පිමි තුනක් පැන පදක්කමක් දිනූ පානදුරේ පුංචි කෙල්ල

මැයි 19, 2025

අපේ රටේ සෑම පාසලකම අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් දැඩි උනන්දුවක් ඇතිවීම හොඳ ප්‍රවණතාවකි. ජාතික මට්ටමින් වගේම ජාත්‍යන්තර තරගවලින් ජයග්‍රහණ ලබන පාසල් දරු දැරියෝ විවිධ ක්‍රීඩාවන්ගෙන් දක්වති. ඒ වගේම මෙලෙස දස්කම් දක්වන දරුවන්ට පාසලෙන් වගේම තම ප්‍රදේශවාසීන්ගෙන් ද හොඳ උණුසුම් පිළිගැනීමක් ලැබෙයි.

 

මෙවැනි හෘදයංගම උණුසුම් පිළිගැනීමක් අපට දැක ගැනීමට ලැබුණේ පානදුරේ ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේදී. එම පාසලේ 11 වසරේ ඉගෙනුම ලැබූ දිල්කි නෙහාරා දියණියට පාසලෙන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණේ ඇය ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙනි. පසුගියදා අවසන් වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීම පානදුරේ ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයට පමණක් නොවෙයි මුළු රටටම විශාල අභිමානයකි.

 

මේ අභිමානය දෝත දරාගෙන දිවයිනට පා තැබූ දිල්කි නෙහාරා තම ජයග්‍රාහී ගමනේ මතක සටහන් ගැන සිහිපත් කළේ මහත් සතුටින්.

 

මගේ ක්‍රීඩා ජීවිතය පටන් ගත්තෙ පොතුපිටිය මහා විද්‍යාලයෙන්. මගේ වයස අවුරුදු 12 දී තමයි ක්‍රීඩා කරන්න මාව තෝරා ගත්තේ. මුලින්ම මම ක්‍රීඩාවක් ලෙස කළේ මීටර් අසූව සහ මීටර් සීය කෙටි ධාවන ඉසව් දෙකයි. ඊට අමතරව දුර පැනීම ඉසව්වත් කළා. ඒ කරන ඉසව්වලින් තමයි මුලින්ම මම සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගත්තේ.

 

ඉන්පසුව තමයි මට පානදුර සුමංගල බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණේ. මේ විද්‍යාලයට ඇතුළත් වුණාට පසුව පුහුණුකරු ලෙස නයන ප්‍රසාද් සර් මාව තෝරා ගත්තා. ඔහු තමයි මේ වෙනකම්ම මගේ පුහුණුකරු වුණේ. මම වයස අවුරුදු 18න් පහළ දක්වා පැමිණි සඳහා තෝරා ගත්තේ ඒ ඉසව්වට තිබුණු හැකියාව නිසයි. නමුත් මම තෝරා ගැනීමේ ඉසව්ව ලෙස ඉදිරිපත් වුණේ දුර පැනීම. ඒ ඉසව්වෙන් මට තේරීම් තරගයේදී දස්කම් දැක්වීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මට තුන් පිම්ම තේරීම් තරගයෙන් ඉදිරියට යන්න පුළුවන් වුණා.

 

මම මුලින්ම ජාත්‍යන්තර තරගයකට සහභාගි වුණේ 2024 වසරේදී. මේ වසරේදී තමයි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ තුන් පිම්ම තරගයට සහභාගි වුණේ. ඒ තරගයේදී මට ලැබුණේ ලෝකඩ පදක්කම. මේ තරගය ඉසව්වට අමතරව සහාය දිවීමේ තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමටත් අවස්ථාව ලැබුණා.

 

මගේ මුල්ම තරග ඉසව්ව වුණේ දුර පැනීම වුණාට ප්‍රසාද සර් මට කිවුවා ඔයාට දුර පැනීම ඉසව්වට වඩා ගැළපෙන්නේ තුන් පිම්ම තරගය කියලා. ඒ කියපු දේ හරි බව මට දැන් හිතෙනවා. මේ තරගයේදී මට පදක්කමක් හිමිකරගන්න හැකි වුණේ ඒ නිසයි. මේ ජයග්‍රහණයට ලොකුම ශක්තිය වුණේ මගේ මවුපියන් හා ප්‍රසාද් සර්. මගේ තාත්තා ශාන්ත කුමාර. අම්මා මානෙල් ධම්මිකා. ඒ වගේම අපේ පවුලේ අයියයි අක්කයි දෙන්නත් මගේ ක්‍රීඩා කටයුතුවලටයි අධ්‍යාපන කටයුතුවලටයි ලොකු සහයෝගයක් දෙනවා. මම මේ වසරේ තමයි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ. ඇත්තටම අධ්‍යාපන කටයුතුවලට වඩා ක්‍රීඩා කටයුතුවලට ලොකු කාලයක් මට පසුගිය කාලයේදී යොදවන්න සිද්ධ වුණා. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට කාලය මදි වුණා. නමුත් කාලය කළමනාකරණය කරගෙන දෙකම කරගෙන ගියේ ගෙදරින් ලැබුණු සහයෝගය නිසයි. මගේ ඉදිරි බලාපොරොත්තුව ආසියානු මලල ක්‍රීඩා තරගය. ඒ තරගයේදී රන් පදක්කම මගේ රටට හිමිකර දීම තමයි මගේ ලොකුම හීනය.”

 

ඇය තම ඉලක්කය කරා ළඟාවීම වෙනුවෙන් මහත් වෙහෙසක් ගනියි. ඇය දිවයිනට පා තැබූ දිනයේ පටන්ම තම පුහුණුවීම් කටයුතුවල නිරතවෙයි. බාධක මැදින් පිමි තුනක් පැන මවුරට වෙනුවෙන් දිල්කි දියණිය රන් පදක්කම රැගෙන එන අපේක්ෂාව සිත්හි දල්වාගෙන අපි සියල්ලෝම ඇයගේ අනාගතය වෙනුවෙන් සුබ පතමු.