වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
ඔයත් අනුන්ගෙන් උදවු ඉල්ලන කෙනෙක් ද?
දැන් අපි කියනවනේ අනුන්ට උදවු කරන එක ඉතාම හොඳ, මහත්මා කටයුත්තක් කියලා. ඒක බොරු නෙවෙයි. හැබැයි එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න සමහරු ඉන්නවා, අපිට තඹ සතේක උදවුවක් නෑ. අපිව මළාට මතක් වෙන්නෙත් නෑ. හැබැයි අපෙන් උදවුවක් ඕනෙ වුණු තැනදී ඔන්න අපිව මතක් වෙනවා. ලැජ්ජාවක් නැතුව කතා කරලා උදවුවත් ඉල්ලනවා. හැබැයි අපි කාර්යබහුල නිසා ඒ උදවුව කරන්න පරක්කු වුණොත් එහෙම කතා කරලා බණිනවත් එක්ක. “මට මේක කරගන්න තව ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා, ඒත් යාළුවා නිසා මම ඔයාට මුලින් කතා කළේ” වගේ ලයිනුත් දෙනවා. ඒ කියන්නේ මුන්දැට මේ උදවුව කරලා දෙන්න ලැබෙන එකත් අපිට ලැබෙන මහා භාග්‍යයක් විදිහට තමයි කතා කරන්නේ.
බැරිවෙලාවත් මේ කියන ආත්මාර්ථකාමී, යාළුවෙක්ව උදවුවක් ඕනෙ වුණහම විතරක් මතක් වෙන හාදයා තමන් නම්? ආන්න ඒක ප්‍රශ්නයක් නේ? එතකොට නිකමට හිතලා බලන්න අනික් මිනිස්සු අපි ගැන කොයිතරම් නරකට ද හිතනවා ඇත්තෙ කියලා. අන්න ඒ නිසා අපිට බැරි ද ඒ ආත්මාර්ථකාමී බව අඩුකර ගන්න?
මං උදවුවක් කරලා තියෙනව ද?
කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලන්න කලින් මේක පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කෙනා කවදාහරි මගෙන් උදවුවක් ඉල්ලලා තියෙනව ද? ඒ උදවුව කවදාහරි මට කරලා දෙන්න පුළුවන් වෙලා තියෙනව ද? ඒ උදවුව කරන එක මම හිතාමතාම පැහැර හැරලා තියෙනව ද? මම මීට කලින් කී පාරක් එයාගෙන් උදවු අරගෙන තියෙනව ද? මෙන්න මෙහෙම හිතලා බැලුවහම, ඒ කෙනා අපෙන් උදවුවක් කවදාවත් ඉල්ලලා නැතිනම්, අපිට අවශ්‍ය උදවුව ඉල්ලන්න පුළුවන්. හැබැයි අපි එයාට කතා කරන්නේ උදවුවක් ඉල්ලන්න විතරක් නම්, මීට කලිනුත් එහෙම උදවුවක් ඕනෙ වුණහම විතරක් එයාට කතා කරලා උදවු ඉල්ලගෙන තියෙනවා නම්, රෙද්දක් ඇඳගෙන ආයෙ උදවු ඉල්ලන්න යන්න එපා. ඒ වෙනුවට එයාට කතා කරලා, මීට කලින් මේ තරම් උදවු කළාට ස්තුති කරන්න. ඒකත් ලොකු දෙයක්.
ටච් එකේ ඉන්න ඕනෙ නේද ?
අපේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න දෙදාහ තුන්දාහ එක්කම ටච් එකේ ඉන්න එක කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් නෙවෙයි. හැබැයි කෙනෙක් අපිට ජීවිතේට එකපාරක් හරි සීරියස් උදවුවක් කරලා තියෙනවා නම්, ඒ කෙනා අපි ටච් එකේ ඉන්න අවශ්‍ය කෙනෙක් විදිහට හිතාගන්න ඕනෙ. ඉතින් එහෙම අපිට උදවු කරලා තියෙන අය, අපි යාළුවෝ විදියට සලකන අය එක්ක අපි ටච් එකේ ඉන්න ඕනෙ. පුළුවන් වෙලාවට කෝල් එකක් ගන්න. මැසේජ් එකක් දාන්න. දුකසැප හොයලා බලන්න. අපිට උදවු පදවු කරන යාළුවෙක්ට කරදරයක් වෙලා, අපි දන්නෙත් නැතිනම්, ඇත්තටම එතැන ප්‍රශ්නේ තියෙන්නේ කරදරයක් වුණා කියලා අපිට කියපු නැති යාළුවගේ නෙවෙයි. යාළුවා ගැන හොයලා බලන්න බැරි වුණු අපේ. අපි නිතර ටච් එකේ ඉන්නවා නම් යාළුවා කවදාවත් කරදරයක් වුණා කියලා අපිට නොකියා ඉන්නෙ නෑ.
හැමෝටම ප්‍රශ්න තියෙනවා
අපි කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලුවහම ඒ කෙනාට එක්කෝ ඒ උදවුව කරලා දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැතිනම් උදවුව කරන්න අමාරුයි කියලා කියන්න පුළුවන්. ආන්න එතකොට ඒ කෙනාට වගපල කියන්න කලින්, හිතින් හරි ඒ මනුස්සයාට බණින්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න එයා ඉන්න තැන ගැන. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ මනුස්සයාට ඒ උදවුව කරන්න බැරි නිසානේ ඒක නොකළේ. හැබැයි ඒක අපි ඒ මනුස්සයා ගැන අහිතක් ඇතිකර ගන්න පාවිච්චි කළ යුතු නැහැ. අන්න ඒ නිසා හැම තිස්සෙම අනික් මිනිහගේ සපත්තුවලට බැහැලා බලන්න, එයාගේ පැත්තෙත් සෑහෙන්න ප්‍රශ්න තියෙන්න පුළුවන් කියන එක ගැන.
මගේ දෙයක් මටම කරගන්න බැරි ද?
සමහරු ඉන්නවා, ඇත්තටම අනික් අයගෙන් ඉල්ලන්නේ තමන්ට කරගන්න බැරි උදවු නෙවෙයි. මෙහෙම අය එක්කෝ ලෝක කම්මැළියෝ. එහෙම නැතිනම් ලෝක අවස්ථාවාදියෝ. අන්න ඒ නිසා, කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න තමන්ට ඒ දේ කොයිතරම් දුරට කරගන්න පුළුවන් ද කියලා. සමහර වෙලාවට තමන්ම ඒ දේ කරන්න ගියහම පොඩි කට්ටක් කන්න වෙයි. ඒත් කමක් නෑ. ඒ වැඩේ එතකොට තමන්මනේ කරගෙන තියෙන්නේ. ආන්න ඒ විදියට තමන්ගේ වැඩ තමන්ම හැකිතාක් දුරට කරගන්න පුරුදු පුහුණු වෙනකොට, ඕනෙ දේටයි එපා දේටයි අනුන්ගෙන් උදවු ඉල්ලන්න තියෙන පෙළඹවීම, පුරුද්ද අඩු වෙනවා. ආන්න ඒක ලොකු දෙයක්!
ලෝකේ මැද ඉන්නේ මං නෙවෙයි
මෙන්න මේ ආකල්පය වෙනස් කරගන්න එක නම් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි. ඔය අපි කියපු තාලේ ආත්මාර්ථකාමී මිනිස්සු ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි, ලෝක බෝලේ කැරකෙන්නේ තමන් වටේ කියලා. ඒ නිසා තමන් හරිම ස්පෙෂල් කියලා. ඒ නිසා තව කෙනෙක්ට අපිට උදවුවක් කරලා දෙන්න ලැබෙන එකත් ඒ අයට ලැබෙන මහා භාග්‍යයක් කියලා. කියන්න කනගාටුයි. අපි කවුරුවත් වටේ ලෝක බෝලේ කැරකෙන්නෙ නෑ. අපි මොන තානාන්තරයක, මොන තත්ත්වයක හිටියත්, අපිත් අනික් හැම මනුස්සයෙක්ම වගේ කවදාහරි මැරිලා යනවා. ආන්න ඒ නිසා, ඔය ලොකු සීන් අතෑරලා දාන්න. අනික් අයට වඩා තමන් ගැන මහ ඉහළින් හිතාගෙන ඉන්න ආකල්පය අතෑරලා දාන්න.
හදවතින්ම ස්තුතිවන්ත වෙන්න
මෙන්න මේක බොහොම වැදගත් එකක්. අපිට වචනෙකින් හරි එක පාරක් හරි උදවුවක් කරපු මනුස්සයෙක්ට හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. අපිට කෙනෙක් උදවුවක් කළාට පස්සේ හෘදයාංගමව ඒ කෙනාට ඒ උදවුව වෙනුවෙන් ස්තුති කරන්න. ඒ වගේම අපෙන් කවදාහරි ඕනෙම උදවුවක් අවශ්‍ය වුණු වෙලාවට, අපිත් එයා වෙනුවෙන් ඉන්න බව කියන්න. ඒ වගේම, හැකිතාක් දුරට ඒ වචනේ නොපිරිහෙළා ඉෂ්ට කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අපිට කෙනෙක් උදවුවක් කරපු විටකදී ඒ කෙනාගේ උදවුව අපි මහත්සේ අගය කරපු බව පෙන්නන්න අපිට ස්තුති කරනවා වගේම තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි තෑග්ගක් දෙන එක. ඇත්තටම ඒක උදවුවට තෑග්ගක් හිලව් කිරීමක් නෙවෙයි. අපි ඒ උදවුව කොයි තරම් අගේ කරනව ද කියලා පෙන්නන ටෝකන් එකක්.
අතීතේ අතීතෙට එකතු කරන්න
දැන් අපි කියමු අපි මෙච්චර කල් අතිශයින්ම ආත්මාර්ථකාමී, කාටවත් උදවුවක් නැතිව හැබැයි හැමෝගෙන්ම උදවු ගන්න ජාතියේ කෙනෙක් වෙලා හිටියා කියලා. එතකොට හෙට ඉඳන් අපි වෙනස් වුණා කියලා කාගෙන්වත් හොඳක් අහන්න ලැබෙයි ද? සමහර විට නෑ. ඒත් ඒකට කමකුත් නෑ. ඇත්තටම අපි වෙනස් වෙන්න ඕනෑ ලෝකෙන් හොඳ අහන්න නෙවෙයි. අපේ ආත්ම තෘප්තිය උදෙසා. අපිට අපි ගැන හොඳ හැඟීමක් ඇතිවීම උදෙසා. ආන්න ඒ නිසා මෙතෙක් තමන් ජීවත් වුණු විදිය, ආකල්පය වැරදියි කියලා තේරුම් ගියා නම් හෙට ඉඳන්ම, අද ඉඳන්ම තමන්ව වෙනස් කරගන්න. අර පරණ තිබුණු ආත්මාර්ථකාමී ගති අයින් කරලා පරාර්ථකාමී ගති ජීවිතේට එකතු කරගන්න. අතීතේ අතීතෙටම එකතු වෙන්න දෙන්න. හෙට නැතිවුණත් කවදාහරි මිනිස්සු අපේ අතීතේ අමතක කරලා, වර්තමානේ ඉන්න පරාර්ථකාමී මනුස්සයාගේ හොඳ කියන්න පටන් ගනී.