දල්ලෙන් උපන් අම්මා

මාර්තු 6, 2023

 

මල් තුහීනයෙන් පිරි තේ දලු යායට තවමත් හිරු එළිය හෙමිහිට එබිකම් කරයි. පුංචි නුවරඑළියේ රදැල්ල, සම්සෙට් වතුයාය පුරාම ඇත්තේ වෙනදා නැති කලබලයකි. නිහැඬියාව බිඳගෙන කඳු පන්ති මතින් ඇසෙන මෝලම් ශබ්දය දසත දෝංකාර දෙන්නේ මංගල සිරිය උතුරා ගනිමිනි. එක් පැත්තකින් ඇසෙන මෝලම් ශබ්දය පරයමින් තවත් පැත්තකින් ඇසෙන ප්‍රීති ඝෝෂා ශබ්දය හිරිගඩු පිපෙන සීතල පරයමින් දෝංකාර දෙන්නේ මුළු පළාතම දෙවනත් කරමිනි.

 

කඳු වළල්ල සිසාරා ඇසුනේ පළාතම දෙවනත් කරන සයිරන් නළා හඬකි. ‘කමෝන් තන්ගච්චි... කමෝන්... ෂුරුකා... ෂුරුකා...’ මුළු සමර්සෙට් වතුයායම පුරා තැන තැන යුවතියන් දලු නෙලන්නේ කඩි ගුළක් විලසිනි. මේ සියලුම යුවතියන් තම උපරිම හැකියාව හා ශක්තිය යොදවමින් තේ දලු කඩන මැෂිමක් ලෙසින් ඉතාම වේගයෙන් දලු නෙලන්නට වූයේ අප රටේ මුල්ම වරට පවත්වන දක්ෂතම තේ දලු කඩන යුවතිය තෝරා ගැනීමේ කිරුළ හිමිකර ගැනීමේ අපේක්ෂාවෙනි.

හේලීස් ආයතනයේ වතු සමාගම් සමූහය වන තලවාකැලේ, කැලණිවැලි සහ හොරණ වතු සමාගම් තුනට අයත් තේ වතු හැටක් පමණ පවතී. මේ වතු සියල්ලටම අයත් අංශ 200ක තේ දලු නෙළන ලියන් අතර පවත්වන මේ තරගාවලිය පළමු වරට ආරම්භ වූයේ පසුගිය වසරේදීය. මාස හයක පමණ කාලයක් තුළ මේ සියලුම අංශවල තේ දලු නෙළන ලියන් දස දහසක් පමණ ප්‍රාදේශීයව සහභාගී වූ අතර, අධියර 5කින් පැවැති එම තරගයේ අවසාන මහා තරගය පැවැත්වූයේ පසුගියදාය. තලවාකැලේ වතු සමාගමට අයත් රදැල්ලේ සමර්සෙට් වතුයායේ පැවැති මේ තරගය සඳහා 47 දෙනකු සහභාගී වූයේ මහත් උනන්දුවෙනි. ඉතා තියුණු තරගාවලියක් ලෙසින් පැවැති මේ තරගය මුළු කන්ද උඩරට පළාතට අලුත්ම අත්දැකීමක් වූ අතර, තම උද්වේගිමත් තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ තලවාකැලේ වතු සමාගමේ සමර්සෙට් වත්තේ දඹතලාව කොටසේ දලු නෙළන 37 හැවිරිදි ආර්. සීදේයි අම්මාය. වසර එකොළහකට වැඩි කාලයක් ඉතාම කැපවීමෙන් හා මහන්සියෙන් තම දහඩිය කඳුළු තේ දලු මත හෙළූ සීදේයි අම්මා ලැබූ මේ ජයග්‍රහණය ඇයට පමණක් නොව, සමර්සෙට් වතුයායටම මහත් ජයග්‍රාහී අභිමානයකි. එම අභිමානනීය ජයග්‍රහණයේ සතුට අති මහත් සතුටින් යුතුව ‘තරුණී’ සමඟ බෙදා ගත්තේ මෙවර කාන්තා දිනයට අලුත්ම වූ අරුතක් එක් කරමිනි.

 

“එදා තිබුණු තරගය මට හීනයක් වගේ. තවමත් මැවිලා පේනවා මම එදා තේ දලු කඩපු විදිහ. විනාඩි 20ට මම දලු කිලෝ දහයයි ග්‍රෑම් 450ක් කැඩුවා. හැබැයි මේක මම තනියෙන් ගත්තු ජයග්‍රහණයක් නෙවෙයි. මගේ මුළු වත්තම මට ආශිර්වාද කළා. මේ තරගය තියනවා කියලා දැනගත්තු දවසේ පටන්ම මට වත්තේ හැම කෙනෙක්ම උනන්දු කරපු නිසයි මම ජයග්‍රහණය කළේ. මම හැමදාම දෙයියන්ට කිව්වේ මම කරපු කැපවීමට මගේ අම්මයි තාත්තයි වින්ඳ දුක්වලට ණය නැති වෙන්න මේක දිනාගන්න ආශිර්වාද කරන්න කියලා. මේ ජයග්‍රහණය ගැන මට තියෙන්නේ සතුටකට වඩා ලොකු හැඟීම්බර වේදනාවක්. මගේ අම්මයි, තාත්තයි දෙන්නම වැඩ කළේ නුවරඑළියේ වතුවල. අපට උගන්වන්න සෑහෙන්න මහන්සි වුණා. නමුත් අපට තිබුණු ප්‍රශ්න නිසා උසස් පෙළ කරන්න බැරිව ගියා. සා.පෙළ විෂයන් තුනක් විතරයි සමත් වුණේ. අක්කා නම් උසස් පෙළ කළා. මට ඉස්කෝලේ ගියාට කිසිම සහතිකයක් නැහැ. අඩුම වශයෙන් ක්‍රීඩා සහතිකයක්වත් නැහැ. මට මේ ලැබුණු සහතික තමයි ජීවිතයේ පළමු සහතිකය සහ සම්මානය. ඒ නිසා මේ ජයග්‍රහණය තවමත් හීනයක් නෙවෙයි මම නැවත ඉපදුනා වගේ කියලා හිතෙනවා. අපට තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක මම මුලින්ම ගාමන්ට් එකක රැකියාවට ගියා. හැබැයි ඒ රස්සාව හරිම අමාරුයි. උදේ, රෑ නැතුව වැඩ කරන්න තිබුණා. කිසිම විවේකයක් නැහැ. මනසට පුදුම වදයක්. අන්තිමට මම ඒ රැකියාවෙන් ඉවත් වුණා. ඊට පස්සේ තමයි විවාහ වුණේ. 2011 අවුරුද්දේ තමයි මම විවාහ වෙලා මේ සමර්සෙට් වත්තට ආවේ. මගේ සැමියා මේසන් බාස් කෙනෙක්. දැන් අපට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකුම දුව මේ අවුරුද්දේ සා.පෙළට ලියන්න සූදානම්. තව පුතාලා දෙන්නෙක් අපට ඉන්නවා.

 

ඇත්තටම අපේ එකම බලාපොරොත්තුව මේ දරුවෝ තුන්දෙනාට උගන්වන්න. ඒ නිසා මට මේ ලැබුණු ලක්ෂ තුනම දරුවන්ගේ බැංකු පොත්වලට දාන්න තමයි ඉන්නේ. නැත්නම් මේ මුදල් අපට වියදම් වෙනවානේ. අපට මුලින්ම ඉන්න ගෙයක්වත් ඉඩමක්වත් තිබුණේ නැහැ. 2013දී අපට වත්තෙන් පුංචි ඉඩමක් ලැබුණා. ඒ ඉඩමේ අපටම කියලා ගෙයක් හදා ගත්තා.

මම දැන් සතුටු වෙනවා අද ඉන්න තත්ත්වය ගැන. අපි දරුවොත් එක්ක සතුටින් නිදහසේ එකට ජීවත් වෙනවා.

සිදේවී අම්මාට දක්ෂ අවංකම මවකි. ඇය තම රැකියාව ඉතාම සතුටින් මහත් කැපවීමෙන් යුතුව වසර 11ක කාලයක් කළ කැපවීමට උපරිම ගෞරවයක් හා සම්මානයක් හිමිව තිබේ. අහිමි වූ දේ වෙනුවෙන් කඳුළු සලමින් ළතවෙනවා වෙනුවට තමාට උරුම වූ රැකියාව උපරිම කැපවීමෙන් කළ ඇය හොඳම තේ දලු නෙළන්නිය ලෙසින් ගෞරවයට පත්වන්නේ ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් ද ලබමිනි. දස දහසක් වූ තේ දලු නෙලන්නියන් අතුරින් ඇය දක්ෂතම තේ දලු නෙළන්නිය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා තේ පරියේෂණ ආයතනයේ නිලධාරින් විසින් තරග විනිෂ්චය කළ අපක්ෂපාතී තරගයකිනි. ගුණාත්මකභාවය හා නියම ප්‍රමිතියට අනුව තේ දලු නෙළීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වූ මුල්ම තරගය ලෙස මේ තරගාවලිය ඉතිහාසගත වෙයි.

 

 

විශේෂ ස්තුතිය - මෙම ලිපිය සඳහා සම්බන්ධීකරණය සැපයූ තලවාකැලේ වැවිලි සමාගමේ ප්‍රාදේශීය සාමාන්‍ය කළමනාකාර කෝෂල විජේසේකර මහතා ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරී කෙනට් ගමගේ මහතා, මානව සම්පත් කළමනාකාර රාම් සුබ්‍රමනියම් මහතා සහ නුවරඑළිය ප්‍රාදේශීය වාර්තාකරු