුළ විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. බස්නාහිර පළාත් වොලිබෝල් ක්‍රීඩාවෙන් ද ඉදිරියෙන්ම සිටින පාසලක් ලෙසත්, අධ්‍යාපන ප්‍රතිඵල අතින් ද ප්‍රගතියක් ලබන පාසලක් ලෙස කොට්ටාව, මහරගම ප්‍රදේශවල ජනප්‍රියත්වයට පත්ව තිබේ.

 

 

ඡායාරූප - තුෂාර සංජීව