වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
චින්තක සමන් නම් සුරංගනා කතාකරුවා

සිංහල සාහිත්‍යයේ කෙටිකතා ශානරයට දෘෂ්ටාන්ත (allegorical or fable like) හා සුරංගනා කතා කලාව රැගෙන අලුතින්ම එකතු වී ඇති ලේඛකයෙක් විදිහට චින්තක සමන් හේරත් හඳුන්වන්න පුළුවන්. මේ වනවිට ඔහු සිංහල සාහිත්‍ය සමාජය තුළ අනන්‍යතාවක් ගොඩනඟාගෙන තියෙන්නෙ කවියෙක් විදිහටයි. අලුත් වටයකින් කෙටිකතාව කියන සාහිත්‍ය ශානරයට චින්තක සමන් එළඹෙන්නෙ කෙටිකතා දහයකින් සමන්විත “රදනකාලංකාරය” නමින් 2024 දී ප්‍රකාශයට පත්වුණු කෙටිකතා සංග්‍රහයක් සමඟින්.
මේ කෙටිකතා කියවන විට ඔහු සමාජීයව හා පුද්ගලානුබද්ධව ජීවිතය පිළිබඳ සියුම් නිරීක්ෂණ ඇති ලේඛකයෙක් විදිහට හඳුනාගන්න පුළුවන්. ලංකාවේ වියළි කලාපයේ, පහළ පන්තියේ ගැහැනු පිරිමින්ගේ සාමාජීය හා සංස්කෘතික ජීවිතයේ අහුමුළුවලට රිංගගන්න ඔහු දක්වන බුහුටිබව සුවිශේෂයි. කෙටි කතාවට ආරම්භයේදී එළඹෙන්නේ ස්වාභාවික යථාර්ථවාදී ශෛලිය තුළ වුණත් කතාව මෝරනවිට අවශ්‍ය විෙටක ඉන්ද්‍රජාලික මායා යථාර්ථවාදී ලෝකයකට මාරුවෙන්න තරම් ඔහුගේ පරිකල්පන ශක්තිය ප්‍රබලයි.
“බිසෝ” නම් පළමු කෙටිකතාවට ඔහු විෂය කර ගන්නේ ගාමන්ට්වල වැඩ කරන ගැහැනු ළමයි කිහිපදෙනෙකුගේ මනෝ ලෝකය. චින්තකගෙ වස්තුවිෂයට සමීප බස් වහර ඒ පරිසරයට, ජීවන විලාසයට හා සංස්කෘතියට ඉතා මැනවින් ගැළපෙනවා.
යටත්විජිත සංදර්භය තුළ ලිංගික සංස්කෘතියේ මුල් සිඳගත් යුගයක තවමත් දිවිගෙවන මල්වර වියේ යුවතියන්ට ශෘංගාරාත්මක ප්‍රේමය හෝ ලිංගික තෘප්තිය බොහොම දුරයි. මේ සංස්කෘතික ජීවිතය අහිමි සීමාකාරී මෙන්ම ඒකාකාරී ජීවිතවල ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා පිළිබඳ චින්තකගේ දෘෂ්ටිය දයාසහිතයි. තියුණුයි.
පළමු කෙටිකතාව තුළ පාඨක ඔබට හමුවන බිසෝගේ මේ ගෙදරටත් ගාමන්ට් ෆැක්ටරියටත් සීමා වුණු ජීවිතය දෙදරා යන්නේ අනෝමා නම් ඇගේ යහළු යුවතියක් විසින් ඇයගේ අත්දැකීමක් ලෙස හෙළි කරන ශෘංගාරාත්මක ලිංගික මනස්සෘෂ්ටියක් (fantacy) නිසා. එහි හැඩරුව මුළුමනින්ම ස්මාර්ට් ජංගම දුරකතනය ආශ්‍රිතව ගොඩනැඟුණු ප්‍රදර්ශනාත්මක මනෝ ලෝකයක්.
ඉක්බිති බිසෝ, අනෝමා විසින් මවන ලද අශ්ශීල කාමුක මනෝ ලෝකය ඇගේ අත්දැකීමක් කරගනිමින් ඒ තුළ සැරිසරන්න පටන් ගන්නවා. මේ තත්ත්වය විස්තර කරන්න සංකේත රූපයක් චින්තක හොයා ගන්නේ ඒ ග්‍රාමීය පරිසරය තුළින්මයි. ඒ තමයි කළු කුමාර සංකල්පය.
යුවතියන්ට ගොම්මනේ ළිඳ ළඟදි නැත්නමි නිදියහනේ සිහින තුළ මුණගැසෙන මේ කළු පැහැති කඩවසම් භූතාත්මය ගෑනුන්ගේ දුප්පත් ආර්ථික වටපිටාව හා පීඩාකාරී පුරුෂ මූලික සංස්කෘතික කතිකාව මඟින් මැඬපවත්වන ලද ලිංගික ආශා රැහැන් බිඳගෙන මතුවෙනවා. බිසෝ අන්තිමට තම සහකාරයා තෝරගන්නෙ ප්‍රේමය නිසා නම් නෙමෙයි. මේ ලිංගික ආශාවට යටත් වෙලා.
මේ කෙටිකතා එකතුවේ එන රදනකාලංකාරය කියන කෙටිකතාවත් සුවිශේෂී ලක්ෂණ පෙන්වන අපූරු කෙටිකතාවක්. කෙටිකතාවකට දරන්න බැරිතරම් අමුද්‍රව්‍ය ඒ කෙටිකතාව තුළ තිබුණා වුණත් චින්තක සමන් කියන ශූර කතන්දරකාරයා ඔබට එහිදී මුණගැහෙනවා. කතාව ඇරඹෙන්නේ සමන් කියන පස් හැවිරිදි ළමයාගෙ දෘෂ්ටිකෝණයෙන්. එය අවසාන වෙන්නේ සමන්ගෙ මහලු වියේදි මතුවන සාංකාව මඟින් ඔහු ළමයෙක් මෙන් නැවත සිතන්නට පටන්ගැනීමෙන්.
මට හිතෙන්නේ කෙටිකතාකාරයෙක් විදිහට චින්තක සුවිශේෂී වෙන්නේ මේ යථාර්ථවාදී ලෝකයේ ඉඳලා පරිකල්පනීය ලෝකයට මාරුවෙන විදිහ ඇතුළෙයි. විටෙක මේ මායා ලෝකය (allegorical) උපමා කතා හෝ සුරංගනා කතා ශානරයේ හැඩරුව ගන්නවා. මේ ලෝක දෙක කැපෙන සමෝධාන (montage) මොහොත හරිම මනරම්.
සමෝධානය (montage) කියන්නෙ සාහිත්‍යයේ දී කතාව ගොඩනඟන උපක්‍රමයක් පමණක් නොවෙයි. එය ආඛ්‍යාන විධියක් ද යථාව ඥානනය කරන ක්‍රමවේදයක් ද ලෙස හැඳින්විය හැකියි. මේ කෙටිකතා සංග්‍රහයේ එන බොහෝ කෙටිකතාවල මෙම ලක්ෂණය නිරීක්ෂණය කරන්න පුළුවන්.
චින්තක සමන් කාව්‍යකරණයේදී මෙන්ම කෙටිකතාව තුළත් සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනඟා ගත හැකි ලේඛකයෙක් බව පෙනෙනවා.