පිරිමි ආදරේ තමන්ගේ දරුවන්ටයි අනුන්ගේ ගැහැනුන්ටයි

නොවැම්බර් 25, 2024

මේ ජීවිත ගමනේදී ඉදිරි ජීවිතය සුබවාදී ද අසුබවාදී ද යන්න තීරණය වන වැදගත් කඩඉමකි විවාහය. දෙදෙනෙක් ආදරයෙන් අතිනත ගන්නේ දහසකුත් බලාපොරොත්තු සමඟිනි. සතුටින් ජීවත් වීම, දරුවන් හැදීම, ධනය අතින්, අධ්‍යාපනය අතින් පොහොසත් වීම ඒ බලාපොරොත්තු අතර ඉහළින්ම තිබෙන බලාපොරොත්තු කිව්වොත් හරි. හැබැයි ඒ හැමදේම හිතන්න, දකින්න හොඳ අවබෝධයක්, හොඳ නුවණක් තිබිය යුතුයි.

කාන්තාවකට ඒ අවබෝධය අතිශයින්ම වැදගත්. මොකද හැමෝම වගේ කාන්තාව දකින්නේ හැඟීම්බර, දුර්වල අදහස් තියෙන කෙනෙක් කියලා. ඒවගේම තවත් කෙනෙක් හිතනවා ගැහැනු අයට හැඳි මිටේ නුවණ තමයි තියෙන්නේ කියලා. ඒ හැම කතාවක්ම මිනිස්සු තමන්ගේ වාසියට හදාගත්ත දේවල්. නමුත් මම හිතන්නේ කාන්තාව තමයි මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම කෙනා. ගොඩක් ආපදාවලදී, අසීරුම අවස්ථාවලදී පවුලම ගොඩ අරගෙන ඉස්සරහට යන්න පුළුවන් එකම චරිතය කාන්තාව. ඒකට හොඳම උදාහරණය මෙවර මහමැතිවරණය. ලංකාවේ කිසිම කාලෙක සිදුනොවුණු විදිහට අද කාන්තාවන් වැඩි දෙනෙක්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඕනෑම සමාජයක කාන්තාවට අත තිබ්බොත් ඒ පවුලම කඩාගෙන වැටෙනවා. ඒ නිසා සමාජයටත් වගකීමක් තියෙනවා කාන්තාව පරෙස්සම් කරගන්න. පවුලක ගෘහමූලිකයා පිරිමියා කියලා කිව්වට අද බොහෝ පවුල්වල ගෙදර මූලිකයා විදිහට කටයුතු කරන්නෙ කාන්තාව. පවුල කියන ඒකකයේ සතුට හෝ දුක තීරණයේ වෙන්නේ මවගේ ආකල්ප, තීරණ ගැනීම්, හැසීරිම් මතයි. හරියටම කිව්වොත් මව සතුටින් නම් පවුලම සතුටින්. හැබැයි මව ඉන්නේ එපා වෙලා, කලකිරිලා, දුකින් නම් පවුලේ අනිත් අයටත් උදා වෙන්නේ ඒ තැනමයි. ඒ නිසයි පවුලක අම්මා නිතරම සතුටින් තැබිය යුතු වෙන්නේ. පවුල් ජීවිතය ගෙනියද්දී හොඳ වගේම නරක දේවලුත් පවුල ඇතුළට එන්න පුළුවන්. සැකය කියන්නෙත් ඒ වගේ දෙයක්. සැකයක් පවුල ඇතුළට ආවම ගොඩක් වෙලාවට මිනිස්සු ඒක පාර්ශ්වික තීරණ ගන්නයි වැඩි පෙලඹවීමක් තියෙන්නේ. අනෙක් කෙනාට කතා කරන්න දෙන්නේ නැහැ. අදහස් දක්වන්න දෙන්නේ නැහැ. "නෑ, ඒක එහෙම නෙවෙයි" කියලා කියන්න ඉඩ දෙන්නේ නැහැ. සමහර තැන් තියෙනවා මොකක් හරි දේකට තරහා වෙලා, වෙන් වෙලා ඉඳලා කාලෙකට පස්සේ තමයි ඇත්තම කතාව දැනගන්නේ. ඇත්තටම බැලුවොත් එයා නිර්දෝෂීයි. නිර්දෝෂිභාවය ගැන කතා කරන්නවත් ඉඩක් දීලා නැහැ.

සැකය කියන්නේ මේනියා ගණයට අයත්වන මානසික රෝගයක්. මේ රෝගයේ කෙළවරටම ගිය කෙනෙක් එක්ක ජීවත් වෙන එක හරිම අමාරුයි. එයා හැම තිස්සෙම දොරවල් ජනෙල් ලොක් කරල ද, මහත්තයගෙ ඇඳුම්වල හිසකෙස් තියෙනව ද ලිප්ස්ටික් ගෑවිලා තියෙනව ද කියලා බලනවා. ඉතින් බලන්න පුළුවන් හැමදේම බලනවා. අන්තිමට එහෙම හිසකෙස් හොයාගන්න බැරිවුණාම කොණ්ඩෙ නැති කෙනෙක් එක්කවත් ද මගේ මිනිහා යාළු වෙලා ඉන්නේ කියලා හිතන්න ගන්නවා. ඉතින් මේ සැකය කියන දේ ජීවිතවලට ඇතුළු වෙන්න හොඳ දෙයක් නෙවෙයි.

සැකය ඇති වෙන්න සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන භාවිතයත් සෘජුවම බලපානවා. දැන් දුරකථන පාවිච්චි කරන්නේ හරි වැරදි විදිහට. ඒක පණිවිඩ ගේන්න, පණිවිඩ දැනගන්න වගේම ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙන දෙයක්. නමුත් අපි ඒක දකින්නේ තාක්ෂණික මෙවලමක් විදිහට නෙවෙයි. ක්‍රීඩා භාණ්ඩයක් විදිහට. ගොඩක් කාන්තාවන්ගෙන් එන පැමිණිල්ලක් තමයි ගෙදර ආපු වෙලාවේ ඉඳලා මහත්තයා ෆෝන් එක බලබලා ඉන්නවා කියන එක. එතකොට මහත්තයත් කියන්නේ මේ ගෑනි ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ, දවසම ෆේස්බුක් යන එකයි ඉන්ටර්නෙට් යන එකයි තමයි කරන්නේ කියලා.

ෆේස්බුක් එකේදී අපි දකින්නේ හොඳ උස මහත හයේ හතරේ හැන්ඩ්සම් මහත්තුරු සහ මේක් අප් දාපූ ලස්සන, හැඩ නෝනලා. කිසිම කෙනෙක් දැලි කුණු පිටින් ෆොටෝ දාන්නේ නැහැ. මේ ඕනෙම කෙනෙක් ෆොටෝ එකක් දාන්නේ ලස්සනට ඇඳ පැලදගෙන ඉන්න වෙලාවට. ඒකත් මතක සටහනක් විදිහටයි දාන්නේ. මේ වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න රූප මායම්වලට අහු වෙලා පවුල් ජීවිත අවුල් කරගත්ත අය ඕ‍ෙන තරම් ඉන්නවා. ඉතින් මේ ෆෝන් එක නිසා ඒ වගේ දේවල් වගේම අදාළ පණිවිඩය අදාළ කෙනාට නොගිහින් වෙන කෙනෙක්ට ගියාමත් සෑහෙන ප්‍රශ්නවලට මුහුණපාන්න වෙනවා. ඒකට හොඳ උදාහරණයක් මම කියන්නම්. තට්ටු දෙකක නිවෙසක යට තට්ටුව කුලියට දීපු මහත්මයෙක් හිටියා. ඔහු සති දෙකකට රට ගියා. මේ නිවෙසේ පහළ තට්ටුවෙ ඉන්න තරුණයට මැසේජ් එකක් යවනවා මාව එයාර්පෝර්ට් එකට ගන්න එන්න කියලා. ඔහු එයාපෝර්ට් ගියාම ඒ මහත්තයාට කියනවා සර් හිටපු නැති සති දෙකේ මම තමයි මහත්තයගේ වයිෆ්ව පාවිච්චි කළේ කියලා. ඔහුට එවෙලේ පපුවේ අමාරුවක් හැදෙනවා. හැබැයි ඔහුට කියන්න ඕනෙ වෙලා තිබුණේ මහත්තයගේ වයිෆයි පාවිච්චි කළේ මම කියලයි. ඉතින් තාක්ෂණික වචන වැරදියට පාවිච්චි කළාම මේ වගේ දේවලුත් වෙන්න පුළුවන්.

මගේ සායනයට ආපු තව ළමයෙක් හිටියා. මහත්තයගේ ෆෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක අරගන්න මහත්තයගේ වතුර එකට නිදි පෙති දාලා. මම නම් හිතන්නේ දුරකථනය කියන්නේ පෞද්ගලික දෙයක්. වෙනත් කෙනෙක්ගේ ෆෝන් එකක් බලනවා කියන එක හරිම අනවශ්‍ය දෙයක්. ඒ වගේම පවුලක් අැතුළට තරුණ පිරිමි ළමයි, තරුණ ගැහැනු ළමයි ළං කරගන්න හොඳම නැහැ. විශේෂයෙන්ම නවාතැන් ලබා දීම සුදුසුම නැහැ. මම ඕනෙ තරම් අහලා තියෙනවා ඒ විදිහෙ කතා. අපේ ගෙදර නවතින්න ආපු ඒ නංගි එක්ක මහත්තයා යාළුයි. නැත්තම් අපේ ගෙදර ආපු ඒ අයියා එක්ක මගේ නෝනා යාළුයි. ඔහොම කතා අනන්තවත් අහලා තියෙනවා.

කතාවක් තියෙනවනේ පිරිමි ආදරේ තමන්ගේ දරුවන්ටයි, අනුන්ගේ ගැහැනුන්ටයි කියලා.

අනිත් එක මුදල් සම්බන්ධයෙනුත් විවිද විදිහට සැකය එන්න පුළුවන්. ගොඩක් මහත්තුරු නෝනට තමයි ගෙදර වියදම් ගැන බලන්න කියලා පඩිය අතට දෙන්නේ. හැබැයි මේ සල්ලි සති තුන යද්දි ඉවරයි. ඉතින් සමහර මහත්තුරු මට කියනවා, නෝනට දෙන සල්ලිවලට වෙන දෙයක් නැහැ. වෙන කාටහරි දෙනව ද දන්නේ නැහැ කියලා. පිරිමි දන්නේ නැහැනේ බඩුවල ගණන්. දැන් පවුලක වියදමට ඉස්සර වගේ දෙගුණයක් විතර යනවා. මම දන්න ගොඩක් කාන්තාවෝ තමන්ගේ අවශ්‍යතා යටපත් කරගෙන දරුවෝ වෙනුවෙන් වැඩ කරනවා.

පවුල ඇතුළේ මොන දේ වුණත් දෙන්නා එක්ක කතාබහ කරලා විසඳගන්න. මට ඔයාගේ හැසිරීමේ වෙනසක් පේනවා. ඔයා ඉන්නේ ප්‍රශ්නෙක ද? මට පුළුවන් ඔයා කියන ඕන දෙයක් අහන් ඉන්න. මේ වගේ සුහද කතාබහකින් පවුලේ තියෙන හැම ගැටලුවකටම පහසුවෙන් විසඳුම් හොයාගන්න පුළුවන්.

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව