වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
Thinking Pattern එක වෙනස් කරලා Life Pattern එක ගොඩදාගන්න

යුවතියක් හැඩවැඩ වෙන්නේ රූපයෙන් විතරක්ම නොවෙයි. සකසුරුවම්කමින්, අරපිරිමැස්මෙන්, පිළිවෙළට, පිරිසුදුවට සිටින සෑම කාන්තාවක්ම ලස්සනයි, සුන්දරයි. මේ සුන්දරත්වය වැඩි කරගන්න ජීවිතයට එකතු කර ගන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා.
හැඩකාර වැඩකාර කාන්තාවක් කියන්නේ තමුන්ගේ අධ්‍යාපන දැනුමට අමතරව ප්‍රායෝගිකව ජීවිතයට වැදගත් යමක් එකතු කර ගැනීමයි. ඔබ මෙලෙසින් දෛනික ජීවිතයට ප්‍රයෝජනවත් යමක් ඉගෙන ගත්තොත් එයින් කවදා හරි ප්‍රයෝජනවත් වේවි. ඇතැම් විට එයින් ඔබට හොඳ ස්වයං රැකියාවක් සඳහා මඟ පෑදේවි.
සාමාන්‍යයෙන් ගෘහිණියක් නිෙවසක වැඩ කටයුතු කරගෙන යද්දී විදුලි උපකරණ විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඇඳුමක් මදින විදුලි ඉස්තිරික්කයේ සිට මුළුතැන්ගෙයි රයිස් කුකරය, බ්ලෙන්ඩරය, ෆෑන්, විදුලි කේතලය, හීටරය, විදුලි අවන්, ටෝස්ටරය, නිෙවසේ විදුලි බල්බ් එක පවා වැඩියෙන්ම පාවිච්චියට ගන්නේ නිෙවසේ ගෘහිණියයි. හැබැයි මේ උපකරණයක් පාවිච්චි කරන අතර කැඩුණොත්, අක්‍රිය වුණොත් ඔබ විශාල අපහසුතාවකට මුහුණ දෙනවා. නමුත් මෙවැනි මොහොතක එය ක්‍රියාවිරහිත වූයේ කුමන හේතුව නිසාද, එය ඔබටම අලුත්වැඩියා කර ගන්න පුළුවන් නම්, එහි වටිනාකම මුදල්වලින් ගණනය කරන්න බැරි තරම්. ඒ විතරක් නෙවෙයි මේ උපකරණ ගැන අවබෝධයක් හා දැනුමක් ඔබට තිබෙනවා නම් එය තමුන්ට අමතර මුදලක් සොයාගන්න පුළුවන් ස්වයං රැකියාවක් බවට පරිවර්තනය කර ගන්නත් ඔබට හැකියාව තිබෙනවා. හැබැයි මේ වගේ ස්වයං රැකියාවක් තෝරාගන්න නම් ඔබගේ සාම්ප්‍රදායික ආකල්පවලින් මිදෙන්න වෙනවා. “ඔය ඉලෙක්ට්‍රික් බඩු රෙපෙයාර් කරන එක කාන්තාවන්ට ගැළපෙන්නේ නැහැ. ඕවා කරන්න පුළුවන් පිරිමින්ට විතරයි. අපට අමාරුයි.” මෙවැනි ඍණ ආකල්ප ඔබේ මනසින් ඉවත් කළොත් හරිම පහසුවෙන් ඔබේ ජීවිතයේ වෙනස් කරගන්න පුළුවන්. ඔබට මෙවැනි උපකරණ අලුත්වැඩියා කිරීම ගැන මූලික අවබෝධයක් ගන්න නම් ඒ ගැන උනන්දුවක් තිබිය යුතුයි. එය උනන්දුව ආසාව වැඩිකර ගන්න ඉලෙක්ට්‍රික් උපකරණ අලුත්වැඩියා පාඨමාලාවක් කරන්නත් අවස්ථා බොහෝ තියෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් මේ සඳහා වටිනා පුහුණු පාඨමාලා කිහිපයක්ම තිබෙනවා. මේ පාඨමාලා සඳහා පිරිමි, ගැහැනු භේදයක් නොමැතිව සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම පාඨමාලාව අවසානයේ NVQ සහතිකයක් ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබට ප්‍රායෝගිකව පුහුණුවීම සඳහා ආයතනයක් වෙත යොමු කිරීමටත් එම ආයතනය මඟපෙන්වීම ලබා දෙනවා.
ඔබත් මෙවැනි උපකරණ අලුත්වැඩියාව ගැන පුහුණුවීමට කැමැති නම් මූලිකවම ඔබ ළඟ තිබිය යුතු උපකරණ කිහිපයක් තිබෙනවා. එම උපකරණ ටික සඳහා ඔබට වැය වන්නේ රුපියල් දස දහසක් වැනි මුදලක්. මල්ටි මීටරයක්, අඬුවක්, ඇණ ගැලවීම සඳහා ඉස්කුරුප්පු නියන් කට්ටලයක්, පෑස්සුම් කටයුතු සඳහා බවුත් එකක්, කුඩා මිටියක් වැනි ප්‍රධාන උපකරණ ටික ඇති නම් මේ කටයුත්ත සඳහා ප්‍රමාණවත්. ගෘහ විදුලි උපකරණ මේ අයුරින් අලුත්වැඩියා කිරීම ගැන මේ අයුරින් අංගසම්පූර්ණ පාඨමාලාවක් කිරීමට මාස කිහිපයක් ගතකිරීමට නොහැකි නම් දින කිහිපයකින් පුහුණුව ලබාගත හැකි පාඨමාලාද පවතී. මෙවැනි පාඨමාලා බොහෝ විට පෞද්ගලික අංශය මඟින් පවත්වයි.
මෙලෙස ඔබ මූලික දැනුමක් ලබාගත් පසු ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර මේ ගැන පුහුණුවීමට ආයතනයක් නොමැති නම් ඒ සඳහා කරදර විය යුතු නැහැ. ඔබ කළ යුත්තේ ඔබගේ නිෙවසේ කැඩුණු, ඉවත් කළ, පාවිච්චියට නොගන්නා උපකරණ ගෙන ඒවා අලුත්වැඩියා කිරීමට උත්සාහ කිරීමයි. නැත්නම් ඔබගේ අවට නිවාසවල ඉවත් කරන ලද උපකරණ ඉල්ලාගෙන ඒවා අලුත්වැඩියා කිරීමට උත්සාහ කිරීමයි. මෙලෙස ඔබ අලුත්වැඩියා කරන විට විවිධ ප්‍රායෝගික ගැටලු හා ඒවා සඳහා අලුතින් සවිකළ යුතු කොටස් අවශ්‍ය වෙයි. මෙවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ මේ අමතර කොටස් ගැන යූටියුබ් වැනි සමාජ මාධ්‍ය හරහා විස්තර ලබා ගැනීමයි. එසේම අමතර කොටස් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කොටස් ලබාගත හැකි ප්‍රධාන ස්ථානයක් වන්නේ කොළඹ පිටකොටුවයි. එසේම කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේද විදුලි උපකරණ සඳහා අවශ්‍ය අමතර කොටස් හා උපකරණ අලෙවි කරන සාප්පු හා ආයතන රාශියක් පවතී.
ඔබ මෙලෙස ගෘහ උපකරණ අලුත්වැඩියා කිරීමේදී අමතර කොටස් මිලදී ගන්නා විට සෑම විටම අදාළ කොටස ගලවාගෙන රැගෙන යාම වැදගත් වෙයි. උදාහරණයක් ලෙස ඔබගේ නිෙවසේ ඇති විදුලි පංකාවක් සඳහා මෝටරයක් අලුතින් යෙදීමට සිදුවුවහොත් එවැනි අවස්ථාවක ඔබ එම මෝටරය සොයා ගැනීමට පැරණි මෝටරය රැගෙන යා යුතු වෙයි. ඇතැම් විට විදුලි උපකරණ අලුත්වැඩියා කර පාවිච්චියට ගැනීම සාර්ථක නොවෙයි. එවැනි උපකරණ නැවත අලුත්වැඩියා කිරීම වෙනුවට අලුත් උපකරණයක් ගැනීම ඔබට ලාභදායි වෙයි.
සමහරවිට ඔබ මෙලෙසින් ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව කිරීමට දැනුමක් ඇත්නම් එවැනි උපකරණ අලුත්වැඩියා කිරීම සඳහා නිවාසවලට ගොස් සිදු කිරීමටද හැකියාව තිබේ. ඔබගේ දුරකතන අංකය යොදා දැන්වීමක් පළ කිරීමෙන් අදාළ ස්ථානයට ගොස් ඒ අලුත්වැඩියා කර දීමද ඉතාම සාර්ථක ස්වයං රැකියාවකි.
ඔබ රෙදි සෝදන යන්ත්‍ර අලුත් වැඩියාව ගැන දැනුමක් ඇත්නම් එය හොඳම ස්වයං රැකියාවකි.
බොහෝ විට රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, TV වැනි දෑ ගෘහිණියකට අලුත් වැඩියා කරන ස්ථානයකට රැගෙන යාමද අපහසු කටයුත්තකි. එම උපකරණය කැඩුණු ස්ථානයටම ගොස් අලුත්වැඩියා කර සාධාරණ මුදලක් ලබා ගත හැකි නම් බොහෝ සේවා දායකයන් කැමති වෙයි. එසේම කාන්තාවක් මෙවැනි කටයුත්තක් සඳහා නිවෙසට පැමිණ ඉටුකර දීමේදී නිෙවසේ ගෘහිණියට ද විශ්වාසයක් ගොඩනැඟෙයි.